8. අම්බවිමාන වර්ණනා
දිබ්බන්තෙ අම්බවනං රම්මන්ති යනුවෙන් අම්බ විමාන වස්තුව ඇති වේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වාසය කරන සේක. එකල්හි සැවැත්නුවර එක්තරා උපාසිකාවක් ආවාස දානයෙහි මහත්ඵල මහානිසංස භාවය ද අසා ඒ පිළිබඳව කැමැත්තක් උපදවාගෙන භාග්‍යවතුන් වහන්සේට වැඳ ‘ස්වාමීනි, මම ආවාසයක් කර පූජා කිරීමට කැමැත්තෙමි. ඒ සඳහා අවසරය ප්‍රකාශ කරන සේක්වා’ යනුවෙන් කීවාය. භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් හට ඒ සඳහා අණ කළහ. භික්‍ෂූහු ඇයට ඒ අවසරය දුන්හ. ඕ තොමෝ මනරම් ආවාසයක් කරවා එය හාත්පස අඹ ගස් රෝපණය කළාය. ඒ ආවාසය අවට හාත්පස අඹරුක් සෙවණින් සෙවණ වූ හා මිහිරි ජලයෙන් යුක්ත වූ මුතුදැලක් වැනි සුදුවැලි විසුරුවන ලද්දේ ඒ ආවාසය අතිශයින් මනරම් විය. ඕ තොමෝ ඒ විහාරය නා නා වර්ණයන්ගෙන් යුත් රැළි පාලම්වලින් ද, මල්දම් සුවඳ දුම් ආදියෙන් ද දෙව් විමනක් සේ අලංකාර කොට තෙල් පහන් දල්වා අඹරුක් ද අළුත් වස්ත්‍රයගෙන් ඔතා සංඝයා හට පවරා දුන්හ.
ඇය පසුකලෙක කළුරියකොට තව්තිසා භවනයේ උපත ලැබුවාය. ඇයට දිව්‍යමය අඹ වනයකින් වට වූ මහත් විමනක් පහළ විය. මේ තොමෝ අප්සරාවන් පිරිසක් විසින් පිරිවරණ ලදුව එහි දිවසැප අනුභව කළාය. ආයුෂ්මත් මුගලන් තෙරණුවෝ දෙව්ලොවට වැඩ සැරිසරන්නේ ඇය වෙත පැමිණ මෙසේ ප්‍රශ්න කළාහ.
දිබ්බන්තෙ අම්බවනං රම්මං - පාසාදෙත්‍ථ මහල්ලකො
නානා තුරිය සංඝුට්ඨො - අච්ඡරා ගණ ඝොසි තො
ඔබගේ දිව්‍යමය වූ අම්බවනය රමණීය වේ. මෙහි ඇති විශාල වූ ප්‍රාසාදය නොයෙක් තුර්ය නාදයන්ගෙන් සමන්විතය. අප්සරා සමූහයා විසින් ද විවිධ මනහර ශබ්ද පවත්වනු ලැබේ.
පදීපො චෙත්‍ථජලති - නිච්චං සොවණ්ණ යො මහා
දුස්ස එලෙහි රුක්ඛෙහි - සමන්තා පරිවාරිතො
ස්වරණමය වූ උතුම් පහනක් මෙහි නිතර බබළයි. රෙදිවලින් ආවරණය කළ අඹගස් ඵලයන්ගෙන් යුක්තය. රුක්පෙලින් හාත්පස ආවරණය වී වට වී තිබේ.
ඔබගේ දීප්තිමත් වර්ණය ද දස දිසාවන් බබළවයි. මේසා සම්පත් හා ප්‍රභා සම්පන්න සිරුරක් ලබන්නට ඔබ විසින් කරන ලද පුණ්‍යකර්ම කවරේද?
ඒ දේවතා දුව තමන් විසින් කරන ලද කුශල කර්මයන් විස්තර කරමින්,
අහං මනුස්සෙසු මනුස්ස භූතා
පුරිමාය ජාතියා මනුස්ස ලොකෙ
විහාරං සංඝස්ස කාරෙසිං - අම්බෙහි පරිවාරිතං
පෙර භවයෙහි මම මිනිස් ලොව මිනිස් දුවක්ව ඉපදී - මනහර වූ විහාරයක් කරවා මහා සංඝයාට පූජා කළෙමි.
පරියොසිතෙ විහාරෙ - කාරෙන්තෙ නිට්ඨිතෙ මහෙ
අම්බෙ අච්ඡාදයිත්‍වාන - කත්‍වා දුස්සමයෙ එලෙ
විහාරයේ ඉදිකිරීම් නිම වූ කල්හි, විහාරය වටා අඹගස් සිටුවා ඒ ගස්වල කඳන් විවිධ වර්ණ රෙදිවලින් ආවරණය කර විසිතුරු කළෙමි.
පදීපං තත්‍ථ ජාලෙත්‍වා - භොජයිත්‍වා ගණුත්තමං
නීය්‍යාදෙසිං තං සංඝස්ස - පසන්නා සෙහි පාණිහි
විහාරය තුළ නිතර දැල්වෙන පහන් දැල්වීමි. ශ්‍රාවක සංඝයා වෙත දන් දී විහාරය පවරා දුනිමි.
