11. පතිව්‍රතාවිමාන වර්ණනා
කොඤ්චා මයූරා දිවියාච හංසා යනුවෙන් පතිබ්බතා විමාන වත්‍ථු ආරම්භ වේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුහුගේ ජේතවන නම් ආරාමයෙහි වැඩවසන සේක. එම සැවැත් නුවරෙහි පතීව්‍රතා ධර්මය රකින, ස්වාමි පුරුෂයාට අනුව පවත්නා, ඉවසන ස්වභාවය ඇති, සැමියාට ගරුකරන, ධාන්‍ය පොතුවල කුඩු පවා අපතේ නොයවන (=හෙවත් සැමියාගේ වස්තුව රකින), පරුස වචනයෙන් තොර වූ, සත්‍යවාදී වූ, ශ්‍රද්ධා සම්පන්න වූ එක්තරා ස්ත්‍රියක් වූවාය. ඇය හැකි අයුරින් දානය ද පිදුවාය. ඕ තොමෝ කිසියම් රෝගයක් වැළඳී කලුරියකොට තව්තිසා භවනයෙහි උපන්නාය. එකල්හි පෙර පරිද්දෙන්ම දිව්‍යලෝක චාරිකාවෙහි හැසිරෙන මහ මුගලන් රහතන් වහන්සේ මහත් සම්පත්තියක් අනුභව කරන එම දෙව්දුව දැක ඇයගේ සමීපයට පැමිණියහ. දහසක් අප්සරාවන් පිරිවරා ගත් ගැල් සැටක් බර අබරණින් සැරසුණ සිරුරක් ඇති ඕ තොමෝ හිස නමා තෙරණුවන්ගේ පා වැඳ එකත්පසෙක සිටියාය. ඇය විසින් කරන ලද පින්කම් පිළිබඳව ප්‍රශ්න කරන්නා වූ තෙරණුවෝ මෙසේ කීහ.
කොඤ්චා මයුරා දිවියාච හංසා
වග්ගුස්සරා කොකිලා සම්පතන්ති
පුප්‍ඵාභි කිණ්ණං රම්ම මිදං විමානං
අනෙක චිත්තං නරනාරි සෙවිතං
කොස්වාලිහිණියෝ ද, මයුරයෝ ද හංසයෝ ද, මනහර නාදය සහිත කොවුලෝ ද යන දිව්‍යමය පක්‍ෂීහු මෙහි හැසිරෙත්. විසුරුණු මල් ඇති රමණීය වූ මේ විමානය නන් අයුරින් සිතුවම් කොට ඇත. ස්ත්‍රී පුරුෂ (දෙවි) යන්ගෙන් ගැවසී ගත්තේය.
තත්‍ථච්ඡසී දෙවි මහානුභාවෙ
ඉද්ධී විකුබ්බන්ති අනෙක රූපා
ඉමාච තෙ අච්ඡරායො සමන්තතො
නච්චන්ති ගායන්ති පමොදයන්ති
මහානුභාව සහිත දේවතාවියනි, ඔබ ඍද්ධියෙන් විවිධ රූප ආදිය මවමින් වෙසෙන්නෙහිය. ඔබගේ මෙම අප්සරාවෝ ද ඔබ වටා නටති. ගයති. ඔබ ප්‍රමෝදයට පත් කරවති.
දෙවිද්ධි පත්තාසි මහානුභාවෙ
මනුස්ස භූතා කිමකාසි පුඤ්ඤං
කෙනාසි එවං ජලිතානුභාවා
වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී’ති
මහත් ආනුභාව ඇති දේවතාවියනි, ඔබ ඍද්ධිමත් වූයෙහි ය. මිනිස් (දුවක) වූවා කවරනම් පිනක් කෙළෙහිද? ඔබේ වර්ණය ද සියලු දිශාවන් ආලෝකමත් කරයි. මෙවැනි දීප්තිමත් ආනුභාවයක් කවර හේතුවකින් ලැබුවෙහිද?
සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා
පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං
මුගලන් මහ රහතුන් විසින් ප්‍රශ්න කරන ලද, සතුටු සිත් ඇති ඒ දේවතා තොමෝ මේ ඵලය කවරනම් කර්මයක්හුගේ දැයි යන බව, අසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ප්‍රකාශ කළාය.
අහං මනුස්සෙසු මනුස්ස භූතා
පතිබ්බතා නාඤ්ඤමනා අහොසිං
මාතාව පුත්තං අනුරක්‍ඛ මානා
කුද්ධාපහං න ඵරුසං අවොචං
මිනිස් ලොව මිනිස් දුවක වූ මම අන් අය ගැන නො සිතන පතිව්‍රතාවක් වීමි. ක්‍රෝධයෙන් දුරු වීමි. පරුස බස් නො කීමි. පුතු රකින මවක මෙන් යට කී ගුණාංග රැකියෙමි.
සච්චෙ ඨිතා මොනවජ්ජං පහාය
දානෙ රතා සංගහිතත්ත භාවා
අන්නඤ්ච පානඤ්ච පසන්න චිත්තා
සක්කච්ච දානං විපුලං අදාසිං
මුසාවාදයෙන් දුරුව සත්‍ය (වචනයෙහි) පිහිටියෙම් සංග්‍රහ කිරීමෙහි ඇලුණු ස්වභාවයක් ඇතිව දන්දීමෙහි ඇලුනෙම් පහන් සිතින් යුතුව ආහාර ද පාන ද සකස්කොට මහ දන් දුනිමි.
තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධ මිජ්ඣති
උප්පජ්ජන්තිච මෙ භොගා යෙ කෙචි මනසො පියා
සිතට යමක් ප්‍රිය වේද, ඒ සම්පත් මට ලැබෙන්නේය. (පෙර කියූ පිදීම් හා වැඳීම් යන) ඒ කරුණු නිසා මට මෙබඳු වර්ණයක් ලැබිණ. ඒ කරුණු නිසා මට මෙබඳු ඉසුරුමත් බවක් ලැබිණ.
අක්‍ඛාමි තෙ භික්‍ඛු මහානුභාවං
මනුස්සභුතා යමකාසි පුඤ්ඤං
තෙනම්හි එවං ජලිතානුභාවා
වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී’ති
මහත් ආනුභාව ඇති භික්‍ෂුවරයාණනි, මිනිස් (දුවක) වූ මම යම් පිනක් කෙළෙම් ද, ඒ පිනින් මෙසේ දීප්තිමත් ආනුභාව සහිත තැනැත්තියක වෙමි. මාගේ වර්ණය ද සියලු දිශාවන් බබුලුවන්නේ වෙයි
යනුවෙන් ඒ දේවතා තොමෝ පිළිතුරු දුන්නාය.
එහි ගාථාවන්හි පද විස්තර මෙසේය. කොඤ්චා කොස්වාලිහිණියෝ. ‘කොඤ්චා’ යනු පිල් ලිහිණියෝ යයි ද ඇතැම්හු කියති. මයුරා මොණරු. දිවියා දිව්‍යානුභාවය සහිත. මේ පදය වනාහි ‘දිවියා කොඤ්චා, දිවියා මයුරා’ යන ආදී ලෙසින් පද සතර සමගම යෙදිය යුතුය. හංසා ස්වර්ණ හංසයන් ආදී හංසයන්. වග්ගුස්සරා මිහිරි ස්වරයන්. කොකිලා කාළ කෝකිල, ඵුස්ස කෝකිල යන වර්ග දෙක. සම්පතන්ති දේවතාවියගේ ප්‍රීතිය සඳහා ක්‍රීඩා කරන, ප්‍රීතිමත් කරන (=නැලවෙන) පිරිස් හාත්පසින් වෙත්. හැසිරෙත්. කොස්වාළිහිණි ආදී රූපයෙන් දේවතාවියගේ ප්‍රීතිය (=රතිය) ඇතිකිරිම පිණිස පිරිවර දේවතාවන් ක්‍රීඩා කරන්නාහ යයි ද, ප්‍රීතිමත් කරන්නාහ යයි ද යන කරුණු ‘කොඤ්චා’ යන ආදියෙන් කියන ලදී. පුප්ඵාභි කිණ්ණං ගොතන ලද්දා වූ ද, ගොතනු ලැබීමෙන් තොර වූද, විවිධ වූ අගනා මල්වලින් ගැවසී ගත්. රම්මං රමණීය වූ, මනෝරම්‍ය වූ යන අර්ථයයි. අනෙක චිත්තං බොහෝ වූ උයන්, කප්රුක්, පොකුණු ආදියෙන් ද විමානයන්හි දී විශේෂ වූ බෙදීම් ආදියෙන් ද විසිතුරු වූ. නර නාරි සෙවිතං පිරිවර වූ දිව්‍ය පුත්‍රයන් විසින් ද, දිව්‍ය දුහිතෲන් විසින් ද ඇසුරු කරනු ලැබුවා වූ.
ඉද්ධි විකුබ්බන්ති අනෙක රූපා නොයෙක් රූපයක් මවා පෙන්වීමෙන්, කර්මානුභාවයෙන් සිද්ධ වූ අනේකවිධ වූ රූපයෙන් ඍද්ධිබල දක්වති. මවා පෙන්වන ඍද්ධීන් යොදමින් සිටියාය යන අදහසයි.
අනඤ්ඤමානා = පතීව්‍රතා ස්ත්‍රියනි, මැයගේ සිත සැමියාගෙන් තොරව වෙනත් අයෙකු කෙරෙහි යොමු වී නැත. (අඤ්ඤස්මිං මනො) යන අදහසින් ‘අඤ්ඤමනා’යි යන පදය සෑදේ. අන් අයකු වෙත යොමු වූ සිතක් නැත්තේය. (න+ අඤ්ඤමනා) යන අදහසින් ‘අනඤ්ඤමනා’ යන පදය සෑදේ. මගේ සැමියාගෙන් අන්‍ය වූ වෙනත් පුරුෂයකු කෙරෙහි පාපී සිතක් නො ඉපදවීමි යන අර්ථයයි. මාතාව පුත්තං අනුරක්‍ඛමානා මවක තම පුතා කෙරෙහි දයාව දක්වන අයුරින්ම මගේ සැමියා කෙරෙහි දයාව දක්වමින් සියලු සතුන් කෙරෙහි හිතවත් බවෙන් ද, සන්තාපය බැහැර කිරීමේ කැමැත්තෙන් ද දයාව දක්වමින් කුද්ධාපහං න ඵරුසං අවොචං අන් අයකු විසින් කරන ලද පීඩාවක් හේතුවෙන් කෝප වූයෙම් නමුදු මම පරුෂ වචනයක් නො කීවෙමි. පෙරලා ප්‍රිය වචනම කීවෙමි යන අදහසයි.