7. චතුරිත්තිවිමාන වර්ණනා
අභික්කන්තෙන වණ්ණෙන යනුවෙන් චතුරිත්‍ථි විමාන වස්තුව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වාසය කරන කල්හි ආයුෂ්මත් මහ මුගලන් තෙරුන් වහන්සේ යට කියන ලද පරිද්දෙන්ම දෙව්ලොව චාරිකා කරන සේක් තව්තිසා භවනට වැඩි සේක. උන්වහන්සේ එහිදී පිළිවෙළින් පිහිටි විමාන හතරෙක්හි වෙන් වෙන් වශයෙන් අප්සරාවන් දහස බැගින් පිරිවර ඇතිව දිවසැපත් විඳින දෙව්දූවරුන් සතරදෙනෙකු දැක ඒ දේවතාවන් විසින් පෙර කරන ලද පුණ්‍ය කර්මයන් විමසන සේක්,
අභික්කන්තෙන වණ්ණෙන -පෙ- වණ්ණොච තෙ සබ්බදිසා පභාසති
සියලු දිසාවන් බබුළුවමින් දහසක් පිරිවර සමග මනස්කාන්ත ශරීරයක් ඇතිව විවිධ වර්ණයෙන් යුත් ආභරණවලින් සැරසී හැසිරෙන්නා වූ තී කවරෙක්ද මේ සම්පත් ලැබීම සඳහා මිනිස් ලොවදී ඔබලා විසින් කරන ලද කුසල ධර්ම කවරේද?
මේ ගාථාවන් මගින් පිළිවෙළින් දේව දුහිතෲන්ගෙන් ප්‍රශ්න කළහ. ඒ දෙව් දූවරුන්ද උන්වහන්සේගේ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් පිළිවෙළින් පහත සඳහන් කරුණු කීවාහුය.
(සම්පූර්ණ ගාථා සහ අර්ථ කලින් දක්වා ඇත.)
මේ ස්ත්‍රීහු වනාහි කාශ්‍යප බුදුරදුන් දවස ‘ඒසිකා’ නම් වූ රටෙහි ‘පණ්ණක්ක’ නම් නුවර කුලගෙයක ඉපිද වියපත් වී ඒ නගරයෙහිම පතිකුලයන්ට ගොස් සමගිව වාසය කරති. ඒ ස්ත්‍රීන් අතුරෙන් එක් තැනැත්තියක් පිඬු පිණිස හැසිරෙන එක්තරා භික්‍ෂුවක් දැක ප්‍රසන්න සිත් ඇතිව මහනෙල් මල් කළඹක් පිදුවාය. වෙනත් තැනැත්තියක් එක් භික්‍ෂුවකට නිලුපුල් මල් කළඹක් දුන්නාය. අනෙක් තැනැත්තිය සමන්මල් කළඹක් ද ඉතිරි තැනැත්තිය නෙළුම් මල් මිටියක් ද පූජා කළහ. ඔහු පසුකලෙක කළුරියකොට තව්තිසා දෙව්ලොව උපන්නාහ. එක් එක් දේවතාවියක දහස දහස බැගින් අප්සරාවෝ පිරිවර වශයෙන් සිටියහ. ඈලා දිවි ඇති තාක් එහි දිවසැපත් විඳ එයින් චුතව, තවදුරටත් පින්පල ඉතිරිව තිබූ බැවින් නැවත නැවතත් එහිම උත්පත්තිය ලැබූහ. මෙම ගෞතම බුදුන්ගේ කාලයේ ද ඈලා එහිම ඉපදී හැසිරෙමින් උන්නාහ. පෙර කියූ පිළිවෙළින් ආයුෂ්මත් මුගලන් තෙරුන් වහන්සේ විසින් ඔවුන්ගෙන් ප්‍රශ්න කරන ලද්දේ එසේ සිටියදීය. ඒ එක් තැනැත්තියක් විසින් තමන් විසින් කරන ලද පෙර පින් තෙරුන් වහන්සේට කියන්නී,
ඉන්‍දීවරාණං හත්‍ථකං අහමදාසිං - භික්‍ඛුනො පිණ්ඩාය චරන්තස්ස
එසිකානං උන්නතස්මිං - නගරවරෙ පණ්ණකතෙ රම්මෙ
ඒසිකා නම් රටෙහි උස්බිමක් වූ රම්‍ය වූ පණ්ණාසක නම් නගරයේ පිඬු පිණිස හැසිරෙන භික්‍ෂුවකට මම මහනෙල් මල් කළඹක් පිදීමි.
