1. දාසීවිමන වර්ණනා
දෙවන වර්ගයේ අපි සක්කොච දෙවින්‍දො යනාදිය දාසී විමානය පිළිබඳවයි. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමයේ වාසය කරන කල්හි සැවැත්නුවර වැසි එක්තරා උපාසකවරයෙක්, තවත් බොහෝ වූ උපාසකවරුන් සමග සවස් කල්හි විහාරයට ගොස් දහම් අසා පිරිස නැගිට සිටි කල්හි, භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ ‘ස්වාමීනි මම මෙතැන් සිට සංඝයාට නිරන්තර සලාක බත් සතරක් දෙන්නෙමි’යි කීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ධාර්මික කථාවක් කොට එහි යහපත් බව ඔහුට පහදා දුන්හ. හෙතෙම ස්වාමීනි, මා විසින් සංඝයාට නිති බත් සතරක් දීමට පිළි දෙන ලදී. සෙට දවස පටන් ස්වාමීන් වහන්සේලා මගේ නිවසට පැමිණෙත්වායි, සලාක බත් පිළියෙළ කරන භත්තුද්දේශක හිමියන්ට ද දන්වා තම නිවෙසට ගියේය. හේ නිවසට ගොස් දාසියක කැඳවා හෙට දින සිට මගේ නිවසට පිඩුසිඟා වඩිනු ඇත. ඔබ උන්වහන්සේලාට දන් පිළියෙළ කිරීමේ කාර්යයේ නිරතුරුව, ප්‍රමාද නොවී ක්‍රියා කළයුතු වෙවයි කීයේය. ඕ තොමෝ යහපතැයි පිළිගත්තාය. ඇය ස්වාභාවිකවම ශ්‍රද්ධා සම්පන්නය. පින් කැමැත්තීය. සිල්වත්ය. එහෙයින් දිනපතා කල් ඇතිවම නැගිට ප්‍රණිත ලෙස ආහාරපාන පිළියෙළ කොට භික්‍ෂූන් හිඳිනා තැන් සුමට ලෙස මනාව පිරිබඩ ගා අසුන් පණවා භික්‍ෂූන් පැමිණි කල්හී එහි හිඳුවා වන්දනාමාන කොට සුවඳ දුම් මල් ආදියෙන් පුදා මනාව වළඳවයි.
ඉක්බිති එක් දිනක් භික්‍ෂූන් වළඳවා නිමිකල්හි (උන්වහසේ) සමීපයට පැමිණ වැඳ ‘ස්වාමීනි, මේ ජාති ආදී දුකින් නිදහස් වීමක් කෙසේ සිදුවේදැ’යි යන ප්‍රශ්න විචාළාය. භික්‍ෂූහු ඇයට තිසරණ ද සිල් ද දී කයෙහි ස්වභාවය ප්‍රකාශකොට ඇය පිළිකුල් බවෙහි යෙදවීමෙහි පිහිටවූහ. පසුව අනිත්‍යතාවයෙන් යුක්ත වූ ධර්ම දේශනයක් කළහ. ඕ තොමෝ සොළොස් වසක් සිල් රකින්නී එක් දිනක් දහම් ඇසීමෙන් මනා දැක්මක්ද ලැබ නුවණ ද මෝරා ගොස් තිබූ හෙයින් විදසුන් වඩා සෝවාන් ඵලය සාක්‍ෂාත් කර ගත්තාය. පසුකලෙක කළුරිය කළ ඇය සක්දෙව් රජුගේ වල්ලභ වූ පරිචාරිකාවක් වී උපත ලැබුවාය. තව ද තූර්ය භාණ්ඩ සැටදහසක සේවය ලබමින් අප්සරාවන් සියදහසක් පිරිවර කොටගෙන මහත් වූ දිව්‍ය සම්පත් විඳිමින් ප්‍රීතියෙන් සතුටෙන් පිරිවර සහිතව උයන් ආදියෙහි හැසිරෙන්නීය. ආයුෂ්මත් මුගලන් රහතන් වහන්සේ දිව්‍යලෝක චාරිකාවේ සැරිසරන සේක් ඇය දැක ‘අපි සක්කොච දෙවින්‍දො’ ආදී ගාථාවන්ගෙන් ඇය විසින් කරන ලද පුණ්‍යකර්ම විස්තර විචාළහ.
