3. තෘතීය පීඨවිමාන වර්ණනා
‘පීඨන්තෙ සොවණ්ණමයං’ ආදී වශයෙන් දැක්වෙන තුන්වන පීඨ විමාන වර්ණනාවයි. එහි කථා වස්තුව රජගහ නුවරදී හටගත්තේය. එක්තරා රහතන් වහන්සේ නමක් රජගහ නුවර පිඬු පිණිස හැසිර අහර ලබා ගෙන (වැළඳීම සඳහා) කාලය ළං වූ කල්හි බත්කිස කරනු කැමැත්තේ දොර විවෘතව තිබූ එක්තරා ගෘහයක් වෙත එළඹියේය. ඒ නිවසෙහි වනාහී ගෘහස්වාමී වූ ශ්‍රද්ධා සම්පන්න ස්ත්‍රී තොමෝ තෙරුන් වහන්සේගේ පිළිවෙළ සලකා බලා ‘එන්න ස්වාමීනි, මෙහි හිඳගෙන බත්කිස කරනු මැනව’යි තමාගේ වේවැල් පුටුව පණවා ඒ මතුයෙහි කසාවන් වස්ත්‍රයක් අතුරා අපේක්‍ෂා රහිත පරිත්‍යාගයක් වශයෙන් දුන්නාය. මාගේ මේ පින අනාගතයෙහි රන් පුටුවක් ලැබීම පිණිස හේතුවේවා’යි ප්‍රාර්ථනාවක් ද කළාය. ඉක්බිති තෙරුන් වහන්සේ එහි හිඳ බත්කිස නිමවා පාත්‍රය පිරිසිදුකොට නැගිට යන කල්හි ‘ස්වාමීනි, මේ ආසනය ඔබවහන්සේටම පරිත්‍යාග කරන ලදී. මට අනුග්‍රහ පිණිස එය පරිභෝග කළ මැනවැ’යි ඒ ස්ත්‍රිය කීවාය. තෙරුන් වහන්සේ ඇයට අනුකම්පාවෙන් ඒ පුටුව පිළිගෙන සංඝයාට දෙවූහ. ඒ ස්ත්‍රිය පසුකාලයෙහි, එක්තරා රෝගයක් වැළඳී කලුරියකොට තව්තිසා භවනයෙහි උපන්නාය, යන ආදී සියල්ල ප්‍රථම විමාන වර්ණනාවෙහි කියන ලද පිළිවෙළින්ම දතයුතුය. එබැවින් මෙසේ කියන ලදී -
පීඨන්තෙ සොවණ්ණ මයං උළාරං
මනොජවං ගච්ඡති යෙන කාමං
අලංකතෙ මල්‍යධරෙ සුවත්‍ථෙ
ඔභාසසී විජ්ජුවෙබ්හ කූටං
ඔබේ ආසනය රනින් කරන ලද්දේය. උදාරය, කැමති තැනකට එය සිතේ වේගයෙන් මෙන් ශීඝ්‍රයෙන් යයි. මලින් අලංකාර කළ (තිර) රෙදි මැද අහසෙහි විදුලිය සේ බබලන්නෙහිය.
කෙන තෙ තාදිසො වණ්ණො තෙන තෙ ඉධ මිජ්ඣති
උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා
සිතට යම් වස්තුවක් ප්‍රිය වේද, ඔබට ඒ වස්තුව ලැබෙන්නේය. ඔබට මෙබඳු වර්ණයක් කුමක් නිසා ලැබුණේ ද? ඔබට එබඳු ඉසුරුමත් බවක් කුමක් නිසා ලැබුණේ ද?
පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ
මනුස්ස භූතා කිමකාසි පුඤ්ඤං
කෙනාසි එවංජලිතානුභාවා
වණ්ණො ච තෙ සබ්බ දිසා පභාසතී’ති
මහානුභාව ඇති දේවතාවියනි, මනුෂ්‍යව සිටිමින් කවරනම් පිනක් කෙළෙහිදැයි අසමි. ඔබේ පැහැයද සියලු දිශාවන් ආලෝකවත් කරයි. මෙසේ දීප්තිමත් ආනුභාවයක් කුමක් නිසා ලැබිණිදැයි අසමි’යි යනුවෙන් කීහ.
(පිළිතුරු වශයෙන් දේවතාවිය මෙසේ කීවාය.)
සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡතා
පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං
මුගලන් මහරහතන් වහන්සේ විසින් ප්‍රශ්න කරන ලද්දා වූ, සතුටට පත් වූ එම දේවතා තොමෝ (තමාගෙන් අසන ලද ප්‍රශ්නයට අනුව, මෙය (හෙවත් තමා ලැබූ සම්පත) කවරනම් කර්මයක ඵලයක්දැයි (මෙසේ) ප්‍රකාශ කළාය.
අප්පස්ස කම්මස්ස ඵලං මමෙදං
යෙනම්හි එවං ජලිතානුභාවා
අහං මනුස්සෙසු මනුස්ස භූතා
පුරිමාය ජාතියන මනුස්ස ලොකෙ
පෙර භවයෙහි දී මිනිස්ලොව මිනිසුන් අතර මම මනුෂ්‍ය ස්ත්‍රියක් වූයෙම්, යම් හේතුවකින් මෙවන් දීප්තිමත් ආනුභාවයක් සහිතව වෙසෙම්දැයි යතහොත් මෙය මාගේ ස්වල්ප වූ ක්‍රියාවක ඵලයකි.
අද්දසං විරජං භික්‍ඛුං විප්පසන්න මනාවිලං
තස්ස අදාසහං පීඨං පසන්නා සෙහි පාණිහී
කෙලෙස් රහිත වූ ඉතා ප්‍රසන්න වූ කැළඹීමෙන් තොර වූ භික්‍ෂුවක දිටිමි. උන්වහන්සේ කෙරෙහි පැහැදී සියතින්ම අස්නක් (දන්) දුනිමි.
තෙන මෙ තාදිසො වණ්ණො තෙ න මෙ ඉධ මිජ්ඣති
උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කොචි මනසො පියා
සිතට යමක් ප්‍රිය වේද, ඒ සම්පත් මට ලැබෙන්නේ ය. (පෙර ගාථාවෙහි කියූ) ඒ දානය නිසා මට මෙබඳු වර්ණයක් ලැබිණි. ඒ කරුණ නිසා මට මෙබඳු ඉසුරුමත් බවක් ලැබිණි.
අක්‍ඛාමි තෙ භික්‍ඛු මහානුභාව
මනුස්ස භුතා යමකාසි පුඤ්ඤං
තෙනම්හි එවං ජලිතානුභාවා
වණ්ණො චමෙ සබ්බ දිසා පභාසතී’ති
මහත් ආනුභාව ඇති භික්‍ෂුවරයාණනි, මිනිස් (දුවක) වූ මම යම් පිනක් කෙළෙම් ද, ඒ පිනින් මෙසේ දීප්තිමත් ආනුභාව සහිත තැනැත්තියක් වෙමි. මාගේ වර්ණය ද සියලු දිශාවන් බබුලුවන්නේ වෙයි යනුවෙන් ඔබවහන්සේට (පිළිතුරු වශයෙන්) කියමි’ යනුයි.
පස්වන ගාථාවෙහි කියන ලද්දේ ද, ඒ නම් මෙයයි. පුරිමාය ජාතියන මනුස්ස ලොකෙ යන ආදියයි. මෙහි ‘ජාති’ ශබ්දය ගැන කියනු ලැබේ. ‘ජාති ද්වීහි ඛන්‍ධෙහි සංගහිතා’ (=ජාති යන්න ස්කන්ධ දෙකක සංගෘහිත වේ) යන ආදී තැන්හි ‘ජාති’ යන්න සංස්කාරයන්ගේ සකස්වීම යන අර්ථයෙහි යෙදේ. නිකාය යන අර්ථයෙහි : ‘නිගණ්ඨා නාම සමන ජාති’ (=නිගණ්ඨ නම් වූ ශ්‍රමණ නිකායක්) යන ආදී තැන්හි ‘ජාති’ යන්න නිකාය යන අර්ථයෙහි යෙදේ. ප්‍රතිසන්ධිය යන අර්ථයෙහි, ‘යං මාතු කුච්ඡිස්මිං පඨමං චිත්තං උප්පන්නං පඨමං විඤ්ඤාණං පාතු භූතං තදුපාදාය සාවස්ස ජාති’ (මවුකුසෙහි යම්කිසි ප්‍රථම චිත්තයක් උපන්නේ ද ප්‍රථම විඤ්ඤාණයක් පහළ වූයේ ද එය මුල්කරගෙන ‘ජාති’) යයි ප්‍රතිසන්ධි අර්ථයෙහි යෙදේ. කුලය යන අර්ථයෙහි ‘අක්‍ඛිත්තො අනුපඤ්ඤට්ඨො ජාතිවාදෙන’ (ජාති කුල ගැන කීමෙන් නින්දා නො කරනු ලැබූ, අපහාස නො ලැබූ) යන ආදියෙහි දී ‘ජාති’ යන්න කුලය යන අර්ථයෙහි යෙදේ. ප්‍රසූතිය යන අර්ථයෙහි ‘සම්පති ජාතො ආනන්‍ද, බොධිසත්තො’ (=ආනන්දය, දැන් බෝසත්වරයෙක් උපන්නේය) යන ආදියෙහි ‘ජාත’ යන්න ප්‍රසූති අර්ථයෙහි යෙදේ. භවය යන අර්ථයෙහි ‘එකිසො ජාතිං ද්වෙහි ජාතියො’ (=එක භවයක් හෝ භවයන් දෙකක් හෝ) යන ආදියෙහි ‘ජාති’ යන්න භවය යන අර්ථයෙහි යෙදේ. මෙහිදී ද භවය යන අර්ථයෙහිම ‘ජාති’ යන්න යෙදී ඇතැයි දතයුතුය. එහෙයින් ‘පුරිමාය ජාතියා’ යනු පෙර භවයෙහි, ආසන්න අතීතයෙහි වූ පූර්ව භවයෙහි යන අර්ථයයි. මුලින් දී ඇති වාක්‍යයෙහි අර්ථයේදී ‘ජාතියා’ යන මෙය කරණ විභක්ති වචනයකි. මනුස්ස ලොකෙ = මනුෂ්‍ය ලෝකය නම් භවයෙහි මෙය රජගහ නුවර සඳහා කියයි. මෙහිදී අවකාශ ලෝකය අදහස් කෙරේ. ‘මනුස්සෙසු’ යන මෙයින් සත්ත්ව ලෝකය ගැන කියන ලදී.
අද්දසං දුටුවෙමි. විරජං = රාග ආදී කෙලෙස් පහවී ඇති බැවින් විරජං නම් වේ. භික්‍ඛුං = කෙලෙස් භින්න වූ (බිඳුණ) බැවින් භික්‍ඛු නම් වේ. හැම අයුරින්ම කෙලෙස් කිලුටු නැති බැවින්, මනාව ප්‍රසන්න වූ සිත් ඇති බැවින් විප්පසන්න යි යෙදේ. නො කැලඹුණ සිතුවිලි ඇති බැවින් අනාවිලං යි යෙදේ. පසු පසුව යෙදෙන පද පළමු පළමුව යෙදෙන පදයන්හි හේතු දැක්වෙන වචන වේ. කෙලෙස්වලින් වෙන්වීම නම් වූ භික්‍ෂු ගුණයන්හි යෙදීමෙන් බිඳුණ කෙලෙස් ඇත්තේ භික්‍ඛු නම් වේ. අතිශය පිරිසිදු භාවයෙන් කෙලෙස් නමැති කිලුටින් තොර බැවින් අති ප්‍රසන්න වූ මනසක් ඇත්තේ භික්‍ෂුවයි. විප්පසන්න හෙවත් අතිශයින් ප්‍රසන්න වූයෝ නො කැළඹුණ මනසක් ඇති බැවිනි. රාග හා රජස් (=කෙලෙස්) නැතිවීමෙන් ‘විරජං’ යයි කියන ලදී. දොස් හා කිලුටු නැති බැවින් ‘විප්පසන්න’ නම් වේ. මෝහය සහ අවුල් ස්වභාවය නැති වීමෙන් ‘අනාවිලං’ නම් වේ. මෙසේ වූ තැනැත්තා පරමාර්ථ වශයෙන් ‘භික්‍ඛු’ යන නම ලබයි. ඒ නිසා ‘භික්‍ඛුං’ යයි කියන ලදී. අදාසහං අදාසිං අහං යන පද දෙක සන්‍ධි වී අදාසහං යි සෑදේ. පීඨං = එකල මා වෙත තිබූ වේවැල් පුටුව. පස්සනා කර්මඵල ඇදහීමෙන් ද රත්නත්‍රය කෙරෙහි සැදැහැවත් වීමෙන් ද ප්‍රසන්න වූ සිත්. සෙහි පාණිහී අනිකකු නො ඇණවා සියතින්ම ලඟට ගත් පුටුව පිළියෙළ කොට දුන්නෙමි යන අර්ථයයි.