2. ද්විතීය පීඨවිමාන වර්ණනා
පීඨන්තො වෙළුරියමයං යනුවෙන් අරඹන්නේ දුතිය පීඨ විමාන වස්තුවයි. එහි අර්ථෝත්පත්තිය ද, අර්ථ වර්ණනාව ද මෙයට පෙර කියන ලද පරිදිම අවබෝධ කළ දතයුතුය. මෙය වනාහි විශේෂයකි. සැවැත්නුවර වාසී වූ එක් ස්ත්‍රියක් තමාගේ ගෙදරට පිඬු පිණිස වැඩි එක් තෙර නමක් දැක පැහැද ප්‍රසන්න සිත් ඇතිව ඇගේ ආසනය දෙන්නී තමන්ගේ පුටුව මත්තෙහි නිල්පැහැ වස්ත්‍රයක් අතුරා දුන්නීය. එම පිංකම හේතුවෙන් දෙව්ලොව උපන්නා වූ ඇයට වෛධූර්ය මාණික්‍යමය වූ පලඟ විමානයක් (අඩුන් විමනක්) පහළ විය. එහෙයින් කියන ලදි -
1. මල්වලින් සහ මනා වස්ත්‍රයෙන් අලංකාර කළ මේඝකූටයෙහි විදුලිය මෙන් බබළන උදාර වූ නිල්මැණික් මුවා ඇයගේ ආසනය කැමැති තැනකට සිතේ වේගයෙන් යයි.
2 . ඔබේ සිතට ප්‍රිය වූ සම්පත් පහළ වේ. ඔබේ මේ අභිරූප වූ වර්ණය කුමකින් ලැබුවේද? ඔබේ මේ සම්පත් කුමකින් ලැබුවේද?
3. මහත් ආනුභාව ඇති දේවතාවියෙනි, මෙසේ ශරීරය දිළිසීමට සහ ඔබේ වර්ණයෙන් සියළු දිසා බැබළවීමට මනුෂ්‍යයෙක්ව සිටිය දී ඔබ කළ පින කුමක්දැයි අසමි.
4. මුගලන් හිමියන් විසින් විචාරන ලද ප්‍රශ්නයට සතුටු වූ ඒ දේවතාවිය මෙය ලැබූ පුණ්‍ය ක්‍රියාව පැවසුවාය.
5. මම මිනිසත් බව ලැබ මිනිසුන් අතර සිටියදී, මගේ නිවසට පැමිණියා වූ සිල්වත් තෙරුන් වහන්සේ නමකට ආසනයක් පූජා කළෙමි. ඇඳිලි බැඳ වැන්දෙමි. මගේ සම්පත් ප්‍රමාණයෙන් දානය පිරිනැමුවෙමි.
6. ඒ පුණ්‍යකර්මය නිසා මෙවැනි දිලිසෙන වර්ණයක් ලදිමි. සිතේ ඇති වූ ආස්වාදය සිත සතුටු කරන සම්පත් පහළ විය.
7. මහත් ආනුභාව ඇති ස්වාමින් වහන්ස, ඔබවහන්සේට කියමි. මිනිස්ව සිටි කාලයේ කළ පින කුමක්ද කියා. එයින් මෙසේ බබළන ආත්මභාවය ලදිමි. මගේ ශරීර වර්ණය සියලු දිසා බබළවයි.
එහි වෙළුරියමං යනු වෛරෝඩි මැණික් විළුර ගම නුදුරේ පිහිටි විළුර පර්වතයේ හටගත් මැණික් විළුර ගමේ ආකරයක් විය. විළුර ගමට නුදුරුව හටගත් නිසා වෛරෝඩි (බළල් ඇස්වලට සමාන වන්) නමින් ප්‍රසිද්ධ විය. ඒ වර්ණැ සමාන බැවින් දෙව්ලොව ද ඒ නමම විය. යම් පරිද්දෙකින් මිනිස් ලොවදී ලත් නම් දෙව්ලොව දේව පුත්‍රයන්ට ද විය. ඒ වනාහි මොණරුන්ගේ බෙල්ලේ පැහැය මෙන් හෝ කවුඩාගේ පියාපත් පැහැයට හෝ සිනිඳු හුණ දලුව පැහැයෙන් ද හෝ වේ. මෙහි වනාහි මොණර බෙල්ල වැනි පැහැයයි දත යුතුය. සෙසු සියල්ල ප්‍රථම පීඨ විමානය පිළිබඳ කියන ලද විස්තරය හා සමාන වන්නේය.
දෙවෙනි පීඨ විමාන වර්ණනාව නිමියේය.
3. තෘතීය පීඨවිමාන වර්ණනා
‘පීඨන්තෙ සොවණ්ණමයං’ ආදී වශයෙන් දැක්වෙන තුන්වන පීඨ විමාන වර්ණනාවයි. එහි කථා වස්තුව රජගහ නුවරදී හටගත්තේය. එක්තරා රහතන් වහන්සේ නමක් රජගහ නුවර පිඬු පිණිස හැසිර අහර ලබා ගෙන (වැළඳීම සඳහා) කාලය ළං වූ කල්හි බත්කිස කරනු කැමැත්තේ දොර විවෘතව තිබූ එක්තරා ගෘහයක් වෙත එළඹියේය. ඒ නිවසෙහි වනාහී ගෘහස්වාමී වූ ශ්‍රද්ධා සම්පන්න ස්ත්‍රී තොමෝ තෙරුන් වහන්සේගේ පිළිවෙළ සලකා බලා ‘එන්න ස්වාමීනි, මෙහි හිඳගෙන බත්කිස කරනු මැනව’යි තමාගේ වේවැල් පුටුව පණවා ඒ මතුයෙහි කසාවන් වස්ත්‍රයක් අතුරා අපේක්ෂා රහිත පරිත්‍යාගයක් වශයෙන් දුන්නාය. මාගේ මේ පින අනාගතයෙහි රන් පුටුවක් ලැබීම පිණිස හේතුවේවා’යි ප්‍රාර්ථනාවක් ද කළාය. ඉක්බිති තෙරුන් වහන්සේ එහි හිඳ බත්කිස නිමවා පාත්‍රය පිරිසිදුකොට නැගිට යන කල්හි ‘ස්වාමීනි, මේ ආසනය ඔබවහන්සේටම පරිත්‍යාග කරන ලදී. මට අනුග්‍රහ පිණිස එය පරිභෝග කළ මැනවැ’යි ඒ ස්ත්‍රිය කීවාය. තෙරුන් වහන්සේ ඇයට අනුකම්පාවෙන් ඒ පුටුව පිළිගෙන සංඝයාට දෙවූහ. ඒ ස්ත්‍රිය පසුකාලයෙහි, එක්තරා රෝගයක් වැළඳී කලුරියකොට තව්තිසා භවනයෙහි උපන්නාය, යන ආදී සියල්ල ප්‍රථම විමාන වර්ණනාවෙහි කියන ලද පිළිවෙළින්ම දතයුතුය. එබැවින් මෙසේ කියන ලදී -