ශක්‍ර දේවේන්ද්‍රයා මෙන් රම්‍ය වූ චිත්‍රලතා වනයෙහි හාත්පසින් අප්සරාවන් සමූහයා පිරිවරාගෙන ඕසධී තාරකාව මෙන් සියලු දිසා බබුළුවමින් හැසිරෙන්නෙහිය.
මනසට ප්‍රිය වූ යමක් වේද, ඒ සම්පත් ඔබට ලැබෙන්නේය. ඔබට මෙබඳු වර්ණයක් කවර හේතුවකින් ලැබුණේද, ඔබට එබඳු සමෘද්ධියක් කවර පින්කමකින් ලැබුණේද?
මහත් වූ ආනුභාව ඇති දේවතාවියනි, ඔබේ වර්ණය සියලු දිසාවන් බබළවයි. මෙවැනි දීප්තියක් ආනුභාවයක් කුමක් නිසා ලැබුණේද? මිනිස් දුවක් වූ සමයෙහි කවරනම් පිනක් කළෙහිදැයි අසන්නෙමි යනුවෙන් වදාළහ.
මුගලන් තෙරුන් විසින් ප්‍රශ්න කරන ලදුව සතුටට පත් සිත් ඇති ඒ දේවතාවිය මේ ඵලය කවර කර්මයක් නිසාදැයි අසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් පහත දැක්වෙන පරිදි ප්‍රකාශ කළාය.
මිනිස් ලොව දී මිනිස් දුවක වූ මම පරහට මෙහෙ කරන කුලගෙයක දාසියක වීමි.
පසැස් ඇත්තා වූ, යසසින් යුතු වූ ගෞතම මුනීන්ද්‍රයන් වහන්සේගේ උපාසිකාවක වූ මට, කෙළෙස් දුරුකළ උන්වහන්සේගේ ශාසනයේ කෙළෙස් තවන වීර්යය ඇතිවිය.
යම්හෙයකින් මගේ මෙම ශරීරය විනාශ වී යන්නේ නම්, එය එසේ වේවා. මේ ශරීරයේ සන්සිඳීමක් ඇත්තේ නැත. පංච ශික්‍ෂා පදයගෙන් දක්වන මාර්ගය යහපත් වන්නේය. ශාන්ත වන්නේ ය.
කෙළෙස් නමින් හැඳින්වෙන කටු නැත්තා වූ කෙළෙස් ග්‍රහණය කරගැනීමෙන් වෙන් වූ, ඍජු වූ, ඥානවන්තයන් විසින් ප්‍රකාශ කරන ලද්දා වූ, මෙය ආර්ය මාර්ගය වේ. එහි යම්කිසි ඵලයකට මේ ස්ත්‍රිය පැමිණියද, හෙවත් මම පැමිණියෙම්ද, එම වීර්යයේ ඵලය දෙස බලන්න.
දෙව්ලොව තම වසඟයෙහි පවත්වන්නා වූ සක්දෙව් රජහුගේ සාකච්ඡාවට යෝග්‍ය වූ, තැනැත්තිය වෙමි. සැටදහසක් වූ තූර්ය වාදනයෙන් මා සතුටට සොම්නසට පත් කරයි.
ආලම්බය, ගග්ගරය, භීමය, සාධුවාදී සංඝය, පොක්‍ඛරය, සඵස්සය, යන දිව්‍ය වාදකයෝ ද
නන්දය, සුනන්දාය, සෝණදින්නාය, සුවිම්භිකාය, අලම්බුසාය, මිස්සකේසීය, ඉතා රුදු වූ පුණ්ඩරීකාය,
ඒණි පස්සාය, සුඵස්සාය, මුදු වදන් ඇති සුභද්දාය යන මේ වාදක දෙවඟනෝ ද, අප්සරාවන් ප්‍රබෝධමත් කරවන, තවත් දිව්‍ය වාදිකාවෝද, යන මේ දිව්‍ය ස්ත්‍රීහු මා වෙත පැමිණ මා සතුටු කරවත්. දැන් අපි නටමු, ගයමු, ඔබ ප්‍රීතිමත් කරමු යයි ප්‍රියවදන් කියති.
මේ සම්පත්තිය නො කරන ලද පිනකින් ඇති වූවක් නොවේ. ශෝක හේතුවලින් තොර වූ රම්‍ය වූ තිදස්පුර දෙවිවරුන්ගේ මේ මහා උයන ලැබුනේ කරන ලද පින්වලින්මය.