10. තිලදක්ෂිණාවිමාන වර්ණනා
අභික්කන්තෙන වණ්ණෙන යන මේ තිල දක්‍ඛිණ විමාන වස්තුවයි. එහි උත්පත්තිය කවරේද? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාම නම් වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද විහාරයේ වැඩවසන සමයේ එක්තරා ගර්භනී ස්ත්‍රියක්, තෙල් සිඳිනා කැමතිව, තල ටිකක් සෝදා අව්වෙහිලා වියලන්නීය. ඕ තොමෝ අවසන් වූ ආයුෂ ඇත්තෝ ඒ දවසම කළුරිය කොට නිරයේ උපදින්නට ඇගේ කර්මය ඉඩදී සිටියේය. ඇයගේ එම අකුසල කර්ම විපාකය එදින පල දෙන දවසයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අලුයම් වේලෙහි ලොව බලන්නේ දිවැසින් මේ ස්ත්‍රිය දුටු සේක. එසේ බලා මෙසේ සිතූහ. මෙම ස්ත්‍රිය අද කලුරියකොට නිරයේ උපදින්නීය. මම යම් හෙයකින් ඇගෙන් තලභික්‍ෂාව පිළිගෙන ඇය ස්වර්ගයෙහි ඉපදීම කරන්නේ නම් වටනේය. උන්වහන්සේ ක්‍ෂණයකින් සැවැත්නුවරින් පිටත්ව රජගහ නුවරට පිවිස පෙරවරු සමයේ හැඳ පෙරවා පා සිවුරු ගෙන රජගහ නුවර පිඬු පිණිස හැසිරෙන්නේ පැමිණ ඇයගේ ගෙදොරට වැඩම කළහ. ඒ ස්ත්‍රී තොමෝ භාග්‍යවතුන් වහන්සේ දැක හටගත් ප්‍රීති සොම්නසින් යුතුව වහා නැගිට ඇඳිලි බැඳ වැඳ, පිදිය යුතු අන්කිසිවක් නො දක්නී, අත් පා දොවා තල රාශිය එකතු කොටගෙන, දෝතක් ගෙන භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රයට පිළිගන්වා, භාග්‍යවතුන් වහන්සේට වැන්දාය. භාග්‍යවතුන් වහන්සේ ඇයට අනුකම්පා කරන්නේ සුවපත් වෙත්වා’යි වදාරා වැඩියහ. ඕ තොමෝ එදින රෑ අලුයම් වේලෙහි කළුරියකොට තව්තිසා දෙව්ලොව දොළොස් යොදුනක් වූ රත්රන් විමානයක නිදා පිබිදියාක් මෙන් උපන්නීය.
ඉක්බිති ආයුෂ්මත් වූ මහ මුගලන් තෙරණුවෝ පෙර සඳහන් පරිදිම දේව විමාන චාරිකාවේ සැරිසරන්නේ දහසක් දෙවඟනන් පිරිවරා මහත් වූ දේව සෘද්ධියෙන් බබළා සිටින්නා වූ ඒ දෙවඟන වෙතට වැඩම කොට,
දේවතාවියනි, ඔබ ඕසධී තාරකාව මෙන් සියලු දිසා බබළවන්නී මනා වූ රූපයෙන් සිටින්නෙහිය.
1-2. මෙබඳු වර්ණයකින් යුතුව ජෝතිමත්ව බබළන්නා වූ ශරීරයක් ද සිතෙහි සතුට ඇතිකරවන්නා වූ විවිධ සම්පත් ඇතිව ඉපදී සිටී.
3. මහානුභාව සම්පන්න වූ දේවතාවියනි! මෙවැනි දිලිසෙන ස්වභාවයක් ද යුත් වර්ණයකින් ද සියලු දිසාවන් බබුළුවන්නා වූ ප්‍රභාවයක් ද ලබන්න. මිනිසකුව සිටියදී ඔබ කළ පුණ්‍යකර්මය කුමක්ද විචාරයි.
ඕ දේවතාවිය, මුගලන් හිමියන් විසින් තමන්ගෙන් විචාරන ලද, ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් තමන් විසින් කළ පින්කම් විස්තර කළාය.
මම පෙර ආත්මයේ මනුෂ්‍ය ලෝකයේ මිනිස් දුවක්වැ උපන්නෙමි.
