7. ද්විතීය නාවාවිමාන වර්ණනා
සුවණ්ණච්ඡචනං නාවං යනුවෙන් ඇරඹෙන දෙවන නාවා විමාන වර්ණනාවයි. එහි උත්පත්ති කථාව කෙසේද යත් - භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වාසය කරන කල්හි එක්තරා ක්‍ෂීණාශ්‍රව තෙරුන් වහන්සේ නමක් වස් එළඹීම ආසන්න වූ කල්හි ග්‍රාමීය ආවාසයක වස් වසනු කැමතිව සැවැත් නුවරින් එම ගමට යනු පිණිස පස්වරුවෙහි දිගු මඟට පිළිපන්නාහු මාර්ග විඩාවෙන් වෙහෙසට පත් වී පිපාසයෙන් පීඩිත වී අතරමග එක්තරා ගමකට පැමිණියහ. ගමෙන් බැහැරව එවැනි සෙවනක්, ජලයක් සහිත ස්ථානයක් නො දක්නාහු විඩාවෙන් පීඩිත වූවාහු සිවුර පොරවා ගමට පිවිස පළමු නිවසෙහිම දොරටුවෙහි සිටියහ. එහි එක්තරා ස්ත්‍රියක් තෙරණුවන් දැක ‘ස්වාමීනි, කොහි සිට පැමිණියාහුදැ’යි විමසා මාර්ග විඩාව ද, පිපාසිත බව ද දැන, ‘එනු මැනව ස්වමීනි’යි ගෙට කැඳවා මෙහි හිඳින්නැයි අසුනක් පනවා දුන්නාය. එහි හුන් කල්හි පා දෝනා පැන් ද, පයෙහි ගල්වන තෙල් දී විජිනිපත ගෙන පවන් සැලුවාය. විඩාව සමනය වූ කල්හි මිහිරි සිසිල් සුවඳ පානයක් පිළියෙල කොට දුන්නාය. තෙරණුවෝ එය පානය කොට සන්සිඳුන ක්ලාන්තය ඇත්තාහු අනුමෝදනා දේශනාව කොට පිටවී ගියහ. තොමෝ පසු කාලයෙහි කලුරිය කොට තව්තිසාවෙහි උපන්නාය යන සියල්ල ආසන්න විමාන කථාව හා සමාන යයි දතයුතුය. ගාථාවන්හි ද පෙර නොවූ දේ නැත්තේය. එහෙයින් මෙසේ කියන ලදී -
සුවණ්ණච්ඡදනං නාවං නාරි ආරුය්හ තිට්ඨසි
ඔගාහසී පොක්‍ඛරණිං පදුමං ඡින්‍දස පාණිනා
කෙන තෙ තාදිසෙන වණ්ණො කෙන තෙ ඉධ මිජ්ඣති
උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා
(මේ ගාථාවෙන් ඇරඹුන සම්පූර්ණ ගාථා පෙළම මෙයට පෙර දැක්වෙන කථා වස්තුවෙහි ද ඒ අයුරින්ම දක්වා ඇත. එම ගාථා පෙළද ඒවායේ අරුත් පිළිවෙළ ද ඒ අයුරින්ම මෙහිදී ද යෙදිය යුතු වේ.)
අර්ථ වර්ණනාවන්හි දී ද මෙහි එකම තෙරුන් වහන්සේ නමකි. පෙර නො කියවූවක් නැත. (සියල්ල පෙර කථා වස්තුවෙහි දැක්වූ සේමයි.)
දෙවන නාවා විමාන වර්ණනාව නිමියේය.
8. තෘතීය නාවාවිමාන වර්ණනා
සුවණ්ණච්ඡදනං නාවං යනුවෙන් තෙවන නාවා විමාන වර්ණනාව ආරම්භ වේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ මහත් වූ භික්‍ෂු සංඝ පර්ෂදයක් සමග කෝසල ජනපදයෙහි ‘ථූණා’ නම් වූ බමුණු ගමට පැමිණියහ. ‘ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ අපගේ මේ පෙදෙසට පැමිණියහ’ යයි ථූණ ගම්වැසි බ්‍රාහ්මණ ගෘහපතියනට අසන්නට ලැබිණ. ඉක්බිති පැහැදීමක් නැත්තා වූ, මිථ්‍යාදෘෂ්ටික වූ, මසුරු ගති ඇත්තා වූ ථූණ වාසී බ්‍රාහ්මණ ගෘහපතීහු ‘ඉදින් ශ්‍රමණ ගෞතමයන් මේ ගමට පිවිස දෙතුන් දවසක් වසන්නාහු නම් මෙම සියලුම ජනතාව තම වචන (අනුගමන) යෙහි පිහිටුවා ගත්තාහ. ඉන්පසු බ්‍රාහ්මණ ධර්මය අසරණ වන්නේ යයි කියා එහි භාග්‍යවතුන් වහන්සේට ආවාස තැනීම සඳහා වැඩ කරන්නවුන් ගං ඉවුරුවල තබන ලද නැව් ඉවත් කළහ. එතෙර මෙතෙර යන හේදඬු ද අබලන් කළහ. එසේම පැන්හල්, නැවතුම්පල් ආදියද අබලන් කරවා, එහි එක් ළිඳක් හැර ඉතිරි ළිං තණකොළ ආදියෙන් පුරවා වසා දැමූහ. එහෙයින් ‘උදාන’යෙහි මෙසේ කියන ලදී. ‘ඉක්බිති ථූණගම්වැසි බ්‍රාහ්මණ ගෘහපතීහු මෙයින් නො ගනිත්වායි කියා ළිඳ තණකොලවලින් ද, දහයියා බොල්වලින් ද ළිං කට දක්වා පිරවූහ.