එසමයෙහි රජතුමාගේ එම වස්තු සම්පත්තිය ද ශ්‍රී සෞභාග්‍යය ද රාජානුභාවය ද දැක ආශ්චර්යද්භූත සිතුවිලි උපදවා ගත් රජගහනුවර වැසි එක්තරා කුලදුවක් දිව්‍ය සම්පත්තියක් වැනි මෙ වස්තු සම්පත්තිය කෙබඳුනම් කර්මයකින් ලැබේදැයි පඬිවරුන් යයි සම්මත වූ පුද්ගලයන්ගෙන් විචාළාය. ඔව්හු ‘පින්වතිය, පින්කම් වනාහී චින්තා මාණික්‍යයක් හා සමානය. කල්ප වෘක්ෂයක් හා සමානය. ක්ෂේත්‍ර සම්පත්තිය (=ධන සම්පත්තිය) ද, චිත්ත සම්පත්තියද (=ශ්‍රද්ධාව ද) ඇති කල්හි යමක් ප්‍රාර්ථනා කොට යමක් කරත් ද, ඒ ඒ දෙය ඉටුවන්නේමය. තවද ආසන පූජාවෙන් උසස් කුලවත් බව ද, ආහාර දානයෙන් ශක්ති සම්පන්න බව ද, වස්ත්‍ර දානයෙන් වර්ණ සම්පත්තිය ද, වාහන දානයෙන් සුවපහසුකම් ද, පහන් දීමෙන් ඇස් පෙනීමේ ශක්තිය ද ආවාස දානයෙන් සියලුම සම්පත්තීන් ද ලැබේ යයි කීහ. ඕ තොමෝ එය අසා දිව්‍ය සම්පත්තිය මෙයට වඩා ශ්‍රේෂ්ඨ යයි සිතන්නී එහි සිත පිහිටුවා පින් කිරීමෙහි අතිශයින් උත්සාහවත් වූවාය.
ඇගේ මවුපියෝ ද ඇගේ ප්‍රයෝජනය පිණිස නව වස්ත්‍ර යුගලයක්, අලුත් ආසනයක් හා නෙළුම් මල් මිටියක් සහිතව ගිතෙල්, මී, උක්සකුරු, සහල්, කිරි ආදියද යැවූහ. ඕ තොමෝ ඒවා දැක ‘මම දානයක් දෙනු කැමැත්තේ ද වෙමි. දිය යුතු දේවල් මට ලැබුණේ ද වෙයි’ යනුවෙන් සතුටු වී දෙවන දිනයෙහි දානයක් සකස් කරන්නේ ජලය අඩුවෙන් යෙදූ මීපැණි සහිත කිරිබතක් පිළියෙළ කොට එයට පිරිවර වශයෙන් අන්‍ය වූ ද බොහෝ වූ කෑ යුතු හා බිව යුතු දේ සපයාගෙන දානය අවසානයෙහි සුවඳ ගල්වා පිපුණ පියුම්වලින් යුත් අසුනක් පනවා එය අලුත් සුදුවතින් අතුරා ආසනයේ පාද සතර මතුයෙහි පියුම් පොකුරු සතරක් තබා ආසනය මතුයෙහි වියනක් බැඳ මල්දම් එවා අසුන අවට බිම සියලු තැන රේණු සහිත පියුම් අතුරා දක්ඛිණෙය්යයන් වහන්සේ (=තෙරුන් වහන්සේ) පැමිණි කල්හි පූජා කරන්නෙමියි මලින් පිරුණු පැස එකත්පසෙක තැබුවාය.
