2. ලඛුමාවීමාන වර්ණනා
අභික්කන්තෙන වණ්ණෙන යනු ලබුමා විමාන වස්තුවයි. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ ඛාරාණසියං කෙවට්ටද්වාරං බරණැස් නුවර වැඩ වාසය කරන කල්හි, කේවට්ට ද්වාර නමින් බරණැස් නගරයේ එක දොරටුවක් ඇත්තේය. එයට නුදුරුව නිවිට්ඨ නම් ගම පිහිටා ඇත. එයද කේවට්ට ද්වාර යන නමින්ද හැඳින්වේ. එහි ලඛුමා නම් වූ එක් ස්ත්‍රියක් ශ්‍රද්ධා සම්පන්නව බුද්ධි සම්පන්නව සිටියි. එම දොරටුවෙන් පිවිසෙන්නා වූ භික්‍ෂූන් වැඳ තමන්ගේ ගෙදරට කැඳවාගෙන ගොස් දන් පිරිනමා එහිම නැවතීමට ආසන ශාලාවක් ද කරවා එහි පිවිසෙන භික්‍ෂූන්ට ආසන පහසුකම් සපයා දුන්නීය. බීමට හා පරිභෝජනයට අවශ්‍ය ජලය දුන්නීය. ආහාර බත් කැවිලි ආදියද තමාගේ ගෙයි තිබුණේ ද ඒවා දුන්නීය. ඕ තොමෝ භික්‍ෂූන් සමීපයෙන් බණ අසා තිසරණයෙහි ද සීලයෙහි ද පිහිටා සමාහිත සිත් ඇතිව විපස්සනා කර්මස්ථාන උගෙන විදර්ශනා වඩන්නේ උපනිශ්‍රය සම්පන්න නිසා කෙටි කලකින්ම සෝවාන් පෙළෙහි පිහිටියාය. ඕ තොමෝ ඉන්පසු කාලයක කළුරියකොට තව්තිසා දෙව්ලොව මහා විමානයක උපන්නීය. අප්සරාවෝ පන්දහසක් පිරිවර වශයෙන් වූහ. ඕ දෙව්සැප අනුභව කරමින් සිටිද්දී ප්‍රමෝදයට සතුටට පත්ව වාසය කරයි. ආයුෂ්මත් මුගලන් තෙරුන් දේව චාරිකාවෙහි වැඩමවමින් මෙම දෙවඟන හමු වී ‘අභික්කන්තෙන වණ්ණෙන’ ආදී ගාථා මගින් මෙසේ විචාළේය. සියල්ල පෙර කී නයින් දත යුතු.
1. බැබළෙන වර්ණයෙන් දිළිසෙන පැහැයෙන් යම්කිසි දෙවඟනක් සිටින්නීද, ඕ ඕසධී තාරකාව මෙන් හාත්පස බබළමින් සිටින්නීය.
2. මෙබඳු වූ වර්ණ සම්පත්තිය ද මෙබඳු වූ සමෘද්ධි බවක් ද පරිභෝග සම්පත්තියක් ද කුමකින් ලැබුවේද සිත සතුටු කරන සම්පත් පහළ විය.
3 . මහානුභාව වූ දෙව් දුවනියනි, ඔබ මිනිස්ලොව වසන සමයේ කවරනම් පුණ්‍ය කර්මයක් කළේද? එකල දිසාවන් එළිය කරන්නා වූ දිළිසෙන වර්ණයකින් යුතුව මෙසේ පවතින්නට ඔබ කළ කුසලය කුමක්දැයි විමසමි.
4. ඒ දෙව්දුව මුගලන් හිමියන් විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් තමන් කළ කුසලය පවසන්නී.
5. කේවට්ට ද්වාරයෙන් නික්ම මගේ නිවසට පැමිණියා වූ මහාර්ෂී වහන්සේගේ ශ්‍රාවකයන් වෙත ආහාර බාර්ලි, කොමුපිඬු, කාඩි දිය ආදිය ප්‍රසන්න වූ සිතින් යුතුව අවංක වූ සිතින් යුතුව කම්පල අදහා පිරිනැමුවෙමු.
චාතුද්දසි පොහොය, පසළොස්වක, අටවක් පොහොය, ප්‍රාතිහාර්ය පක්‍ෂ පොහොය යන දවස්වල අෂ්ටාංග උපෝසථය සමාදන් වීමි.
උපෝසථයෙහි යෙදී සදාතනිකව සීලයෙන් සංවරව සංයමයෙන් යුතුව ජීවත් වූයෙමි.
ප්‍රාණඝාත, මුසාවාද, සොරකම, මත්පැන් පානය, ස්වාමියා ඉක්මවා හැසිරීම ආදියෙන් වෙන් වී ජීවත් වූයෙමි.
පංච ශික්‍ෂා පදයන් රකිමින් ආර්ය සත්‍යයෙහි දක්ෂ වී යසස්සී ගෞතම බුදුන්ගේ උපාසිකාවක්ව ජීවත් වීමි.
ඒ කුසල කර්මයන්ගේ හේතුවෙන් මේ අන්දමේ වර්ණයක් මේ අන්දමේ සම්පත් මම ලදිමි. යම්කිසි ආකාරයකින් සිත සතුටු කරවන සම්පත් උපදී.