පදීපො චෙත්‍ථ ජලති - නිච්චං සොවණ්ණයො මයා
දුස්ස එලෙහි රුක්‍ඛෙහි - සමන්තා පරිචාරිතො
ස්වර්ණමය වූ දහම් පහනක් නිතර මෙහි බැබළෙයි. වස්ත්‍රවලින් වැසූ ඵලයන්ගෙන් යුත් අඹ රුක් මෙහි හාත්පස වටකරගෙන සිටී.
කරන ලද පුණ්‍ය කර්මයේ විපාක වශයෙන් මෙබඳු වූ සම්පත් ද, දිව විමන් ද, සියලු දිසාවන් බබලුවන මනහර ඡවි වර්ණයක් ද ලදුයේ වෙමි.
එහි මහල්ලතො මහත් වූ, දිගින් පළලින්, උසින් ද විශාල වූ, උදාරතම වූ යන අරුත් දැක්වේ. අච්ඡරාගණා ඝොසිතා ඇය ප්‍රීතිමත් කරවීම පිණිස සාමූහිකව ගී ගැයීම් වශයෙන් ද ප්‍රියසල්ලාප වශයෙන් ද, අප්සරාවන් සමූහයා විසින් මනහර හඬ නගන ලදී.
පදීපො චෙත්‍ථජලතීති බබළන හිරු රැස් නිසා පෙනෙන හිරු රැස් වියනට අමතරව රුවන්මුවා පහන ද මෙම ප්‍රාසාදයේ දිවා රාත්‍රී දැල්වේ. දීප්තිමත්ව බබළයි. දුස්සඵලෙහි රෙදිවලින් තැනූ ගෙඩි මේවාට ඇතැයි යන අදහසින් දුස්සඵල යයි යෙදේ. කියනු ලබන්නා වූ එම දිව්‍යමය වස්ත්‍රයන්ගෙන් යන අදහසයි.
කාරෙන්නො නිට්ඨිතෙ මහෙ ඉදිකොට නිම වූ විහාරය පැවරීමේ දී පූජාව කරනු ලබන කල්හි, කත්‍වා දුස්සමයෙ ඵලෙ ඒ අඹරුක් රෙදිවලින් සරසා රෙදිවලින් තැනූ ගෙඩි එල්ලා අලංකාර කරන ලදී.
ගණුත්තමං සමූහයක් අතරින් උතුම් වූ, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ සමූහයා නීය්‍යාදෙසි පවරා දුන්නේය. පිළිගැන්වූයෙමි. භාරදුනිමි යන අර්ථයි. සෙස්ස පෙර කියන ලද පරිදිම වේ.
අම්බ විමාන වර්ණනාව නිමියේ ය.
9. පීතවිමාන වර්ණනා
පීත වත්‍ථෙ පීත ධජෙ යනුවෙන් පීත විමාන වත්‍ථුව ඉදිරිපත් වේ. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි අජාසත් රජු, තමන් විසින් ලබාගත් සර්වඥයන් වහන්සේගේ ශාරීරික ධාතූන් ගෙන ඒ සඳහා චෛත්‍යයක් තනවා එහි ප්‍රථම පූජා පවත්වන අවදියේ, රජගහනුවර වැසි එක්තරා උපාසිකාවක් උදෑසනම කරන ලද සිරුරු පිළිදැගුම් ඇත්තේ, ශාස්තෲන් වහන්සේගේ ථූපයට පූජා කරන්නෙමියි සිතා තමන්ට සපයා ගතහැකි වැටකොළු මල් සතරක් ගෙන ශ්‍රද්ධා වේගයෙන් උත්සාහවත් වී මාර්ග අපහසුතාවයන් ද නොසලකා සැදැහැ සිතින් ස්ථූපය වෙත ගමන් කළාය. එහිදී දුවමින් යන එක් එළදෙනක් පැමිණ ඇයට ඇන ඇය ජීවිතක්‍ෂයට පත්කළාය. මරණයෙන් පසු තව්තිසාවෙහි ඉපදුනු ඇය උයන්කෙළියට යන සක්දෙව් රජුගේ පිරිවර වූ කෝටි දෙකහමාරක් පමණ වූ නාටිකාවන් මැද, තමන්ගේ ශරීරාවලෝකයෙන් ඒ සියලුදෙන මැඩ පවත්වමින් රථයක් ද සහිතව එම පෙරහැරෙහිම පහළ වූවාය. සක්දෙව් රජ තෙමේ ඇය දැක ඒ අද්භූත ආශ්චර්යයෙන් විස්මයට පත් සිත් ඇතිව කෙබඳු වූ ඕළාරික කර්මයකින් මෙවන් ඍද්ධිමත් දිව්‍ය ඍද්ධියකට පැමිණියාදැයි මෙම ගාථාවන් මගින් ඇගෙන් ප්‍රශ්න කළේය.