9. දීපවිමාන වර්ණනා
අභික්කන්තෙන වණ්ණෙන යනුවෙන් දීප විමාන වස්තුව ආරම්භ වේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වාසය කරන කල්හි පොහෝ දිනයෙහි බොහෝ උපාසකවරු පෙහෙවස් සමාදන් වී පෙරවරුවෙහි සම්පත් ඇති පරිද්දෙන් දන් දී කල්තබාම අහර ගෙන සුදුවත් හැඳ, සුදු උතුරු සළු දරා ගඳමල් ආදිය ගත් අත් ඇත්තාහු පස්වරුවෙහි විහාරයට ගොස් මන වඩන්නා වූ භික්‍ෂූන් ඇසුරුකොට සවස්කල්හි ධර්ම ශ්‍රවණය කරත්. විහාරයෙහිම වසනු කැමති ඔවුන් ධර්ම ශ්‍රවණය කරන කල්හිම හිරු අවරට ගියේ අඳුරු වූයේය. එහිදී එතරා (නම් ගොත් ආදියෙන් අප්‍රසිද්ධ වූ) ස්ත්‍රියක් දැන් පහන් දැල්වීම සුදුසු යයි සිතා, පහන් දැල්වීමට අවශ්‍ය දේ තම නිවසින් ගෙන්වා පහන් දල්වා ධර්මාසනයට ඉදිරියෙන් තබා ධර්ම ශ්‍රවර්ණය කළාය. ඕ තොමෝ ඒ ආලෝක දානයෙන් සතුටු වී ප්‍රීති සොම්නස් උපදවා වැඳ තමාගේ නිවසට ගියාය. ඇය පසුකලෙක කලුරියකොට තව්තිසා භවනයෙහි (සිතූ පැතූ දේ ලබාදෙන බැවින්) ජෝතිරස නම් වූ විමානයෙහි උපන්නාය. අතිශයින් ආලෝකය විහිදුවන්නා වූ ඇගේ ශරීර ශෝභාව අන් දෙවිවරුන් අභිබවා දස දිසාවන් බබුලුවමින් පවතී. ඉක්බිති එක් දිනයෙක ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන තෙරණුවෝ දිව්‍යලෝක චාරිකාවෙහි යෙදෙන්නාහු සඳු මෙන් ද හිරු මෙන් ද දස දිසාවන් බබුලුවමින් දහසක් අප්සරාවන් පිරිවරකොට සිටි ඒ දෙව්දුව දැක, පහත සඳහන් ගාථා සතරෙන් ප්‍රශ්න කළහ.
අභික්කන්තෙන වණ්ණෙන යා ත්‍වං තිට්ඨසි දෙවතෙ
ඔභාසෙන්ති දිසා සබ්බා ඔසධී විය තාරකා
දේවතාවියනි, යම්බඳු වූ ඔබ බබලන්නා වූ වර්ණයෙන් යුතුව සිටින්නෙහි ද, එබඳු වූ ඔබ ‘ඔසධී’ නම් තාරකාව මෙන් සියලු දිශාවන් බබළවන්නෙහිය.
කෙන තෙ තාදිසො වණ්ණෙ කෙන තෙ ඉධ මිජ්ඣති
උප්පජ්ජන්තිච තෙ භොගා යෙකෙචි මනසො පියා
මනසට ප්‍රිය වූ යමක් වේද ඒ සම්පත් ඔබට ලැබෙන්නේය. ඔබට මෙබඳු වර්ණයක් කුමක් නිසා ලැබුණේ ද? ඔබට මෙබඳු සමෘද්ධියක් කුමක් නිසා ලැබුණේද?
කෙන ත්‍වං විමලොභාසා අතිරොචසි දෙවතෙ
කෙන තෙ සබ්බ ගත්තෙහි සබ්බා ඔභාසතෙ දිසා
දේවතාවියනි, ඔබ අතිශයින් ප්‍රිය උපදවන්නෙහිය. ඔබට ඔතරම් පැහැදිලි බැබලීමක් කුමක් නිසා ලැබුණේ ද? ඔබේ මුලු සිරුරෙන්ම සියලුම දිශාවන් ආලෝකවත් වෙයි. කුමක් නිසා එසේ වේ ද?
පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ
මනුස්සභුතා කිමකාසි පුඤ්ඤං
කෙනාසි එවං ජලිතානු භාවා
වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී’ති
මහත් වූ ආනුභාව ඇති දේවතාවියනි, ඔබේ වර්ණය සියලු දිශාවන්ම බබුලුවයි. මෙවැනි දීප්තිමත් අනුභාවයක් කුමක් නිසා ලැබුණේ ද? මිනිස් දුවක වූවා කවරනම් පිනක් කෙළෙහි දැයි අසන්නෙමි’යි
යනුවෙන් ගාථා සතරකින් ප්‍රශ්න කළහ.
සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා
පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං
මුගලන් මහ රහතුන් විසින් ප්‍රශ්න කරන ලද සතුටට පත් සිත් ඇති ඒ දේවතා තොමෝ මේ ඵලය කවරනම් කර්මයක්හුගේ දැයි යන බව, අසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ප්‍රකාශ කළාය.
