8. තෘතීය නාවාවිමාන වර්ණනා
සුවණ්ණච්ඡදනං නාවං යනුවෙන් තෙවන නාවා විමාන වර්ණනාව ආරම්භ වේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්යවතුන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝ පර්ෂදයක් සමග කෝසල ජනපදයෙහි ‘ථූණා’ නම් වූ බමුණු ගමට පැමිණියහ. ‘ශ්රමණ භවත් ගෞතමයන් වහන්සේ අපගේ මේ පෙදෙසට පැමිණියහ’ යයි ථූණ ගම්වැසි බ්රාහ්මණ ගෘහපතියනට අසන්නට ලැබිණ. ඉක්බිති පැහැදීමක් නැත්තා වූ, මිථ්යාදෘෂ්ටික වූ, මසුරු ගති ඇත්තා වූ ථූණ වාසී බ්රාහ්මණ ගෘහපතීහු ‘ඉදින් ශ්රමණ ගෞතමයන් මේ ගමට පිවිස දෙතුන් දවසක් වසන්නාහු නම් මෙම සියලුම ජනතාව තම වචන (අනුගමන) යෙහි පිහිටුවා ගත්තාහ. ඉන්පසු බ්රාහ්මණ ධර්මය අසරණ වන්නේ යයි කියා එහි භාග්යවතුන් වහන්සේට ආවාස තැනීම සඳහා වැඩ කරන්නවුන් ගං ඉවුරුවල තබන ලද නැව් ඉවත් කළහ. එතෙර මෙතෙර යන හේදඬු ද අබලන් කළහ. එසේම පැන්හල්, නැවතුම්පල් ආදියද අබලන් කරවා, එහි එක් ළිඳක් හැර ඉතිරි ළිං තණකොළ ආදියෙන් පුරවා වසා දැමූහ. එහෙයින් ‘උදාන’යෙහි මෙසේ කියන ලදී. ‘ඉක්බිති ථූණගම්වැසි බ්රාහ්මණ ගෘහපතීහු මෙයින් නො ගනිත්වායි කියා ළිඳ තණකොලවලින් ද, දහයියා බොල්වලින් ද ළිං කට දක්වා පිරවූහ.
භාග්යවතුන් වහන්සේ ඔවුන්ගේ ඒ විකාර දැන ඔවුන් හට අනුකම්පා කරමින් භික්ෂු සංඝයා සමග අහසින් නදිය තරණයකොට අනුපිළිවෙළින් ථූණ නම් බමුණු ගමට පැමිණ මාර්ගයෙන් ඉවත්ව එක්තරා රුක්මුලෙක්හි පැනවූ ආසනයක වැඩහුන්හ. එකල්හි දිය රැගෙන යන බොහෝ ස්ත්රීහු භාග්යවතුන් වහන්සේට නුදුරින් ගමන් කරත්. ඒ ගමෙහිද ඉදින් ශ්රමණ ගෞතමයන් මෙහි පැමිණෙත්නම් ඔහුට පෙරගමන් ආදියත් නො කළ යුතුය. ගෙවලට පැමිණෙන ඔහුගේ ශ්රාවකයන් හට ආහාරද නො දිය යුතුය යනුවෙන් ඇතිකරගන්නා ලද කතිකාවතෙක් වූයේය.
එහි එක්තරා බමුණකුගේ දාසියක් කළයෙන් පැන් ගෙන යන්නී භික්ෂු සංඝයා පිරිවරා සිටි භාග්යවතුන් වහන්සේ දැක භික්ෂූන් ද මාර්ගයෙහි වෙහෙසීමෙන් විඩාවට පත්ව පිපාසිතව සිටිත් යැයි දැන සිත පහදවාගෙන පැන් පුදනු කැමති වී යම් හෙයකින් මේ ගම්වැසියන් ශ්රමණ ගෞතමයන් හට කිසිවක් නො දිය යුතුය. පිළිසඳරක් පවා නො කළ යුතුය, යනුවෙන් කතිකාකොට සිටිනා නමුදු මා පින් කෙතක් වූ ද, පැන් ලැබීමට සුදුසු වූ ද උතුමකු ලැබ ගෙන පවා පැන් පිදීම් පමණකින් හෝ මටම පිහිටක් කර නො ගන්නෙම් නම් කවර කලෙක මම මේ දුඃඛිත ජීවිතයෙන් මිදෙන්නෙම්ද? ආර්යයන් වහන්සේ මට කරුණා කෙරෙත්වා, ගම්වැසි මේ සියල්ලෝම මා නසත්වා හෝ බැඳ දමත්වා හෝ මෙවන් පින් කෙතක් වෙත පානීය දානයක් දෙන්නෙම් ම යැයි සනිටුහන් කොට දිය රැගෙන යන අන්ය වූ ස්ත්රීන් විසින් වළකනු ලබන්නී නමුදු ජීවිතයෙහි අපේක්ෂා නැතිව හිසෙන් පැන් කලය බහා දෙ අතින් අල්වාගෙන එක්පසෙක තබා හටගත් සතුටු සොම්නස් ඇත්තී භාග්යවතුන් වහන්සේ වෙත එළඹ පසඟ පිහිටුවා වැඳ පැන් සඳහා ආරාධනා කළාය. භාග්යවතුන් වහන්සේ ඇයගේ සිතේ පැහැදීම බලා ඇයට අනුග්රහ කරන්නාහු පැන් පෙරා අත් පා සෝදා පැන් පානය කළහ. කළයෙහි ජලය අඩු නොවේ. ඕ තොමෝ එය දැක නැවත ප්රසන්න වූ සිත් ඇත්තී එක් භික්ෂුවකට දුන්නාය. එසේ තවත් නමකටය, තවත් නමකටය යන වශයෙන් සියලු භික්ෂූන් හටම දුන්නාය. එහෙත් ජලය අඩු නොවන්නේමය. ඕ තොමෝ තුටු පහටු වූවා දිය පිරුණු කළයෙන් යුතුවම නිවස බලා පිටත්ව ගියාය. ඇයගේ ස්වාමි පුත්ර බ්රාහ්මණයා, පැන් පිදු බව අසා මැය විසින් ගමේ පිළිවෙත බිඳින ලදී යයි ද, මම ද ගැරහීමට ලක් කරන ලද්දෙමි යයි ද කියා ක්රෝධයෙන් දැවෙමින් වෙව්ලමින් ඇය බිම පෙරලා අතින් ද පයින් ද පහර දුන්නේය. ඕ තොමෝ එයින්ම මරණයට පැමිණ තව්තිසා භවනයෙහි උපන්නාය. ඇගේ පින් බලයෙන් කප්රුක සේ බබලන මහත් වූ විමානයක් පහළ විය. ඒ විමානය වටකොට මුතු දැලක් වැනි රිදීවන් වැලි විසුරුණ සුදු වාලුකා තල සහිත මැණික් කඳක් මෙන් නිර්මල වූ ජලය බැස යන ගංගාවද, එහි දෙපස ඉවුරුවල හා උයන් විමනේ දොරෙහි ද පස්වනක් වූ නෙළුම් මල් රැසකින් අලංකාර වූ පොකුණක් සහ රුවන්මය නැවක් ද පහළ විය. ඕ තොමෝ එහි දිවසැපත් විඳිමින් වෙසෙන්නීය.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් ඇමතූහ. ‘ආනන්දය, මෙහි එන්න, මට ළිඳෙන් පැන් ගෙන එන්න’ යයි වදාළහ. තෙරණුවෝ ‘ස්වාමීනි, දැනට ළිඳ ථූණ ගම්වැසියන් විසින් අපිරිසිදු කරනු ලැබ ඇත්තේ යයි ද, පැන් ගෙන ඒමට හැකිවන්නේ නැතැයි ද කීහ. භාග්යවතුන් වහන්සේ දෙවනුව ද, තෙවනුවද අණ කළහ. තුන්වන වර ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේගේ පාත්රය රැගෙන ළිඳ දෙසට ගියහ. තෙරුන් එහි යනකල්හි ළිඳෙහි ජලය පිරි උතුරා ගොස් හාත්පසින් ගලාබසියි. සියලුම තණ හා දහයියා මතු වී තමන්ම ඉවත්ව ගියේය. මතු මතු ද වැඩිවෙමින් ගලාගෙන යන්නා වූ ඒ ජලයෙන් අන් ජලාශයන් පිරී ඒ ගම වටකොට ගම් පෙදෙස මඩිමින් පැතිරෙන්නේය. ඒ ප්රාතිහාර්යය දැක බ්රාහ්මණයෝ ආශ්චර්ය අද්භූත සිත් ඇත්තාහු භාග්යවතුන් වහන්සේ කමා කරවා ගත්හ. එකෙණෙහිම ජලගැල්ම අතුරුදන් විණි. ථූණ ගමෙහි වැසි සියලු ගෘහපතීහු භාග්යවතුන් වහන්සේට ද, භික්ෂු සංඝයාට ද වාසස්ථාන සකස්කොට පසුදින (දානය) සඳහා ආරාධනා කොට දෙවන දිනයෙහි මහා දානයක් පිළියෙළ කොට බුද්ධ ප්රමුඛ භික්ෂු සංඝයා ප්රණිත වූ ඛාද්ය භෝද්යයෙන් වළඳවා අහර ගෙන නිමකර පාත්රය ඉවත තැබූ භාග්යවතුන් වහන්සේ සමග සාමීචි කථා කරමින් හුන්හ.