ඒ මහානුභාව වූ භික්‍ෂූන් වහන්සේ අසන ලදුව මම කියමි. මිනිස් දුවක වූ මම යම්කිසි කුසල කර්මයක් කළා නම් මෙබඳු වූ වර්ණයෙන් ද මෙබඳු වූ බැබළෙන සිරුරකින් ද සියළු දිසාවන් පැහැපත් කරමින් ද සිටින බව කියමි.
ස්වාමීනි! මගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පා පියුම් වඳිනු මැනවි. ලඛුමා නම් උපාසිකාව ඔබවහන්සේගේ පා පියුම් සිරසින් නමස්කාර කරයි.’ භාග්‍යවතුන් වහන්සේ අන්‍යතර වූ ශ්‍රාමණ්‍ය ඵලයක් දක්වන්නේ ද ඒ භාග්‍යවතුන් වහන්සේ සකෘදාගාමි ඵලය පැනවීය.
එහි කෙවට්ටද්වාරා නික්‍ඛම්මා කෙවුල් දොරටුවෙන් නික්මෙන තැන්හි
සාකං යනු ආහාර, හාල් එළවළු ආදී ව්‍යඤ්ජන ලොණ සොවීරකං ධාන්‍ය තුනපහ ආදි බොහෝ දේ යොදා සකස් කරන ඒ සුප් වර්ගයකි. ‘ආචාම කඤ්ඡික ලෝණුදකං’ යනුවෙන් ද ව්‍යවහාර කරත්.
ප්‍රශ්න විසඳීම් වශයෙන් ඒ තෙරුන් වහන්සේගේ ධර්ම දේශනාවෙන් සකෘදාගාමි ඵලයට පැමිණියාය. ඉතිරි දේ උත්තරා විමාන වත්‍ථුවෙහි ප්‍රකාශ කළ අනුසාරයෙන් දතයුතුයි.
ලඛුමා විමාන වර්ණනාව නිමියේය.
3. ආචාමදායිකාවිමාන වර්ණනා
පිණ්ඩාය තෙ චරන්තස්ස යනාදී ගාථාවෙන් දැක්වෙන ආවාමදායිකා විමාන වස්තුව මෙසේය. එහි උත්පත්තිය කෙසේ වීද යත්? භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවනයෙහි කලන්දක නිවාපයෙහි (ලෙහෙණුන්ගේ අභය භූමියෙහි) වාසය කරන සේක. එකල්හී රජගහනුවර එක්තරා පවුලක් අභිවාතක රෝගයෙන් උවදුරට පත්විය. එහි එක් ස්ත්‍රියක හැර අනිත් සියල්ලෝම මිය ගියහ. ඇය නිවසද නිවසේ වූ සියලු ධන ධාන්‍යද හැරදමා මරණ භයෙන් බියවත් වූවා බිත්ති හිඩැසකින් පලාගොස් අනාථ වී අනුන්ගේ නිවසකට ගොස් නිවස පිටුපස වාසය කළාය. එම නිවසෙහි කාරුණික පුරුෂයෙක් හැලි වළං ආදියෙහි ඉතිරිවන බත් කැඳ ආදිය ඇයට දෙන්නාහ. ඇය ඒ ස්ථානයේම ඔවුන්ගේ කැඳ බත් කා ජීවිකාව කරයි.
එකල්හි ආයුෂ්මත් මහා කාශ්‍යප රහතන් වහන්සේ සත් දිනක් තිරෝධ සමාපත්තියට සමවැදී සිට එයින් නැගී අද මා ආහාර පිළිගැනීමෙන් කවරනම් අයෙකුට අනුග්‍රහ කරන්නෙම්ද, දුගතියේ හා අනික් දුක්වලින් මුදවන්නෙම්දැයි කල්පනා කරන්නාහ. මරණයට ආසන්නව සිටි ඇය, නිරයෙහි ඉපදීමට හේතුවන ලෙස කරන ලද කර්මයන් ඇති බව දැක මා එහි ගියවිට ඇය තමන් ලත් කැඳවතුර මට දෙන්නීය. ඒ හේතුවෙන්ම ඇය නිර්මාණරතී දිව්‍යලෝකයෙහි උපදින්නීය. මෙසේ ඇය නිරයෙහි වැටීමෙන් මුදවාගෙන මැයට ස්වර්ග සම්පත්තිය ලබාදෙන්නේ නම් යෙහෙකැයි සිතා පෙරවරුයෙහි හැඳ පෙරව පා සිවුර ගෙන ඇය සිටිනා තැනට අභිමුඛව වඩිනා සේක. එවිට සක්දෙව් රජු අප්‍රකට වේශයකින් යුතුව නොයෙක් රසයෙන් සැදි නොයෙක් සූප හා ව්‍යඤ්ජන සහිත ආහාරයක් ද, දිවසළු ද ගෙන ආවේය. ඔහු කවරෙකුදැයි දැන හැඳිනගත් තෙරුන් වහන්සේ, ශක්‍රය, ඔබ කරන ලද පින්කම් ඇත්තේය. කුමක් නිසා මෙසේ කරන්නේද? දුකට පත් දිළින්දන් හට ලැබෙන සම්පත් නො වලක්වනු යයි කියා, ශක්‍රයා ගෙනා දේ ප්‍රතික්‍ෂේප කොට එම ස්ත්‍රිය ඉදිරියෙහි සිටි සේක.