ඉක්බිති මෙසේ දානෝපකරණ සංවිධානය කරගත්, හිස් සෝදා ගත්, සුදුවත් හැඳගත්, සුදු උතුරුසලුවක් හැඳි ඒ උපාසිකා ස්ත්‍රී තොමෝ වේලාව සලකා බලා ‘දාසියනි, යව අපගේ අර වැනි පූජා ද්‍රව්‍යයන් රැස්කර ගනුවයි එක් දාසියකට අණ කළාය. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ දහසින් බැඳි රන්පියල්ලක් බහා තබන්නාක් මෙන් රජගහ නුවර පිඬු පිණිස හැසිරෙන්නාහු ඇතුළත වීථියකට ප්‍රවිෂ්ට වූහ. ඉක්බිති එම දාසිය ගොස් තෙරුන් වහන්සේට වැඳ ‘ස්වාමීනි, ඔබවහන්සේගේ පාත්‍රය මට දෙනු මැනව’යි කීවාය. එක්තරා උපාසිකාවකට අනුග්‍රහ පිණිස මේ දෙසට වඩිනු මැනව’යි ද කීවාය. තෙරණුවෝ ඇයට පාත්‍රය දුන්හ. ඕ තොමෝ තෙරණුවන් ගෙට වැඩමවූවාය. ඉක්බිති එහි උපාසිකා ස්ත්‍රී තොමෝ ගෙට වැඩම වූවාය. ඉක්බිති එහි උපාසිකා ස්ත්‍රී තොමෝ තෙරණුවන් හට පසු ගමන්කොට අසුන පෙන්වා ස්වාමීනි, හිඳගනු මැනව, මේ ආසනය පනවා ඇතැයි කියා තෙරණුවන් එහි හිඳගත් කල්හි රේණු සහිත පියුම්පත්වලින් තෙරුන් පුදමින් ආසනය හාත්පස මල් විසුරුවා පසඟ පිහිටුවීමෙන් වැඳ ගිතෙල් මීපැණි උක්සකුරු මිශ්‍ර වූ, ජලය අඩු, මීපැණි මිශ්‍ර කිරිබතින් පැවරුවාය. පවරන්නීද ‘මාගේ මේ පින් බලයෙන් දිව්‍යමය හස්තීන් විසින් උසුලනු ලබන කුටාගාර සහිත පර්යංකයකින් ශෝභමාන බවට පත්වන දිවසැපත් ලැබේවා, සියලු ඉරියවුවලදීම නෙළුම් මල් (මගෙන්) ඉවත් නොවේවායි ද ප්‍රාර්ථනා කළාය. නැවත තෙරුන් අහර කිස නිමවූ කල්හි පාත්‍රය සෝදා ගිතෙල් මීපැණි උක්සකුරු ආදියෙන් පුරවා අසුනෙහි අතුරා තැබූ සළුව දරණුවක් කොට තෙරුන්ගේ අතෙහි තබා, තෙරණුවන් අනුමෝදනා කොට වඩින කල්හි ‘තෙරුන්ගේ අතෙහි වූ පාත්‍රයත්, මේ ආසනයත් විහාරයට ගෙන ගොස් තෙරණුවන් හට භාරදී පැමිණෙනු’ යයි මිනිසුන් දෙදෙනකු හට අණ කළාය. ඔව්හු එසේ කළහ.
ඕ තොමෝ පසුකලක කලුරියකොට තව්තිසාවෙහි සියක් යොදුන් උසැති රන් විමනෙක්හි උපන්නාය. අප්සරාවෝ දහසක් පිරිවර වූහ. ඇයගේ ප්‍රාර්ථනා වශයෙන්ම පසුයොදුන් උසැති නෙළුම් මල්දමින් සැරසූ, හාත්පසින් නෙළුම්පත් කෙසරු රොන් ආදියෙන් හොබනා වූ, මන බඳින දැකුම් සහිත සුවපහස් සහිත විවිධ වූ රත්නයන්ගේ ආලෝක දහරාවලින් බබලන රන් අබරණින් සැරසුණ උතුම් හස්තියෙක් උපන්නේය. ඔහුගේ මතුයෙහි පෙර කියූ අධික ශෝභාවන්ගෙන් යුක්ත වූ යොදුනක් වූ රුවන් පලක් ද පහළ විය. ඕ තොමෝ දිවසැපත් විඳිමින් අතරතුර ඇත්විමන