5. කුඤ්ජරවිමාන වර්ණනා
කුඤ්ජරො තෙ වරාරොහො යනුවෙන් කුඤ්ජවිමාන වර්ණනාව ඇරඹේ. එහි උත්පත්ති කථාව කෙසේද යත් - භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ලෙහෙණ අභය භූමියෙහි පිහිටි වෙළුවනයෙහි වාසය කරන සේක. ඉක්බිති එක් දිනයෙක රජගහනුවර නැකැත් කෙළිය සඳහා දැනුම්දීමක් කරන ලදී. නුවරවැසියෝ වීථි සෝදා වැලි අතුරා (ඊතණ, සමන් කැකුළු, සුන්සහල්, අබ, විලඳ යන) ලද පස්මල් විසිරවූහ. ගෙදොරක් පාසා කෙසෙල් ගස් ද පුන් කලස් ද තැබූහ. හැකි පමණින් විවිධ වර්ණයන්ගෙන් විසිතුරු වූ ධජ පතාක ආදිය එසවූවා. සකල ජනතාවම තම තමාගේ හැකියාවනට අනුව අබරණින් සැරසී නැකැත් කෙළියෙහි යෙදෙති. මුලු නුවරම දෙව් පුරයක් මෙන් අලංකාරවත්ව සැරසුණේ විය. ඉක්බිති බිම්බිසාර මහරජතුමා පෙර සිරිත් වශයෙන් මහජනතාවගේ සිතැඟි රැකීම සඳහා තමාගේ රජමැදුරෙන් නික්ම මහ පිරිවර සමගින්, මහත් රාජානුභාවයෙන්, උදාර වූ ශ්‍රී සෞභාග්‍යයෙන් යුක්තව නගරය ප්රදක්ෂිණා කරන්නේය.
එසමයෙහි රජතුමාගේ එම වස්තු සම්පත්තිය ද ශ්‍රී සෞභාග්‍යය ද රාජානුභාවය ද දැක ආශ්චර්යද්භූත සිතුවිලි උපදවා ගත් රජගහනුවර වැසි එක්තරා කුලදුවක් දිව්‍ය සම්පත්තියක් වැනි මෙ වස්තු සම්පත්තිය කෙබඳුනම් කර්මයකින් ලැබේදැයි පඬිවරුන් යයි සම්මත වූ පුද්ගලයන්ගෙන් විචාළාය. ඔව්හු ‘පින්වතිය, පින්කම් වනාහී චින්තා මාණික්‍යයක් හා සමානය. කල්ප වෘක්ෂයක් හා සමානය. ක්ෂේත්‍ර සම්පත්තිය (=ධන සම්පත්තිය) ද, චිත්ත සම්පත්තියද (=ශ්‍රද්ධාව ද) ඇති කල්හි යමක් ප්‍රාර්ථනා කොට යමක් කරත් ද, ඒ ඒ දෙය ඉටුවන්නේමය. තවද ආසන පූජාවෙන් උසස් කුලවත් බව ද, ආහාර දානයෙන් ශක්ති සම්පන්න බව ද, වස්ත්‍ර දානයෙන් වර්ණ සම්පත්තිය ද, වාහන දානයෙන් සුවපහසුකම් ද, පහන් දීමෙන් ඇස් පෙනීමේ ශක්තිය ද ආවාස දානයෙන් සියලුම සම්පත්තීන් ද ලැබේ යයි කීහ. ඕ තොමෝ එය අසා දිව්‍ය සම්පත්තිය මෙයට වඩා ශ්‍රේෂ්ඨ යයි සිතන්නී එහි සිත පිහිටුවා පින් කිරීමෙහි අතිශයින් උත්සාහවත් වූවාය.
