12. ද්විතීය පතිව්‍රතා විමාන වර්ණනා
වෙළුරියත්‍ථම්භං යනුවෙන් ඇරඹෙන දෙවන පතිබ්බතා විමාන වර්ණනාවයි. එහි උත්පත්ති කථාව කෙසේද යත්? සැවැත් නුවර එක්තරා උපාසිකාවක් පතීව්‍රතාවක වී සැදැහැවත් පැහැදුණ තැනැත්තියක වූවා පිරිසිදු ලෙස පන්සිල් ආරක්ෂා කළාය. සම්පත් ඇති තරමින් දානයන් ද දුන්නාය. ඕ තොමෝ කළුරියකොට තව්තිසාවෙහි උපන්නාය. සෙස්ස යට කියන ලද පරිදිම වේ.
වෙළුරියත්‍ථම්භං රුචිරං පභස්සරං
විමාන මාරුය්හ අනෙක චිත්තං
තත්‍ථච්ඡසී දේවි මහානුභාවෙ
උච්චාවචා ඉද්ධි විකුබ්බමානා
ඉමාච තෙ අච්ඡරායො සමන්තතො
නච්චන්ති ගායන්ති පමොදයන්ති
මහානුභාව සම්පන්න වූ දේවතාවියනි, අලංකාර වූ ආලෝකය විහිදුවන්නා වූ, අතිශයින් විසිතුරු වූ විමානයට නැගී සුළු හා මහත් වූ සෘද්ධි බලයෙන් දක්වමින් ඔබ එහි වාසය කරන්නෙහිය. ඔබගේ මේ අප්සරාවෝ ද හාත්පස සිට නටන්නාහ. ගයන්නාහ. ඔබ ප්‍රමෝදයට පත් කරවන්නාහ.
දෙවිද්ධි පත්තාසසි මහානුභාවෙ
මනුස්සභුතා කිමකාසි පුඤ්ඤං
කෙනාසි එවං ජලිතානුභාවා
වණ්ණොච තෙ සබ්බදිසා පභාසතී’ති
මහානුභාව සම්පන්න වූ දේවතාවියනි, ඔබ ඍද්ධිමත් භාවයට පැමිණියෙහිය. මිනිස් දුවක වූ ඔබ කවරනම් පුණ්‍ය කර්මයක් කෙළෙහිද? ඔබේ වර්ණය ද සියලු දිශාවන්ම ආලෝකවත් කරයි. මෙවන් දීප්තිමත් ආනුභාවයක් කවර හේතුවක් නිසා ලැබුයෙහිද? යනුවෙන් විචාළහ.
සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා
පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං
මුගලන් මහරහතුන් විසින් ප්‍රශ්න කරන ලද සතුටු සිත් ඇති ඒ දේවතා තොමෝ මේ ඵලය කවර නම් කර්මයක්හුගේ දැයි යන බව, අසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ප්‍රකාශ කළාය.
අහං මනුස්සෙසු මනුස්සභූතා
උපාසිකා චක්‍ඛුමතො අහොසිං
පාණාතිපාතා විරතා අහොසිං
ලොකෙ අදින්නං පරිවජ්ජයිස්සං
මම මිනිස් ලොව මනුෂ්‍ය ස්ත්‍රියක වූයෙම්, ඇස් ඇති (හෙවත් නියම තත්ත්වය දකින) උපාසිකාවක වූයෙමි. පරපණ නැසීමෙන් වෙන් වූයෙමි. ලොව නොදුන් දෙය නො ගතිමි.
අමජ්ජන නො ච මුසා අභාසිං
සකෙන සාමිනාව අහොසිං තුට්ඨා
අන්නඤ්ච පානංඤ්ච පසන්නචිත්තා
සක්කච්ච දානං විපුලං අදාසිං
මත්පැනින් තොර වීමි. මුසාබස් නො කීමි. තම සැමියාගෙන්ම සතුටු වූයෙමි. ප්‍රසන්න වූ සිත් ඇතිවම ආහාර ද පාන ද සකස්කොට මහත් වූ දන් දුනිමි.
