1. මණ්ඩුක දෙවපුත්ත විමාන වර්ණනා
මහා වර්ගයෙහි කො මෙ වන්‍දති පාදානී යනු මණ්ඩුක දේව පුත්‍ර විමානය එහි උපත කවරේද? භාග්‍යවතුන් වහන්සේ චම්පා නුවර ගග්ගරියා පොකුණ තෙර වාසය කරති. උන්වහන්සේ අරුණ නැගෙන්නට පළමුව බුදු සිරිත ලෙස මහා කරුණා සමාපත්තියට සමවැදි එයින් නැගිට හික්මවිය යුතු පිළිසරණ විය යුතු සත්ත්වයන් දෙස බලන්නේ අද සවස මා විසින් ධර්ම දේශනා කරන කල්හි එක්තරා මැඩියෙක් මගේ හඬ පිළිබඳව බැති පෙම් උපදවා නිමිති ගෙන වෙනත් උවදුරකින් මියගොස් දෙව්ලොව ඉපිද, මහත් වූ දෙව්පිරිස් සමග මහජනයා දකිද්දීම එන්නේය. එහිදී බොහෝ දෙනාට ධර්මාභිසමය වන්නේය යයි දැක පෙරවරුයේ හැඳ පොරවා පා සිවුරු ගෙන මහත් වූ සහ පිරිවර සමග චම්පා නුවරට පිඬු පිණිස පිවිස භික්‍ෂූන් වෙත ලත් සුලභ පිණ්ඩපාතය ගෙන, කරන ලද බත්කිස ඇත්තේ, විහාරයට පිවිස භික්‍ෂූන්ට වත් දක්වා තම තමන්ගේ වසන තැන්වලට ගිය පසු ගඳකිළියට පිවිස ඵලසමවත් සුවයෙන් දහවල් කාලය ගෙවා සවස් භාගයේ සිව් පිරිස් රැස් වූ කල්හි රම්‍ය වූ සුවඳවත් ගඳකිළියෙන් නික්ම ඒ අවස්ථාව ගැලපෙන ප්‍රාතිහාර්යයෙන් පොකුණු තෙර දම්සභා මණ්ඩපයට පිවිස දැකුම්කළු බුද්ධාසනයේ වැඩසිටියේ මනො සිලාකලයෙහි සිංහනාදය කරන්නා වූ අභීත බිය දැක කේසර සිංහයකු මෙන් අංග අටකින් සමන්විත වූ බ්‍රහ්මස්වර විහිදුවමින් සිතිය නොහැකි, උපමා රහිත බුද්ධ ස්වභාවයෙන් ධර්මය දෙසීමට ආරම්භ කළහ.
එම මොහොතෙහි එක්තරා මැඩියෙක් පොකුණෙන් එළියට විත් ‘මෙතෙමේ ධර්මය කියයි’යි ධර්ම සංඥාවෙන් දහම් හඬ පිළිබඳව නිමිති ගත්තේ පිරිස් කෙළවර හොත්තේය. මේ අතර එක් ගොපළු දරුවෙක් ඒ පෙදෙසට පැමිණියේ උපසමයෙන් යුක්ත වූ ධර්මය අසන පිරිස ද ධර්මය දේශනා කරන්නා වූ ශාස්තෲන් වහන්සේ ද දැක අතැති දණ්ඩ බිමට ඇන එයට බර තබා සිටගෙනම බණ අසන්නේ මැඩියා නොදැකම ඒ මැඩියාගේ ඔළුව උඩ දණ්ඩ සිටවාගෙන සිටියේය. මැඩියා පහන් සිත් ඇතිව ධර්මය පිළිබඳ සංඥාවෙන් ප්‍රසන්න සිතින් සිටියදීම කළුරියකොට තව්තිසා භවනයෙහි දොළොස් යොදුනක් වූ රන් විමනක ඉපිද එහි දිව්‍ය අප්සරාවන් සමූහයා පිරිවර ඇතිව සිටින තමන් දැක ‘කවර පින්කමක් නිසා මා මෙහි උපන්නේදැ’යි ආවර්ජනා කරන්නේ පෙර ආත්මභාවය දැක මම නම් මෙහි ඉපිද මෙබඳු සම්පත් ලැබීමි. කවරනම් කුසල කර්මයක් පින්කමක් කරන ලද්දේ දැයි සිහි කරන්නේ ‘භාග්‍යවතුන් වහන්සේගේ ස්වරයෙහි ධර්ම නිමිත්ත ගැනීම හැර වෙනත් හේතුවක් නො දක්නේය. හෙතෙම එකෙණෙහිම විමානයෙන් අවුත් විමානයෙන් බැස මහජනයා බලා සිටියදීම මහත් වූ දිව්‍යානුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ භාග්‍යවතුන්ගේ සිරිපතුල් වැඳ ඇඳිලි බැඳ නමස්කාර කරමින් සිටියේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වෙත පිරිවර සහිතව එළඹ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් සිරසින් වැඳ ඇඳිලි බැඳ නමස්කාර කරමින් සිටියේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දැන සිටියද මහජනයාට කර්ම විපාකයත් බුද්ධානුභාවයත් ප්‍රත්‍යක්‍ෂ කිරිම සඳහා මෙසේ විමසූ සේක.