ඇගේ මවුපියෝ ද ඇගේ ප්‍රයෝජනය පිණිස නව වස්ත්‍ර යුගලයක්, අලුත් ආසනයක් හා නෙළුම් මල් මිටියක් සහිතව ගිතෙල්, මී, උක්සකුරු, සහල්, කිරි ආදියද යැවූහ. ඕ තොමෝ ඒවා දැක ‘මම දානයක් දෙනු කැමැත්තේ ද වෙමි. දිය යුතු දේවල් මට ලැබුණේ ද වෙයි’ යනුවෙන් සතුටු වී දෙවන දිනයෙහි දානයක් සකස් කරන්නේ ජලය අඩුවෙන් යෙදූ මීපැණි සහිත කිරිබතක් පිළියෙළ කොට එයට පිරිවර වශයෙන් අන්‍ය වූ ද බොහෝ වූ කෑ යුතු හා බිව යුතු දේ සපයාගෙන දානය අවසානයෙහි සුවඳ ගල්වා පිපුණ පියුම්වලින් යුත් අසුනක් පනවා එය අලුත් සුදුවතින් අතුරා ආසනයේ පාද සතර මතුයෙහි පියුම් පොකුරු සතරක් තබා ආසනය මතුයෙහි වියනක් බැඳ මල්දම් එවා අසුන අවට බිම සියලු තැන රේණු සහිත පියුම් අතුරා දක්ඛිණෙය්යයන් වහන්සේ (=තෙරුන් වහන්සේ) පැමිණි කල්හි පූජා කරන්නෙමියි මලින් පිරුණු පැස එකත්පසෙක තැබුවාය.
ඉක්බිති මෙසේ දානෝපකරණ සංවිධානය කරගත්, හිස් සෝදා ගත්, සුදුවත් හැඳගත්, සුදු උතුරුසලුවක් හැඳි ඒ උපාසිකා ස්ත්‍රී තොමෝ වේලාව සලකා බලා ‘දාසියනි, යව අපගේ අර වැනි පූජා ද්‍රව්‍යයන් රැස්කර ගනුවයි එක් දාසියකට අණ කළාය. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ දහසින් බැඳි රන්පියල්ලක් බහා තබන්නාක් මෙන් රජගහ නුවර පිඬු පිණිස හැසිරෙන්නාහු ඇතුළත වීථියකට ප්‍රවිෂ්ට වූහ. ඉක්බිති එම දාසිය ගොස් තෙරුන් වහන්සේට වැඳ ‘ස්වාමීනි, ඔබවහන්සේගේ පාත්‍රය මට දෙනු මැනව’යි කීවාය. එක්තරා උපාසිකාවකට අනුග්‍රහ පිණිස මේ දෙසට වඩිනු මැනව’යි ද කීවාය. තෙරණුවෝ ඇයට පාත්‍රය දුන්හ. ඕ තොමෝ තෙරණුවන් ගෙට වැඩමවූවාය. ඉක්බිති එහි උපාසිකා ස්ත්‍රී තොමෝ ගෙට වැඩම වූවාය. ඉක්බිති එහි උපාසිකා ස්ත්‍රී තොමෝ තෙරණුවන් හට පසු ගමන්කොට අසුන පෙන්වා ස්වාමීනි, හිඳගනු මැනව, මේ ආසනය පනවා ඇතැයි කියා තෙරණුවන් එහි හිඳගත් කල්හි රේණු සහිත පියුම්පත්වලින් තෙරුන් පුදමින් ආසනය හාත්පස මල් විසුරුවා පසඟ පිහිටුවීමෙන් වැඳ ගිතෙල් මීපැණි උක්සකුරු මිශ්‍ර වූ, ජලය අඩු, මීපැණි මිශ්‍ර කිරිබතින් පැවරුවාය. පවරන්නීද ‘මාගේ මේ පින් බලයෙන් දිව්‍යමය හස්තීන් විසින් උසුලනු ලබන කුටාගාර සහිත පර්යංකයකින් ශෝභමාන බවට පත්වන දිවසැපත් ලැබේවා, සියලු ඉරියවුවලදීම නෙළුම් මල් (මගෙන්) ඉවත් නොවේවායි ද ප්‍රාර්ථනා කළාය. නැවත තෙරුන් අහර කිස නිමවූ කල්හි පාත්‍රය සෝදා ගිතෙල් මීපැණි උක්සකුරු ආදියෙන් පුරවා අසුනෙහි අතුරා තැබූ සළුව දරණුවක් කොට තෙරුන්ගේ අතෙහි තබා, තෙරණුවන් අනුමෝදනා කොට වඩින කල්හි ‘තෙරුන්ගේ අතෙහි වූ පාත්‍රයත්, මේ ආසනයත් විහාරයට ගෙන ගොස් තෙරණුවන් හට භාරදී පැමිණෙනු’ යයි මිනිසුන් දෙදෙනකු හට අණ කළාය. ඔව්හු එසේ කළහ.