මතුයෙහි රුවනින් විසිතුරු වූ එම පලඟට නැගී මහත් වූ දේවතානුභාවයෙන් යුතුව නන්දන වනයට යන්නීය. ඉක්බිති එක්තරා උත්සව දිනයෙක්හි දේවතාවන් තමන්ගේ දිව්‍යානුභාවයෙන් යුතුව උයන්කෙළිය පිණිස නන්දන වනයට යනකල්හි ඒ දේවතා තොමෝ දිව්‍යාභරණයෙන් සැරසී දහසක් අප්සරාවන් පිරිවරා ස්වකීය විමානයෙන් නික්ම එම කුංජර විමානයට නැගී මහත් වූ දිව්‍යමය ඍද්ධියෙන් ද මහත් වූ ශ්‍රී සෞභාග්‍යයෙන් ද යුතුව මුලුමනින්ම හිරු සඳු මෙන් බබලමින් උයනට යන්නීය. එසමයෙහි ද ආයුෂ්මත් මහා මෞද්ගල්‍යායන තෙරණුවෝ යට කියන ලද පරිද්දෙන්ම දිව්‍යලෝක චාරිකාවෙහි යෙදෙන සේක් තව්තිසාවට පැමිණියාහු ඒ දෙවඟනට නුදුරෙහි තමා දැක්වීමට සැලැස්වූහ. එවිට ඒ දේවතා තොමෝ උන්වහන්සේ දැක උපන්නා වූ බලවත් ප්‍රසාද ගෞරව ඇත්තී වහාම පලඟින් බැස තෙරුන් වහන්සේ වෙත එළඹ පසඟ පිහිටුවා වැඳ බබලන දසැඟිලි තුඩු එකතුකොට ඇඳිලි බැඳ නමස්කාර කරමින් සිටියාය. ඉක්බිති තෙරුන් වහන්සේ ඒ දෙවඟන ලවා ඇය විසින් කරන ලද කර්මය කියවා දෙවියන් සහිත ලෝකවාසීන් හට කර්මඵල ප්රත්යක්ෂ කරවනු කැමති වන්නාහු මේ ගාථාවන් කීහ.
කුඤ්ජරො තෙවරාරොහො නා නා රතන කප්පනො
රුචිරො ථාමවා ජව සම්පන්නො ආකාසම්හි සමීහති
රුචිරො ථාමවා ජව සම්පන්නො ආකාසම්හි සමීහති
පදුමී පදුම පත්තක්ඛී පදුමුප්පල ජුතින්ධරො
පදුම චුණ්ණාභි කිණ්ණංගො සොණ්ණ පොක්ඛර මාලවා
පදුම චුණ්ණාභි කිණ්ණංගො සොණ්ණ පොක්ඛර මාලවා
නෙළුම් මල්හි පෙති වැනි නෙත් ඇති තැනැත්තිය, ඔබගේ මේ හස්තියා උතුම් වාහනයකි. විවිධ රත්නයන්ගෙන් සැරසී සිටියි. පියකරුය. සිත්ගනියි. ශක්තිමත්ය. අහසෙහි ගමන් කරයි. පියුම්මල් පැහැය ඇති, පියුම් පෙති වැනි ඇස් ඇති, පියුම් මත උපුල් මෙන් බැබලීමක් ඇති නෙලුම් රේණුවලින් ගැවසුණු සිරුර ඇතිව රනින් කළ නෙළුම් මල් මාල දරාගෙන සිටියි.
පදුමානු සටං මග්ගං පදුම පත්ත විභූසිතං
ඨිතං වග්ගු මනුග්ඝාති මිතං ගච්ඡති වාරණො
ඨිතං වග්ගු මනුග්ඝාති මිතං ගච්ඡති වාරණො
පියුම් විසුරුවා ඇති, නෙළුම් පතින් සරසන ලද අලංකාරවත්ව පැවති මාර්ගයෙහි මේ හස්තියා කැළඹීමකින් තොරව සුදුසු වේගයෙන් යයි.
තස්ස පක්කම මානස්ස සොණ්ණ කංසා රතිස්සරො
තෙසං සුය්යති නිග්ඝොසො තුරියෙ පඤ්චංගිකෙ යථා
තෙසං සුය්යති නිග්ඝොසො තුරියෙ පඤ්චංගිකෙ යථා
ගමන් කරන්නා වූ ඒ හස්තියාගේ රන් මුවා සැරසිලි චලනය වේ. එහි හඬ පඤ්චාංගික තූර්ය නාදය මෙන් ඇසේ.
