16. සිරිමාවිමාන වර්ණනා
යුත්තා ච තෙ පරම අලංතතා භයා යනුවෙන් සිරිමා විමාන වර්ණනාව ආරම්භ වේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වෙළුවනයෙහි (=ලෙහෙණුන් හට අහර පිණිස වෙන්කර තිබූ තැනක් වන) කලන්දක නිවාපයෙහි වාසය කරන සේක. එකල්හි වනාහී යට ආසන්න කථා වස්තුවෙහි කියන ලද සිරිමා නම් ගණිකාව සෝවාන් ඵලයට පැමිණි බැවින් අද අපිරිසිදු ක්‍රියාවන් ඇත්තියක වී සංඝයාට සලාක දාන අටක් ප්‍රතිෂ්ඨාපනය කළාය. මුලපටන් නිතර භික්‍ෂූහු අටනමක් නිවසට පැමිණෙත් ඕ තොමෝ ගිතෙල් ගන්න, කිරි ගන්න ආදිය කියා උන්වහන්සේලාගේ පාත්‍ර පුරවයි. එක් නමක් ලබන කොටස තුන් හතර නමකට වුවද සෑහෙයි. දිනපතා කහවණු සොළසක් වැය කිරීමෙන් පිණ්ඩපාතය දෙනු ලැබේ. එකල්හි එක් දිනක් එක්තරා භික්‍ෂුවක් ඇගේ නිවසෙහි දී සලාක අටට අයත් දන් කොටසක් වළඳා තුන්යොදුනක් දුර වූ එක් විහාරයකට ගියේය. ඉක්බිති සවස්කල්හි උවටැන් ලබන තෙරුන් වෙත හුන් ඔහුගෙන් මෙසේ විමසූහ. ‘ඇවැත්නි, කොතැන්හිදී අහර වළඳා මෙහි පැමිණියෙහිද?’ ‘සිරිමාවගේ සලාක අටේ දානයෙන් මා විසින් වළඳන ලදී.’ ‘ඇවැත්නි, එය මන වඩන ලෙස දෙන්නී ද?’ ‘ඇයගේ දානය වර්ණනා කළ නොහැක. ඉතා ප්‍රණීතකොට දන් දෙයි. එක් අයකුට ලැබෙන කොටස තුන්හතර දෙනෙකුට සෑහෙයි. දෙන දෙයටද වඩා ඇයගේ දර්ශනයම උසස්ය’ මෙසේ කියා ඒ ස්ත්‍රිය මෙබඳුය, මෙබඳුය ආදී වශයෙන් ඇගේ ගුණ කීවේය.
එකල්හි එක්තරා භික්‍ෂුවක් ඇගේ ගුණයන් පිළිබඳ කථාව අසා නොදැක වුවද ඇසීමෙන්ම කැමැත්ත උපදවා මා එහි ගොස් ඇය දැකිය යුතු වෙයි යනුවෙන් සිතා තමාගේ වස් ප්‍රමාණය කියා එහි පැමිණි තෙරුන්ගෙන් තවද තොරතුරු විමසා ‘ඇවැත්නි, හෙට දින ඔබ ඒ නිවසේ සංඝ ස්ථවිර (=ප්‍රධාන තෙරණුවන්) වී සලාක අටෙන් දානය ලබාගන්නැ’යි කියනු අසන එකෙණෙහිම පාසිවුරු ගෙන පිටත් වූයේ උදෑසනම අරුණ නැගෙනවිට සලාක ගෙට පිවිස සිටියේ සංඝ ස්ථවිර (=හෙවත් එදින පැමිණි ප්‍රධාන ස්ථවිර) වී ඇයගේ නිවසෙහි සලාක දානය ලැබුවේය. යම් ඒ භික්‍ෂු නමක් පෙරදින අහර වළඳා ගියේ ද ඔහු පිටවූ වේලාවෙහිම ඇගේ සිරුරෙහි රෝගයක් පහළ විය. එබැවින් ආභරණ ඉවත්කොට වැතිරුණාය. ඉක්බිති ඇයගේ දාසීහු