අහං මනුස්සෙසු මනුස්ස භූතා
පුරිමාය ජාතියා මනුස්ස ලොකෙ
තමන්‍ධ කාරම්හි තිමීසි කායං
පදීම කාලම්හි අදං පදීපං
මම පෙර භවයෙහි මිනිස්ලොව මිනිසුන් අතර මිනිස් දුවක වූයෙම් ඉතා අඳුරු රාත්‍රියක ගණ අඳුරෙහි පහන් දල්වන වේලෙහි පහන් පිදුවෙමි.
යො අන්‍කාරම්හි තිමීසි කායං
පදීප කාලම්හි දදාති දීපං
උප්පජ්ජති ජොතිරසං විමානං
පහූත මල්‍යං බහුපුණ්ඩරීකං
යමෙක් ගණඳුරු රැයෙහි පහන් දැල්විය යුතු වේලෙහි පහන් දන් දෙන්නේ ද ඔහු වෙනුවෙන් ජොතිරස නම් මැණික්වලින් තැනුණ බොහෝ මල් ඇති බොහෝ වූ සුදු නෙළුම් ද සහිත විමානයක් පහළ වේ.
තෙන මෙ තා තිසො වණ්ණො තෙන මෙ ඉධ මිජ්ඣති
උප්පජ්ජන්තිච මෙ භොගා යෙ කෙචි මනසො පියා
සිතට යමක් ප්‍රිය වේද, ඒ සම්පත් මට ලැබෙන්නේ ය. (පෙර කියූ පිදීම් හා වැඳීම් යන) ඒ කරුණු නිසා මට මෙබඳු වර්ණයක් ලැබිණ. ඒ කරුණු නිසා මට මෙබඳු ඉසුරුමත් බවක් ලැබිණ.
තෙනාහං විමලොභාසා අතිරාචාමි දෙවතා
තෙන මෙ සබ්බ ගත්තෙහි සබ්බා ඔභාසතෙ දිසා
(පෙර කී) ඒ හේතූන් නිසා මම දෙව්දුවක වූයෙම් පිරිසිදු ආලෝකයක් සහිතව අතිශයින් බැබලෙමි. ඒ හේතුන් නිසා මාගේ සකල ශරීරයෙන්ම සියලු දිශාවන්ම ආලෝකවත් වෙයි.
අක්‍ඛාමි තෙ භික්‍ඛු මහානුභාව
මනුස්සභුතා යමකාසි පුඤ්ඤං
තෙනම්හි එවං ජලිතානුභාවා
වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී’ති විස්සජ්ජෙසි
මහානුභාව ඇති භික්‍ෂුවරයාණනි, මිනිස් දුවක) වූ මම යම් පිනක් කෙළෙම් ද ඒ පිනින් මෙසේ දීප්තිමත් ආනුභාව සහිත තැනැත්තියක වෙමි. මාගේ වර්ණය ද සියලු දිශාවන් බබුලුවන්නේ වෙයි.’
යනුවෙන් පිළිතුරු වශයෙන් කීවාය.
අභික්කන්තෙන මෙහි අභික්කන්ත ශබ්දයයි. ‘අභික්කන්තා භන්තෙ රත්ති නික්‍ඛන්තො පඨම භාගො’ (=ස්වාමීනි, රාත්‍රිය ඉකුත්විය. පළමු යාමය නික්ම ගියේය) යන ආදියෙහි අභික්කන්තෙ යන්න ක්‍ෂයවීම යන අර්ථයෙහි යෙදේ. ‘අයං ඉමෙසං චතුන්නං පුග්ගලානං අභික්කන්ත තරොච පණීත තරොච’ (මේ තෙමේ මෙම පුද්ගලයන් සිවුදෙනාට වඩා ප්‍රියජනකද, වඩා යහපත් ද වෙයි) යන ආදියෙහිදී ‘අභික්කන්ත’ යන්න සිත්ගන්නා යන අදහසෙහි යෙදේ. ‘අභික්කන්ත වණ්ණෙන සබ්බා ඔභාසයං දිසා’ (දීප්තිමත් වර්ණයෙන් සියලු දිශාවන් බබුලුවමින්) ආදී තැන්හි අභික්කන්ත යන්න බැබළීම් අර්ථයෙහි යෙදේ. මෙහිද අභිරූප (හෙවත් බැබළීම්) යන අර්ථයෙහිම යෙදේ යයි දතයුතුය. එහෙයින් ‘අභික්කන්තෙන’ යනු ඉතා කාන්තිමත්, ඉතා මනාප, ඉතා රූමත් යන අර්ථ ඇත්තේ වේ. වණ්ණෙන සමේ වර්ණයෙන්. ඔභාසෙන්ති දිසා සබ්බා සියලු දිශාවන් බබුලුවති. ඒකාලෝක කරති. කුමක් මෙන් එසේ වේද යත්, ඔසධී විස තාරකා උත්සන්න වූ ප්‍රභාවයක් මේ (තරුව) විසින් දරනු ලැබේ. නැතහොත් ඖෂධවලට බලය ලබා දේ යන්න අදහස් කොට ‘ඔසධී’ යයි ලද නම් ඇති තාරකාව යම් සේ හාත්පසින් ආලෝකවත් කරමින් සිටීද එසේම ඔබ සියලු දිශාවන් ආලෝකවත් කරමින් සිටින්නෙහිය.