ඒ කරන ලද කුශල කර්මයෙන් මේ සා මහත් සම්පත්තියක් ද සියලු දිසා බබළවන වර්ණ සම්පත්තියක් ද ලදිමි.
අනෙක් තැනැත්තිය මෙසේ කීවාය.
නීලුප්පල හත්‍ථකං අහමදාසිං - භික්‍ඛුනො පිණ්ඩාය චරන්තස්ස
එසිකානං උන්නතස්මිං - නගරවරෙ පණ්ණකතෙ රම්මෙ
එසිකා නම් රටෙහි උස් බිමක පිහිටි පණ්ණකත නම් නගරවරයෙහි පිඬු පිණිස හැසිරෙන භික්‍ෂුවකට මම නිලුපුල් මල් මිටියක් පූජා කළෙමි.
ඒ කුසල කර්මයෙන් මේ සා මහත් සම්පත්තියක් ද, සියලු දිසා බබුළුවන වර්ණ සම්පත්තියක් ද ලදිමි.
අනෙක් දෙවඟන මෙසේ කීවාය.
ඔදාත මූලකං හරිත පත්තං - උදකස්මිං පරෙජාතං අහමදාසිං
භික්‍ඛුනො පිණ්ඩාය චරන්තස්ස - එසිකානං උන්නතස්මිං නගරවරෙ
පණ්ණකතෙ රම්මෙ
ඒසිකා නම් රටේ උස්බිමක රම්‍ය වූ පණ්ණකත නම් නගරයේ පිඬු පිණිස හැසිරෙන එක් භික්‍ෂුවකට සුදු මුල් ඇති කොළ පැහැ පත්‍ර දරන විලේ ජලයෙහි උපන් නෙළුම් මල් මිටියක් පූජා කළෙමි.
ඒ කරන ලද පුණ්‍යකර්මයේ හේතුවෙන් මේ මහත් සම්පත්තීන් ද සියලු දිසා බබළවන වර්ණ සම්පත්තියක් ද ලදිමි.
ඉතිරි දෙවඟන මෙසේ පැවසුවාය:
අහං සුමනා සුමනස්ස සුමන මකුළානි - දන්තවණ්ණානි අහමදාසිං
භික්‍ඛුනො පිණ්ඩාය චරන්තස්ස - එසිකානං උන්නතස්මිං
ඒසිකා නම් රටේ උස්බිමක වූ රම්‍ය වූ පණ්ණාසක නගරයේ මා ඉපදී සිටියදී, පිණ්ඩපාතයේ වඩින භික්‍ෂූන් වහන්සේ නමක් දැක යහපත් මනසක් ඇති ඒ භික්‍ෂුවට ඇත් දත්වල පැහැය ඇති සමන් මල් කළඹක් පිදීමි.
ඒ කුසල කර්මයෙන් මේසා මහත් සම්පත්තියෙන් පිරි දිව්‍ය ආත්මයන් ද සකල දිසා බබුළුවන වර්ණ සම්පත්තියක් ද ලද්දෙමි.
එහි ඉන්‍දීවරානං හත්‍ථකං උද්දාලක කළඹක්, මල්මිටක්, ඇසළ මල් කළඹක්. එසිකානං ඒසික නම් රටේ, උන්නතස්මිං නගර වරෙ උස් බිම් පෙදෙසක තනන ලද, වළාකුල් ස්පර්ශ කරන්නාක් වැනි, ඉතා උස් පිහිටි ප්‍රාසාද කුටාගාර ආදියෙන් යුත් උතුම් නගරයෙහි පණ්ණකතෙ එනම් වූ නගරයෙහි.