සලාක දානය ගැනීමට පැමිණි භික්‍ෂූන් දැක ඇයට දැන්වූහ. එහි ගොස් සියතින් පාත්‍ර ගැනඳීමට හෝ වඩා හිඳුවීමට හෝ තරම් ශක්තිය නැති ඕ තොමෝ ‘දැරියනි, පාත්‍ර ගෙන ආර්යයන් වහන්සේලා වඩා හිඳුවා කැඳ වළඳවා කෑ යුතු දෙය දී බත් වේලාවෙහි දී පාත්‍ර පුරවා දානය දෙන්නැයි දැස්සන් හට අණ කළාය. ඒ ස්ත්‍රීහු ‘යහපති ආර්යාවෙනි’යි භික්‍ෂූන් වැඩමවා කැඳ පානය කරවා කෑ යුතු දෙය දී නියම වේලාවෙහි දී බතින් පාත්‍ර පුරවා ඇයට දැන්වූහ. ඇය ‘මා අල්වාගෙන යන්න. ආර්යයන් වහන්සේලා වඳින්නෙමි’යි කියා ඒ ස්ත්‍රීන් ලවා අල්වාගෙන භික්‍ෂූන්ගේ සමීපයට පමුණුවන ලද්දී වේදනා දෙන සිරුරින් යුතුව භික්‍ෂුවට වැන්දාය. ඒ භික්‍ෂුව ඇය දෙස බලා ‘ගිලන් වූ විට පවා මැයගේ රූපශෝභාව මෙසේ වේ. නිරෝගී කාලයෙහි වනාහී සර්වාභරණයෙන් සැරසුණ මැයගේ රූප සම්පත්තිය කෙබඳු වේදැ’යි සිතීය. එකල්හි වර්ෂ කෝටි සංඛ්‍යාවක් තුළ රැස්වූ ඔහුගේ කෙලෙස් මතු විය. හේ තෙමේ නුවණ නැත්තෙක් වී බත් වැළඳීමට නොහැක්කේ පාත්‍රය රැගෙන විහාරයට ගොස් පාත්‍රය වසා එකත්පසෙක තබා සිවුරු කොණ අතුරා වැද හොත්තේය. එහිදී එක් සහායක භික්‍ෂුවක් ඔහුට යාඥා කෙළේ නමුදු අහර වැළඳවීමට නොහැකි විය. ඔහු සුන්බත් වූයේ විය.
එදිනම පස්වරුවෙහි සිරිමා කලුරිය කළාය. රජතුමා ‘ස්වාමීනි, ජීවකගේ කණිටු සොයුරිය වන සිරිමා කලුරිය කළාය’යි ශාස්තෲන් වහන්සේට පණිවිඩයක් යැවීය. ශාස්තෲහු එය අසා ‘සිරිමාවන්ගේ සිරුර දැවීමක් නො කරන්න. කවුඩු ආදී කා නො දමන අයුරින් එම සිරුර අමු සොහොනෙහි තබා ආරක්‍ෂා කරන්නැ’යි රජතුමා පණිවිඩයක් යැවූහ. රජතුමා එසේ කෙළේය. පිළිවෙළින් තුන්දිනක් ඉක්ම ගියේය. සිවුවන දිනයෙහි සිරුර ඉදිමුණේය. වණ වූ නව දොරින් පණුවෝ වැගුරුණහ. මුලු සිරුරම බිඳුණ බත් හැලියක් මෙන් විය. ‘නිවෙස් රකින දරුවන් හට හැර සිරිමාවන් දැකීම පිණිස නො පැමිණෙන්නවුන් හට කහවණු අටක් දඩ’යයි කියා රජතුමා නුවර බෙර හැසිරවීය. බුද්ධ ප්‍රමුඛ භික්‍ෂු සංඝයා ද සිරිමා දකිනු පිණිස පැමිණෙත්වා’යි යනුවෙන් ශාස්තෲන් වහන්සේ වෙතද පණිවිඩයක් යැවීය. ‘සිරිමාවන් දකිනු පිණිස යන්නෙමු’යි ශාස්තෲහු භික්‍ෂූන් හට දැනුම් දෙවූහ.