එක් දවසක් අතිශයින් ප්‍රසන්න වූ, හදවත සිසිල් කරන්නා වූ විරාගි වූ බුදුරජාණන් වහන්සේ දුටිමි. ඒ දක්‍ෂිණාර්හ වූ බුදුන්වහන්සේ, ප්‍රසන්න වූ සිතින් යුතුව, තල දෝතක් දක්‍ෂිණාව වශයෙන් ගෙන මගේ දෑතින් පූජා කළෙමි. ඒ පුණ්‍යකර්මය හේතුවෙන් මෙවන් වර්ණයක් මම ලද්දෙමි. මනදොල සපුරන්නා වූ මේ භෝග සම්පත් ද ඒ පින්කම නිසාම මට උපදියි.
මහානුභාව සම්පන්න ස්වාමීනි, මනුෂ්‍ය දුවක්ව සිට එබඳු වූ යම් කුසල කර්මයක් මා විසින් කරන ලද ද ඒ පුණ්‍යකර්මයාගේ විපාකයෙන් දසදිග් බබුළුවන ස්වභාවයක් ද හාත්පස බබුළුවන වර්ණයකින් ද දිව්‍ය සම්පත්වලින් ද මා යුක්ත වූ බව පවසමි.
ඕ තොමෝ කීවාහ.
එහි ආසජ්ජ මේ ආසජ්ජ ශබ්දයයි. ආසජ්ජන තථාගතං ආදි තැන්වල ගැටුමෙහි ආයේය. ආසජ්ජ දානං දෙති ආදි තැන්වල දැකිය යුතුය. එහෙයින් ආසජ්ජා - ළඟට පැමිණ අකාමා ඕ තොමෝ වනාහී දෙය්‍ය ධර්ම වස්තුවක් පෙර වූ පරිද්දෙන් සංවිධානය කරන්නේ භාග්‍යවතුන් වහන්සේ සැපත් වූ කල්හි පවත්වන ලද තල දානය සඳහා ආසජ්ජ දානං අදාසිං අකාමා තිල දක්‍ඛිණං යන්න කීහ. සෙස්ස කී නයින් දත යුතුය.
මෙසේ දෙව්දුව විසින් තමන් විසින් කරන ලද පුණ්‍යකර්මය කී කල්හි මහ මුගලන් තෙරණුවෝ පිරිවර සහිත වූ ඒ දෙව්දුවට දහම් දෙසා මිනිස් ලොව පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග විස්තර වශයෙන් ඒ ප්‍රවෘත්තිය කීයේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එය අරබයා පැමිණ සිටි පිරිසට ධර්ම දේශනා කළහ. ඒ දේශනාව මහජනයාට සාර්ථක වූයේයි කීහ.
තිල දක්‍ඛිණ විමාන වර්ණනාව නිමියේය.
11. පතිව්‍රතාවිමාන වර්ණනා
කොඤ්චා මයූරා දිවියාච හංසා යනුවෙන් පතිබ්බතා විමාන වත්‍ථු ආරම්භ වේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුහුගේ ජේතවන නම් ආරාමයෙහි වැඩවසන සේක. එම සැවැත් නුවරෙහි පතීව්‍රතා ධර්මය රකින, ස්වාමි පුරුෂයාට අනුව පවත්නා, ඉවසන ස්වභාවය ඇති, සැමියාට ගරුකරන, ධාන්‍ය පොතුවල කුඩු පවා අපතේ නොයවන (=හෙවත් සැමියාගේ වස්තුව රකින), පරුස වචනයෙන් තොර වූ, සත්‍යවාදී වූ, ශ්‍රද්ධා සම්පන්න වූ එක්තරා ස්ත්‍රියක් වූවාය. ඇය හැකි අයුරින් දානය ද පිදුවාය. ඕ තොමෝ කිසියම් රෝගයක් වැළඳී කලුරියකොට තව්තිසා භවනයෙහි උපන්නාය. එකල්හි පෙර පරිද්දෙන්ම දිව්‍යලෝක චාරිකාවෙහි හැසිරෙන මහ මුගලන් රහතන් වහන්සේ මහත් සම්පත්තියක් අනුභව කරන එම දෙව්දුව දැක ඇයගේ සමීපයට පැමිණියහ. දහසක් අප්සරාවන් පිරිවරා ගත් ගැල් සැටක් බර අබරණින් සැරසුණ සිරුරක් ඇති ඕ තොමෝ හිස නමා තෙරණුවන්ගේ පා වැඳ එකත්පසෙක සිටියාය. ඇය විසින් කරන ලද පින්කම් පිළිබඳව ප්‍රශ්න කරන්නා වූ තෙරණුවෝ මෙසේ කීහ.