නීලුප්පලහත්‍ථකං නිලුපුල් මල් කළඹක්.
ඔදාතමූලකං සුදු මුල් ඇති, නෙළුම් මුල්වල සුදු බව සලකා කියන ලදී. නෙළුම් මල් කළඹක් සඳහා මෙය කියයි. එනිසා හරිතපත්තං යන ආදිය කියන ලදී. එහි හරිතපත්තං යනු කොල පැහැති පත්‍රයයි. නෙලුම් මල් කැකුළෙහි බාහිර පත්‍රය ඉවත් නොවූයේ නම් එම බාහිර පත්‍ර කොළ පැහැ ඇති වේ. උදකස්මිං සරෙජාතං විල් දියෙහි හටගත් ‘සරොරුහ’ නෙළුම් මල්, යන අර්ථයයි.
සුමනා එනම් තැනැත්තිය, සුමනස්ස යහපත් මනසක් ඇති තැනැත්තකු හට, සුමන මකුළානි දෑසමන් මල් කැකුළු, දන්තවණ්ණානී සෝදා පිරිසිදු කරගත් අවස්ථාවෙහිම පෙනෙන්නාක් වැනි, ඇත් දත්වලට සමාන ඇති වර්ණය ඇති.
මෙසේ මෙම දෙවඟනෝ තමන් විසින් කරන ලද පුණ්‍ය කර්මයන් කියනු ලැබූ කල්හි ස්ථවිර තෙමේ ඒ දෙවඟනන්ට අනුපිළිවෙල කථාව කියා චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කළහ. ආර්ය සත්‍ය දේශනාව කෙළවර ඒ සියලු දෙවඟනෝම පිරිවර සහිතව සෝවාන් වූහ. ස්ථවිර තෙමේ මිනිස් ලොවට පැමිණ ඒ ප්‍රවෘත්තිය භාග්‍යවතුන් වහන්සේට දැන්වීය. භාග්‍යවතුන් වහන්සේ එය අර්ථෝත්පත්ති කොටගෙන පැමිණි පිරිසට ධර්මදේශනා කළහ. ඒ ධර්ම දේශනාව මහජනයාට සාර්ථක ලෙස ප්‍රයෝජනවත් වූයේය.
චතුරිත්‍ථි විමාන වර්ණනාව නිමියේ ය.
8. අම්බවිමාන වර්ණනා
දිබ්බන්තෙ අම්බවනං රම්මන්ති යනුවෙන් අම්බ විමාන වස්තුව ඇති වේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වාසය කරන සේක. එකල්හි සැවැත්නුවර එක්තරා උපාසිකාවක් ආවාස දානයෙහි මහත්ඵල මහානිසංස භාවය ද අසා ඒ පිළිබඳව කැමැත්තක් උපදවාගෙන භාග්‍යවතුන් වහන්සේට වැඳ ‘ස්වාමීනි, මම ආවාසයක් කර පූජා කිරීමට කැමැත්තෙමි. ඒ සඳහා අවසරය ප්‍රකාශ කරන සේක්වා’ යනුවෙන් කීවාය. භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් හට ඒ සඳහා අණ කළහ. භික්‍ෂූහු ඇයට ඒ අවසරය දුන්හ. ඕ තොමෝ මනරම් ආවාසයක් කරවා එය හාත්පස අඹ ගස් රෝපණය කළාය. ඒ ආවාසය අවට හාත්පස අඹරුක් සෙවණින් සෙවණ වූ හා මිහිරි ජලයෙන් යුක්ත වූ මුතුදැලක් වැනි සුදුවැලි විසුරුවන ලද්දේ ඒ ආවාසය අතිශයින් මනරම් විය. ඕ තොමෝ ඒ විහාරය නා නා වර්ණයන්ගෙන් යුත් රැළි පාලම්වලින් ද, මල්දම් සුවඳ දුම් ආදියෙන් ද දෙව් විමනක් සේ අලංකාර කොට තෙල් පහන් දල්වා අඹරුක් ද අළුත් වස්ත්‍රයගෙන් ඔතා සංඝයා හට පවරා දුන්හ.