තස්ස නාගස්ස ඛන්ධස්මිං සුචිවත්ථා අලංකතා
මහන්තං අච්ඡාරා සංඝං වණ්ණෙන අතිරොචසි
මහන්තං අච්ඡාරා සංඝං වණ්ණෙන අතිරොචසි
එම හස්තියාගේ ශරීරය ආවරණය කොට ඇති පිරිසිදු වූ, අලංකාරවත් වූ, විශාල වූ දිව්‍යමය සාටකය වර්ණයෙන් අතිශයින් රුචි උපදවන්නේය.
දානස්ස තෙ ඉදං ඵලං අථො සීලස්ස වා පන
අථො අඤ්ජලි කම්මස්ස තං මෙ අක්ඛාහි පුච්ජිතො’ති
අථො අඤ්ජලි කම්මස්ස තං මෙ අක්ඛාහි පුච්ජිතො’ති
ඔබේ මේ පුණ්‍යඵලය දන්දීමක ඵලයක්ද? නැතහොත් සිල් රැකීමක ඵලයක්ද? එසේත් නැතහොත් අඤ්ජලි කර්මයක (=දොහොත් නගා වැඳීමක) ඵලයක්ද? යන කරුණ (මා විසින්) ප්‍රශ්න කරනු ලැබූ ඔබ මා හට කියන්න’, යයි කීය.
කුඤ්ජරො වනයෙහි, පර්වතයෙහි ප්‍රීති වෙයි. සතුටින් වෙසෙයි. ක්‍රියාශීලී වෙයි. කුංචනාද කරමින් හැසිරෙයි. (කුංවා පඨවිං=) ශාක හෝ පොළව මොහුගේ පහරදීම්වලින් (ජරයති=) දැදුරු වේ. (කුං ජර) යන අදහසින් ‘කුඤ්ජර’යී නම් වේ. ‘ගිරිවර’ ආදී භේද ඇති ඇත්තු මිනිස් ලොව වෙසෙති. මේ සත්ත්වයා ක්‍රීඩා කරන කාලයෙහි පර්වතයක ක්‍රීඩා කරන්නකුට සමාන බැවින් මෙසේ කියන ලදී. උඩට නගියි යන අරුතින් ‘ආරොහ’ නම් වේ. (පිට මතට) නැගිය හැකිය යන අර්ථයයි. උතුම් වූ, අග්‍ර වූ, ශ්‍රේෂ්ඨ වූ නැගීමක්ය යනුවෙන් වරාරොහ නම් වේ. උතුම් යානයක් යයි කියන ලද්දේ වෙයි. නා නා රත්න කප්පකො අනේකවිධ රත්නයන් මොවුනට ඇත යන අරුතින් ‘නානාරතන’ යන පදය සෑදේ. (එම නා නා රතනවලින්) ඇතාගේ කුම්භය සරසන්නාක් මෙන් මුළු ඇතාම අලංකාර කෙරේ. ඒ අලංකාරයන්ගෙන් කරන ලද ඇඳුමක් සන්නාහයක් යමකුට ඇත්තේ ද හේ ‘නානාරතන කප්පනො’ නම් වේ. රුචිය අභිරුචිය ගෙන දෙයි යනුවෙන් රුචිර යි යෙදේ. මනොඥය (=මන වඩයි) යන අර්ථයයි. ථාමවා = ස්ථිර, බලවත් යන අර්ථයයි. ජව සම්පන්නො සම්පූර්ණ වූ ශක්තිය ඇත්තේ, ශීඝ්‍රගාමී ශක්තිය ඇත්තේ යයි කියන ලදී. ආකාසම්හි සමීහති අහසෙහි, අන්තරීක්ෂයෙහි මනාව නැග ගෙන යයි. නැග ගැනීමක් නැත්තේ වුවද හැසිරෙයි යයි යන අර්ථය වේ.