තෙන මෙ තාදිසො වණ්ණො තෙන ඉධ මිජ්ඣති
උප්පජ්ජන්තිච මෙ භොගා යෙ කෙචි මනසො පියා
සිතට යමක් ප්‍රිය වේද, ඒ සම්පත් මට ලැබෙන්නේය. (පෙර කියූ පිදීම් හා වැඳීම් යන) ඒ කරුණු නිසා මට මෙබඳු වර්ණයක් ලැබිණ. ඒ කරුණු නිසා මට මෙබඳු ඉසුරුමත් බවක් ලැබිණ.
අක්‍ඛාමි තෙ භික්‍ඛු මහානුභාව
මනුස්ස භුතා යමකාසි පුඤ්ඤං
තෙනම්හි එවං ජලිතානුභාවා
වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී’ති
මහානුභාව ඇති භික්‍ෂුවරයාණනි, මිනිස් (දුවක) වූ මම යම් පිනක් කෙළෙම් ද, ඒ පිනින් මෙසේ දීප්තිමත් ආනුභාව සහිත තැනැත්තියක වෙමි. මාගේ වර්ණය ද සියලු දිශාවන් බබුලුවන්නේ වෙයි’ යනුවෙන් ඕ තොමෝ පිළිතුරු දුන්නාය.
එහි (විස්තර මෙසේ වේ.) වෙළුරියත්‍ථම්භං වෛදූර්ය මැණික්වලින් කුළුණු. රුචිරං අලංකාරවත්. පභස්සරං අතිශයින් බබලන. උච්චාවචා උසස් හා පහත් විවිධ වූ යන අදහසයි.
උපාසිකා (තිසරණ) සරණාගමනයෙන් උපාසික ලක්‍ෂණයෙහි සිටියා වූ, මෙසේ කියන ලදී.
‘මහානාමයෙනි, යම් හෙයකින් ආර්ය ශ්‍රාවක තෙමේ බුදු සරණ ගියේ වේද, දහම් සරණ ගියේ වේද, සඟ සරණ ගියේ වේද මහානාමයෙනි, මෙපමණකින්ම ආර්ය ශ්‍රාවක තෙමේ ‘උපාසක’ නම් වන්නේය.
චක්‍ඛු මතො (මසැස, දිවැස, පැණැස, බුදු ඇස, සමතැස යන) ඇස් පසකින් යුක්ත බැවින් චක්‍ඛුමා නම් වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට තමා මේ ආකාරයෙන් උපාසිකාවක බව කීමෙන් සිතේ පිරිසිදු බව දක්වා ක්‍රියාවන්හි පිරිසිදු බව දක්වනු පිණිස ‘පාණාතිපාතා විරතා’ (=ප්‍රාණඝාතයෙන් වෙන් වූ බව) යන ආදිය කියන ලදී. සකෙන සාමිනාව අහොසිං තුට්ඨා (=තම සැමියාගෙන්ම සතුටු වූයෙමි) යනුවෙන් වැරදි හැසිරීම්වලින් වෙන්වීම ගැන කියැවේ. සෙස්ස යට කී කරුණුවලට සමාන වන්නේමය.
දෙවන පතිබ්බතා විමාන වර්ණනාව නිමියේය.