1. ඍද්ධියෙන් ද යසසින් ද බබළමින් නොයෙක් වර්ණයන්ගෙන් දිළිසෙන ආභරණවලින් සැරසී සියළු දිසාවන් බබුළුවමින් මහත් සම්පතින් යුතුව මාගේ දෙපා වඳින්නා වූ ඔබ කවරෙක්ද?
එහි කො යනු දේව යක්‍ඛ නාග මනුෂ්‍ය ආදීන් අතුරෙන් කවරෙක්ද යන අර්ථයි. මෙ යනු මගේ පාදානි සිරිපතුල් ඉද්ධියා යනු මෙබඳු වූ දේ ඍද්ධියෙන් යසසා මෙබඳු වූ පරිවාර සම්පත්තියෙන් යුක්තව ජලං යනු බැබළෙමින් අභික්කන්තෙන යනු කාන්තිමත් වූ සිත් අලවනසුලු යහපත් බවින් යුතුව වණ්ණෙන යනු (සමේ) ඡවි වර්ණයෙන් ශරීර වර්ණයෙන් බබළයි යනු අර්ථයි.
ඉක්බිති දේවපුත්‍රයා තමන්ගේ පෙර අත් බව පිළිබඳ විස්තර කියන්නේ මේ ගාථාවන් කීහ.
2. මම පූර්ව ආත්මයේ දියම ගොදුරු කොටගෙන (දිය ගොඩ දෙකම හැසිරෙන මැඩියෙක් වීමි. ඔබවහන්සේගේ ධර්මය අසමින් සිටියදීම, ගොපලු දරුවකු අතින් (මම මරණයට පත්වීම)
3. ඔබවහන්සේගේ ධර්මයෙහි මොහොතක් සිත පැහැදවීමෙන් ඇසූ කුසලයෙන් මා ලැබූ පිරිවර ද ශරීරාලෝකය ද සම්පත් ද බලනු මැනවි.
4. ගෞතමයන් වහන්ස, යම්කිසි කෙනෙක් නුඹවහන්සේගේ ධර්මදේශනාව බොහෝකලක් ඇසුවේ නම් ඔව්හු සසර ව්‍යසනයට නොපැමිණ නිවනට යන්නේය.
එහි පුරෙ පෙර ආත්මයෙහි උදකෙ යනු එකල්හි තමන් උපන් ස්ථානය දක්වයි. ‘උදකො මණ්ඩුකො’ දියෙන් ඉදිමුණු ගොඩබිම මණ්ඩුකයා වාසය කරයි. ගාවො චරන්ති (ගොදුරු සඳහා) ගවයන් හැසිරේනුයි ගොචර නම් වේ. තණබිම පිට්ටනිය යන තේරුමයි. වාරි උදකං ගොචරො ජලය වතුර ගොදුරු බිම්කොට ඇත්තා. මොහුනුයි වාරි ගොචර නම් වේ. දියෙහි හැසිරෙන සමහරු මස් කැසුබු ආදීහු අවාරි ගොචර නම් ද වේ. මෙහි විසේසයෙන් වාරි ගොචර යයි කියන ලදී. තව ධම්මං සුණන්තස්ස යනු බ්‍රහ්ම ස්වරයෙන් කුරවි කෙවිල්ලන් හඬින් දේශනා කරන්නා වූ ඔබගේ ධර්මය ධම්මො එසොවුච්චතීති මේ ධර්මයම යයි යන හැඟීමෙන් බුද්ධ ස්වරයෙහි නිමිති ගැනීම් වශයෙන් අසන්නවුහුට මෙය අනාදරාර්ථයේ ෂෂ්ඨි වචනයයි දතයුතුය. අවධි මච්ඡපාලකො වස්සන් ආරක්ෂා කරන්නා වූ ගොපලු දරුවෙක් මගේ සමීපයට පැමිණ ඔහු අත තිබූ කෝටුව බිමට ඔබාගෙන සිටින්නේ මගේ ඔලුවෙහි දණ්ඩ ඇමිණී මා මළේය.