යථෝක්ත තරුණ භික්‍ෂුව ද දින සතරක්ම කිසිවකුගේ වදනක් පිළිනොගෙන සුන්බත්වම හොත්තේය. පාත්‍රයෙහි වූ බත් කුණු වී ගියේ ය. පාත්‍රයෙහි මල බැඳුණේ ද විය. ඉක්බිති ස්ථානයක භික්‍ෂුවක විසින් සමීපයට එළඹ ‘ඇවැත්නි, ශාස්තෲහු සිරිමාවන් දැකීම පිණිස යන්නාහ’යි කියනු ලැබූ හෙතෙම තම අභ්‍යන්තරය පෙර කී සේ තිබුණේ වී නුමදු ‘සිරිමා’ යයි කියනු ලැබී වචනය සමගම වහා නැගිට්ටේය. (මේ දෙබස ඇති විය.) ශාස්තෲන් වහන්සේ සිරිමාවන් දැකීමට වඩිති. ඔබත් යන්නෙහිද? එසේය යන්නෙමි. (මෙසේ කියා) බත් ඉවත්කොට පාත්‍රය සෝදා පසුම්බියෙහි බහා භික්‍ෂු සංඝයා සමග ගියේය. ශාස්තෲහු භික්‍ෂු සංඝයා විසින් පිරිවරණ ලද්දාහු එක්පසෙක සිටි සේක. භික්‍ෂුණී සමූහයා ද රජපිරිස ද උපාසක පිරිස ද උපාසිකා පිරිස ද එක් එක් පාර්ශ්වයන්හි සිටියහ.
(එහිදී බුදුන් හා රජු අතර මේ දෙබස ඇති විය.) ‘මහරජ, මැය කවර තැනැත්තියක්ද?’ ‘ස්වාමීනි, ජීවකගේ සොයුරිය වන සිරිමා නමැත්තියයි.’ ‘මැය සිරිමාවමද?’ ‘එසේය ස්වාමීනි.’ එසේනම් කහවණු දහසක් ගෙවා සිරිමාවන් ලබා ගන්නැයි කියා නගරයේ අණබෙර හසුරුවන්නැයි බුදුන්වහන්සේ කීහ. රජ තෙමේ එසේ කරවීය. එක් අයෙක් හෝ හා! හූ! යනුවෙන් හෝ හඬක් නො නැඟුහ. රජ තෙමේ ‘ස්වාමීනි, කවරෙක් හෝ නොගණිති’යි යනුවෙන්, ඒ බව ශාස්තෲන් වහන්සේ හට කීය. ‘මහරජ, එසේනම් අඩකින් මිල පහළට බස්වන්නැ’යි කීහ. පන්සියයක් දී ලබා ගන්නැයි කියා රජ තෙමේ අණබෙර හසුරුවා, ගන්නා වූ කිසිවකු නො දැක කහවණු දෙසිය පණසක්, දෙසීයක්, සීයක්, පණසක්, පස් විස්සක්, විස්සක්, දහයක්, පහක්, එකක්, අඩ කහවණුවක් මස්සක්, කාකණිතයක් (=තුට්ටුවක්) දී සිරිමාවන් ලබාගන්නැයි (වරින්වර) බෙර හසුරුවා (කවරකු හෝ ඉදිරිපත් නොවූ විට) නොමිලේ හෝ ලබාගන්නැයි බෙර පැතිරවීය. එසේ වුවද හා! හූ! කියන්නෙක් හෝ නොවීය. ‘ස්වාමීනි, නොමිලේ වුවද ගන්නා කෙනෙක් නැතැ’යි රජතුමා කීය. ‘මහණෙනි, බලනු මහජනතාවට ප්‍රිය වූ මෙම ස්ත්‍රිය, මේ නගරයෙහිම මනුෂ්‍යයෝ පෙර එක් දිනකට දහසක් දී ලබා ගත්හ. දැන් නොමිලේ වුවද ගන්නා කෙනෙක් නැත. ක්‍ෂය වීමට හා වියපත් බවට පැමිණෙන, බාහිරින් ගත් අලංකාරයන්ගෙන් විසිතුරු කරනු ලබන වණ මුඛයන් නවයක් ලෙසින් තුවාල වැනි සිදුරු ඇති. ඇට තුන්සියයකින් දරාගෙන පවත්නා නිතර රෝග වැළඳෙන, හුදෙක් අඥාන මහජනයා විසින් බෙහෙවින් ලෝභ කරනු ලබන බැවින් බහු සංකප්ප යයි හැඳින්වෙන මෙබඳු වූ රූපය අස්ථිර වූ ආත්මභාවයකැයි දක්වන්නාහු.