13. ප්‍රථම සුණිසාවිමාන වර්ණනා
අභික්කන්තෙන වණ්ණෙන යනුවෙන් ආරම්භ වන්නේ සුණිසා විමාන වස්තු කථාවයි. එහි උත්පත්ති කථාව කවරේද? සැවැත් නුවර එක්තරා කුල ලේලියක් පෙරවරු කාලයේ තමන්ගේ ගෙදොරට පිඬු පිණිස වැඩි මහරහතන් වහන්සේ නමක් දැක ළයෙහි හටගත්තා වූ දැඩි සතුටු සොම්නසකින් ප්‍රීතියට පත්ව දැන් මට උසස් වූ උත්තම වූ පුණ්‍ය ක්‍ෂේත්‍රයක් එළඹ සිටියේ යයි සැදැහැයෙන් යුතුව උදේ තමන් ලත් කැවුමෙන් භාගයක් ගෙන භක්තියෙන් යුතුව තෙරුන්ට පූජා කළාය. තෙරුන් වහන්සේ එය පිළිගෙන අනුමෝදනා කොට වැඩියහ. ඕ තොමෝ ටික කලකින් කළුරිය කොට තව්තිසා දෙව්ලොව උපන්නීය. ඉතිරි සියල්ල පෙර කියන ලද පරිද්දෙනි. එහෙයින් කියන ලදී -
(යම්සේ ඕෂධී තාරකාව අනෙක් තරු පරදවා බැබළේද, ඒ සෙයින් ඔබද රූපශ්‍රී සෝභාවෙන් ද ඡවි වර්ණයෙන් ද දස දිසාවන් ඒකාලෝක කරමින් බබළයි. මෙවන් ඡවි වර්ණයක් මෙවන් සම්පත්තියක් මෙවන් විමානයක් හා ප්‍රියමනාප බවක් ලබන්නට) මහානුභාව සම්පන්න දේවතාවියනි, ඔබ මිනිස්ලොව මිනිසකුව ජීවත් වෙමින් කවර අන්දමේ කුසල කර්ම රැස් කළේ ද? පින්කම් කළේද?
ඒ දේවතා දුව මුගලන් මහ තෙරුන් විසින් තමන්ගෙන් විමසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් මේ අන්දමින් පිළිතුරු දුන්නාය.
මම මිනිස් ලොව මිනිසකුව ඉපිද මගේ ස්වාමියාගේ පියාණන්ට අයත් ගෙදර ඒ පියාණන්ගේ ලේලියක් වී ජීවත් වෙද්දී
රාගාදී කෙලෙස් රහිත ප්‍රසන්න වූ ඉරියවු ඇති හදෙහි ප්‍රසාදය ඇති කරන්නා වූ එක්තරා භික්‍ෂුවක් දුටිමි. මගේ උදේ ආහාර වේලෙන් භාගයක් මගේ දෑතින් උන්වහන්සේට පූජා කෙළෙමි. ඒ පූජාවේ අනුසස් මගින් අද නන්දන උයනෙහි සතුටින් සිටිමි.
මෙවැනි ඡවි වර්ණයක් මෙවැනි සම්පතක් මෙවැනි භවභෝග සිත සතුටින් දුන්නා වූ ඒ දාන විපාක වශයෙන් ලදිමි.
මහානුභාව සම්පන්න ඒ භික්‍ෂුවට මිනිස් දුවක් වශයෙන් දන් දී යම්කිසි පින්කමක් කළෙම් ද, ඒ පින්කමේ ඵලවිපාක වශයෙන් මේ බැබළීමද ඡවි වර්ණය ද සියලු දිසා ආලෝක කිරීමේ ප්‍රභාවය ද ලදිමි.
එහි සුණිසා යනු පුතාගේ බිරිඳයි. ස්ත්‍රියගේ සැමියාගේ පියා සසුර නම් වේ. ඔහුගේ ලේලිය ඈ සුණිසා වේ. ඒ සඳහා ‘සුණිසා අහොසිං සසුරස්ස ගෙහෙ’ යන්න කියන ලදී.
භාගඩ්ඪභාගං තමන් ලත් කොටසින් හරි අඩක්. මොදාමි නන්‍දනෙ වනෙ තෙරුන් විසින් නන්දන වනය දුටු බැවින් කීය. සෙසු ඉතිරි සියල්ල පෙර කියන ලද පරිදිය.
සුණිසා විමාන වර්ණනාව නිමියේය.
14. ද්විතීය සුණිසාවිමාන වර්ණනා
අභික්කන්තෙන වණ්ණෙන මේ දෙවෙනි සුණිසා විමාන වත්‍ථු කථාවයි. මෙහි පෙර නොකී විරූ දෙයක් නැත. අර්ථෝත්පත්තියේ කොමුපිඬු දන්දීමම විශේෂයි. එහෙයින් කියන ලදී.