17. කෙසකාරීවිමාන වර්ණනා
ඉදං විමානං රුචිරං පභස්සරං (සිත්කලු වූ ප්‍රභාස්වර වූ මේ විමානය) යනුවෙන් හඳුන්වා ඇති කෙසකාරී විමානය (ඒ පිළිබඳ කථාවයි.) එහි උප්පත්ති කථාව කෙසේද යත්? එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර ඉසිපතනයේ මිගදායෙහි වසන සේක. එකල්හි (එක් දිනයෙක) බොහෝ වූ භික්‍ෂුහු පෙරවරුයෙහි හැඳගෙන පාසිවුරු ගෙන බරණැසෙහි පිඩු පිණිස පිවිසියහ. ඔව්හු එක්තරා බමුණෙකුගේ ගෙහි දොර සමීපයෙන් යන්නාහුය. ඒ නිවසෙහි ගෙහි දොර අසල මවගේ හිසෙන් උකුණන් ගනිමින් සිටියා වූ බමුණාගේ කේසකාරී නම් දියණිය ගමන් කරන්නා වූ ඒ භික්‍ෂූන් දැක මවට මෙසේ කීවාය. මෑණියනි, තරුණ වයසේ මුල් කොටසෙහිම සිටි ඉතා රූමත් දැකුම්කළු ප්‍රසාදජනක සියුමැලි වූ මේ පැවිද්දන් කිසිම ජරාජීර්ණ භාවයකින් වැඩුණු අය නොවෙතියි සිතමි. මේ අය කවර හේතුවක් නිසා මේ වයසේදීම පැවිදි වෙත්ද? මව ඇයට මෙසේ කීවාය. දියණියනි, ශාක්‍යවංශික පුත්‍රයකු වූ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූ බුද්ධ නම් වූ ශාස්තෲවරයෙක් ලෝකයෙහි පහළ වී සිටියි. උන්වහන්සේ මුල යහපත් වූ මැද යහපත් වූ කෙළවර ද යහපත් වූ අර්ථයෙන් පිරුණ අදහස් ප්‍රකාශ වන සකලාංග සම්පූර්ණ වූ ධර්මයන් දේශනා කරති. පිරිසිදු බ්‍රහ්මචර්යාව (පිළිබඳව) ප්‍රකාශ කරති. මේ තැනැත්තන් උන්වහන්සේ ධර්මය අසා පැවිදි බිමට පත්වෙති.
ඒ වීථියෙහි යමින් සිටියා වූ ඵලයකට පැමිණ සිටි (බුදු) සසුන පිළිබඳව දැනසිටි එක්තරා උපාසකවරයෙක් එම කථාව අසා ඒ ස්ත්‍රීන්ගේ සමීපයට පැමිණියේය. එවිට බැමිණිය ඔහුට මෙසේ කීවාය. ‘උපාසකයෙනි, මේ කාලයෙහි බොහෝ කුලපුත්‍රයෝ මහත් වූ වස්තු රාශීන් ද බොහෝ වූ නෑදෑ පිරිස් හැරදමා ශාක්‍ය ශාසනයෙහි පැවිදි වෙත්. ඔව්හු කවර නම් ඵලයක් දකිමින් පැවිදි වන්නාහුද? ඒ අසන උපාසක තෙමේ (එසේ පැවිදි වන්නෝ) ගුණය කාමයන්හි ආදීනවය ද, නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ද දකින්නාහුය’යි කියන තමාගේ ඥාන ශක්තියට අනුව ඒ කරුණ විස්තර වශයෙන් කීවේය. ත්‍රිවිධ රත්නයේ ගුණ ප්‍රකාශ කළේය. පංච ශීලයන්ගෙන් මෙලොවට හා පරලොවට හා පරලොවට හිමිවන ගුණ අනුසස් පැහැදිලි කළේය. එවිට බමුණු දියණිය කිම සරණ පිහිටීමෙන් ඔබ විසින් කියන ලද ගුණ ආනිසංසයන් ලබාගැනීමට අපටද හැකි වේදැයි ඔහුගෙන් විචාළාය. හෙතෙම භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ ධර්මයේ සර්ව සාධාරණය කුමක් නිසා නොදැක්කේදැයි කියා ඇයට (ති) සරණ ද, (පන්) සිල් ද දුන්නේය. ඕ තොමෝ ලබාගත් (ති) සරණ ඇත්තීද, සමාදන් වූ (පන්) සිල් ඇත්තීද වී නැවතද ‘කිම මින් මතුවට අන්‍ය වූ කළයුත්තක් තිබේදැ’යි ඇසුවාය. ඒ (උපාසක) තෙමේ ඇයගේ ඥානවන්ත භාවය සලකමින් ඇය ධර්මාවබෝධයෙහි සමත් වන්නී යයි දැන ශරීරයේ ස්වභාවය පැහැදිලි කරමින් දෙතිස් ආකාර වූ කමටහන් කියන කයෙහි ආශාවන්ගෙන් තොර වීම සඳහා අදහස් උපදවා නැවත අනිත්‍ය ස්වභාවය ආදී කරුණුවලින් යුක්ත වූ දැහැමි කථාවෙන් සංවේග උපදවා විදර්ශනා මාර්ගය කියා දී ගියේය. ඕ තොමෝ ඔහු විසින් කියන ලද සියලුම පිළිවෙළ මෙනෙහිකොට පිළිකුල් බව මෙනෙහි කිරීමෙන් සන්සුන් සිත් ඇත්තේ විදර්ශනා පිහිටුවා හේතුසම්පත් ඇති බැවින් කෙටි කලකදීම සෝවාන් ඵලයෙහි පිහිටියාය. අනතුරුව පසුකලෙක කලුරියකොට සක් දෙව් රජුගේ පරිචාරිකාවක වී උපන්නාය. ඇයට අප්සරාවන් ලක්‍ෂයක් පිරිවර වූහ. සක්දෙව් රජ ඇය දැක ආශ්චර්ය අද්භූත සිත් ඇත්තේ සතුටු සිත් ඇත්තේ ‘ඉදං විමානං රුචිරං පභස්සරං’ යන ආදී ගාථා සතරකින් ඇය විසින් කරන ලද (පූර්ව) කර්මය විචාළේය.
ඉදං විමානං රුචිරං පභස්සරං
වෙළුරියත්‍ථම්හං සත්තං සුනිම්මිතං
සොවණ්ණ රුක්‍ඛෙහි සමන්ත මොත්‍ථතං
යානං මමං කම්ම විපාක සම්භවං
(අර්ථය) මනාව නිර්මාණය වී ඇති වෛරෝඩි මාණික්‍යමය ටැඹක් මෙන් වූ මනහර වූ සියලු කල්හිම එළිය විහිදුවන්නා වූ ස්වර්ණ වක්‍ෂයන්ගෙන් හාත්පසින් වැසීගියා වූ මාගේ මෙම විමානය මාගේ කර්ම විපාකයෙන්ම පහළ වූවක් වෙයි.
තත්‍රෑපපන්නා පුරිමච්ඡරා ඉමා
සතං සහස්සානි සකෙන කම්මුනා
තුවංසි අජ්ඣූපගතා යස්සිනී
ඔභාසයං තිට්ඨසි පුබ්බ දෙවතා
(අර්ථය) එහි උපන්නා වූ පූර්ව දේවතා වූ මේ මුල් අප්සරාවෝ ලක්‍ෂයක ඔබ ස්වකීය කර්ම බලයෙන් උපන්නෙහිය. පිරිවර සම්පත්තියද ඇත්තෙහිය. පූර්ව දේවතාවියක වූ ඔබ බබලමින් සිටින්නෙහිය.
සසී අධිග්ගය්හ යථා විරොචති
නක්‍ඛත්ත රාජාරිව තාරකා ගණං
තථෙව ත්‍වං අච්ඡරා සංගමං ඉමං
දද්දල්ලමානා යස්සා විරරාචසි
(අර්ථය) යම්සේ නැකැත් තරු වැට රජු මෙන් චන්ද්‍රයා තාරකා සමූහය යටපත් කරමින් බබලන්නේ ද එසේම ඔබ ද මේ අප්සරාවන් මැඩගෙන සම්පත්තියෙන් දීප්තිමත් වෙමින් බබලන්නෙහිය.
කුතොනු ආගම්ම අනොම දස්සනෙ
උප්පන්නා ත්‍වං භවනං මමං ඉදං
බ්‍රහ්මං ව දෙවා තිදසා ස ඉන්‍දකා
සබ්බෙ න තප්පාමසෙ දස්සනෙන ත්‍වන්ති
(අර්ථය) ශෝභන වූ ශරීරයෙන් යුතු තැනැත්තිය, ඔබ මාගේ මේ භවනයට කොහි සිට පැමිණ උපන්නෙහිද? ඉන්‍දක සහිත වූ තිදෙස් සුර දෙවියන්, බ්‍රහ්ම හා දැකීමෙන් තෘප්ත නොවන්නාක්හු මෙන් අපි සැමදෙනද ඔබ දැකීමෙන් ඇතැයි යන තෘප්තියකට පත් නොවෙමු.
[missing trans]
එහි ඉදං විමානං ඒ දේවතා තොමෝ යම් විමානයක උපන්නීද ඒ තමාගේ විමානය සඳහා කියන ලදී. සතතං යනු හැමකල්හිම. රුචිරං පභස්සරං සිත්කළු වූ, ප්‍රභාස්වර වූ. මනාසේ පිහිටුවන ලද අතිශයින් මහත් වූ, සමනත්‍ථ මොත්‍ථතං යනු සම්පූර්ණයෙන් පෙර තිබූ ආකාරය වෙනස්කොට, වසන ලද, ඨානං යනු විමානය සඳහා කියයි. කරන ලද පුණ්‍යකර්ම අනුව සිටියේ යයි කියයි. කම්මවිපාක සම්භවං කර්ම විපාක අනුව හටගන්නා ලදී. ