6. ප්‍රථම නාවාවිමාන වර්ණනා
සුවණ්ණච්ඡදනං නාවං නාවා විමාන වස්තුවයි. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වාසය කරන කල්හි සොළසක් පමණ භික්ෂූහු එක්තරා ගැමි අසපුවක වැස වස් විසීම නිමකොට ‘භාග්‍යවතුන් වහන්සේ දකින්නෙමු, සද්ධර්මය ද අසන්නෙමු’ යයි ග්‍රීෂ්ම සමයෙහි දිගු මඟට පිළිපන්හ. අතරමග ජලය රහිත කාන්තාරයක් ද ඇත්තේය. එහිදී, ග්‍රීෂ්මයෙන් තැවුණා වූ, වෙහෙසට පත් වූ, පිපාසයෙන් පීඩිත වූ, පැන් නො ලද්දා වූ ඒ භික්‍ෂූහු එක්තරා ගමකට නුදුරින් ගමන් කරන්නාහ. එහි එක් ස්ත්‍රියක් බඳුනක් රැගෙන පැන් පිණිස ළිඳක් දෙසට යන්නීය. ඉක්බිති පිපාසයෙන් පීඩිත වූ ඒ භික්‍ෂූහු ඇය දැක මේ ස්ත්‍රිය යම් තැනකට යන්නී ද, එහි ගිය කල්හි පැන් ලැබීමට හැකි වන්නේ යයි සිතා ඒ දිශාව කරා ගොස් ළිඳ දැක එයට නුදුරෙහි සිට ගත්හ. එම ස්ත්‍රිය ඒ ළිඳෙන් ජලය ගෙන ආපසු හැරෙනු කැමැත්තී ඒ භික්‍ෂූන් දැක මේ ආර්යයන් වහන්සේලාට ජලය අවශ්‍ය වී ඇතැයි ද පිපාසිත වූවාහු විය හැකැයි ද දැන ගරුබුහුමන් දක්වා ජලය ගැනීම සඳහා ආරාධනා කළාය. ඒ භික්‍ෂූහු ද පාත්‍ර පසුම්බියෙන් පෙරහන්කඩ පිටතට ගෙන පැන් පෙරා ඇති පමණ පැන් බී අත් පා (සෝදා) සිසිල්කොට ඒ ස්ත්‍රියට පැන් පිදීමෙන් පින් අනුමෝදනාව ප්‍රකාශකොට ගියාහුය.
ඕ තොමෝ ඒ පින සිතෙහි තබාගෙන වරින්වර සිහි කරන්නී පසුකල්හි කාලක්‍රියා කොට තව්තිසා භවනයෙහි උපන්නාය. ඇයගේ පින් බලයෙන් කප්රුක සේ බබලන මහත් වූ විමානයක් පහළ විය. ඒ විමානය වටකොට මුතුදැලින් හා රිදීයෙන් බබලන්නාක් වැනි, විසුරුණ වැලිතලා සහිත මැණික් කඳක් වැනි පිරිසිදු ජලය ගලාගෙන යන ගංගාවක් විය. ඒ ගඟේ ඉවුරු දෙකෙහිද, උයන් විමන් දොරටුවෙහි ද වර්ණ පසකින් යුත් නෙළුම් මල් රැසකින් අලංකාරවත් වූ පොකුණු සමග රන්වන් නැවක් ද පහළ විය. ඕ තොමෝ එහි දිව්‍යමය සම්පත් විඳිමින් නැවෙන් ක්‍රීඩා කරමින් නැළවෙමින් හැසිරෙන්නීය. ඉක්බිති එක් දිනයක ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන තෙරණුවෝ දෙව්ලොව චාරිකාවෙහි යෙදෙන සේක් නැවෙහි ක්‍රීඩා කරන ඒ දෙව්දුව දැක ඇය විසින් කරන ලද පින්කම විමසන්නාහු :
සුවණ්ණච්ඡදනං නාවං නාරිපාරුය්හ තිට්ඨසි
ඔගාහසී පොක්‍ඛරණිං පදුමං ඡින්‍දසි පාණිතා
කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධ මිජ්ඣති
උප්පජ්ජන්තිච තෙ භොගා යෙ කෙචි මනසො පියා
දිව්‍ය ස්ත්‍රිය, ඔබ රන් පියැස්සෙන් ආවරණය වූ නැවට නැඟී සිටින්නෙහිය. පොකුණට බැස අතින් නෙළුම් මල් නෙලන්නෙහිය. සිතට යම් වස්තුවක් ප්‍රිය වේද, ඔබට ඒ වස්තුව ලැබෙන්නේය. ඔබට මෙබඳු වර්ණයක් කුමක් නිසා ලැබුණේ ද? ඔබට එබඳු ඉසුරුමත් බවක් කුමක් නිසා ලැබුණේද?
පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ
මනුස්ස භූතා කිමකාසි පුඤ්ඤං
කෙනාසි එවං ජලිතානුභාවා
වණ්ණොච තෙ සබ්බ දිසා පභාසතී’ති ආහ
මහානුභාව ඇති දේවතාවියනි, ඔබ මනුෂ්‍යව සිටිමින් කවරනම් පිනක් කෙළෙහි දැයි අසමි. ඔබේ පැහැය ද සියලු දිශාවන් ආලෝකවත් කරයි. මෙසේ දීප්තිමත් ආනුභාවයක් කුමක් නිසා ලැබිණිදැයි අසමි’යි කීය.
ඉක්බිති තෙරුන් විසින් ප්‍රශ්න කරනු ලැබූ දේවතාවිය විසින් ප්‍රශ්නවලට පිළිතුරු දුන් ආකාරය දැක්වීම පිණිස සංගායනා කාරකවරුන් විසින් :
සත දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා
පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵල’න්ති
යන මේ ගාථාව කියන ලදී.
මුගලන් මහරහතන් වහන්සේ විසින් ප්‍රශ්න කරන ලද්දා වූ, සතුටට පත් වූ, එම දේවතා තොමෝ (තමාගෙන්) අසන ලද ප්‍රශ්නයට අනුව මෙය (හෙවත් තමා ලැබූ සම්පත) කවරනම් කර්මයක ඵලයක්දැයි (මෙසේ) ප්‍රකාශ කළාය.
අහං මනුස්සෙසු මනුස්ස භූතා
පුරිමාය ජාතියා මනුස්ස ලොකෙ
දිස්වාන භික්‍ඛූ තසිතෙ කිලන්තෙ
උට්ඨාය පාතුං උදකං අදාසිං
මම පෙර භවයෙහි මිනිස් ලොව මිනිසුන් අතර මිනිස් දුවක වූයෙම්, පිපාසිත වූ ක්ලාන්ත වූ භික්‍ෂූන් දැක උනන්දු වී පානයට ජලය දුන්නෙමි.
යෙන වෙ කිලන්තා න පිපාසිතානං
උට්ඨාය පාතුං උදකං දදාති
සීතොදිකා තස්ස භවන්ති නජ්ජො
පහූත මල්හා බහු පුණ්ඩරීකා
යමකු වනාහී ක්ලාන්ත වූ පිපාසිතයනට බීමට උනන්දු වී ජලය ලබා දෙන්නේ ද, ඔහුට බොහෝ මල් ඇති බොහෝ සුදු නෙළුම් ඇති, සිසිල් දිය ඇති ගංගාවෝ පහළ වෙත්.
තමාපගා අනුපරියත්ති සබ්බදා
සීතොදිකා වාලුක සන්‍ථකා නදී
අම්බාච සාලා තිලකා ච ජම්බුයෙන
උද්දාලකා පාටලියොච මුල්ලා
හැමවිට ගලා බසිනා සිසිල් දියෙන් යුත්, සිසිල් දිය පිරුණ, පැතිරුණ වැලිතලා ඇති ගංගා ඒ විමන වට පවතී. පිපුණ මලින් යුත් අඹ, තල්, තිලක (නම් ගස් වර්ගය) දඹ, ඇසළ, පළොල් යන ගස් වර්ගද එහි වේ.
තං භූමි භාගෙහි උපෙත රූපං
විමාන සෙට්ඨං භුස සොභමානං
තස්සීධ කම්මස්ස අයං විපාකො
එතාදිසං කතපුඤ්ඤා ලභන්ති
මෙහි (පෙර කී සේ ශෝභන වූ) භූමි භාගයන්ගෙන් යුතු වූ බෙහෙවින් අලංකාරවත් වූ උතුම් විමානයක් වේ. මෙය පෙර සිදුකළ ඒ කර්මයාගේ විපාකයයි. පින් කළාහු මෙවැනි ඵල ලබන්නාහුය.
තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධ මිජ්ඣති
උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා
(පෙර කියූ ඒ පිදීම් හා වැඳීම් යන) ඒ කරුණු නිසා මට මෙබඳු වර්ණයක් ලැබිණ. ඒ නිසා මට මෙබඳු ඉසුරුමත් බවක් ලැබිණ. (මගේ සිතට යමක් ප්‍රිය වේද, ඒ සම්පත් මට ලැබෙන්නේය.)
අක්‍ඛාමි තෙ භික්‍ඛු මහානුභාව
මනුස්ස භුතා යමකාසි පුඤ්ඤං
තෙනම්හි එවං ජලිතානුභාවා
වණ්ණොච මෙ සබ්බදිසා පභාසතී’ති
මහානුභාව ඇති භික්‍ෂුවරයාණනි, මිනිස් (දුවක) වූ මම යම් පිනක් කෙළෙම්ද, ඒ පිනින් මෙසේ දීප්තිමත් ආනුභාව සහිත තැනැත්තියක් වෙමි. මාගේ වර්ණයද සියලු දිශාවන් බබුලුවන්නෝ වෙයි යනුවෙන් ඔබවහන්සේට (පිළිතුරු වශයෙන්) කියමි’
යන මෙය දෙව්දුව විසින් පිළිතුරු දෙනු ලැබූ ආකාරයයි.
සුවණ්ණච්ඡදනං විසිතුරු බිත්ති සැරසිලි ලෙස යෙදු රත්පැහැ රත්රනින් දෙපසෙහි ඇතුල් පැති වසා ඇති බැවින් ද, විවිධ රත්නයන්ගෙන් බබලන ස්වර්ණමය අලංකාරයෙන් උඩ =(පියස්සෙහි) එක කොටසක් වසා ඇති බැවින් ද සුවණ්ණච්ඡදනං (රන් මුවා වහලය) යනුවෙන් කියනු ලැබේ. නාවං යනු කුඩා ඔරුවයි. එය ද කුඩා ඔරුවෙන් පරතෙරට පාවෙයි. ගමන් කරයි යන අරුත් නිසා ‘පොත’ වේ. සත්ත්වයන් රැගෙන යයි (=නනය කරයි) යනුවෙන් ‘නාව’ යයි ද කියනු ලැබේ. නාරී ඒ දෙව්දුව සඳහා යෙදූ ආලපන විභක්ති පදයයි. රැගෙන යයි හෙවත් පමුණුවයි යනුවෙන් ‘නරො’ නම් වේ. පුරුෂ යන අදහසයි. පළමුව පහළ වූ සත්ත්වයා අන් අයට වඩා ප්‍රකෘතියෙන් ශ්‍රේෂ්ඨය යන අර්ථයෙන් (පුරීසෙතීති) පුරිසො යයි කියනු ලැබේ. මෙසේම පමුණුවයි, නයනය කරයි යන අරුතින් ‘නර’ යයි යෙදේ. පුත්‍රයෙක් හෝ සහෝදරයෙක් වේවා මව, දෙටු සොයුරිය යන ආදීන්ගේ සිතට ස්ථානයෙහි සිටී. ආරම්භයේ සිටම පෝෂණය කරන්නා ඔහු වෙයි. මෝ තොමෝ ‘නර’යාගේය යන අරුතින් ‘නාරී’ නම් වේ. මේ ව්‍යවහාරය ද මනුෂ්‍ය ස්ත්‍රීන් කෙරෙහි පැවැත්තේය. අන් ස්ත්‍රීන් කෙරෙහි ද ඒ ව්‍යවහාරය ආරූඪ විය. ඔගාහසී පොක්‍ඛරණී = රතුපුල්, නිලුපුල් ආදී විවිධ වූ මැණික්වලින් තැනූ වැනි ජලය පුෂ්ප වර්ග ඇත. එසේ ඇති කල්හි එහි පොක්‍ඛර (=පුෂ්කර-පොකුරු) යයි නම් ලත් දිව්‍යමය පද්මයන් බොහෝ සේ ඇති බැවින් පොක්‍ඛරණී (-පුෂ්කරණී-පොකුණු) යයි ලබන ලද නම් ඇති දිව්‍යමය විලට ජලයෙහි විසීමේ රුචිය නිසා පිවිසෙන්නෙහිය. පදුමං ඡින්‍දසි පාණිනා මරකත මැණික්මය නාළයක් ද, පද්මරාග මැණික්මය පත්‍ර සමූහයක් ද, ස්වර්ණමය කර්ණිකා රේණු කේශර සහිත දිව්‍යමය වූ නෙළුම් මලක් හෙවත් අලංකාර වූ පියුමක් ලබනු කැමැත්තෙන් ඔබේ අතින් නෙළුමක් කඩා ගන්නෙහිය.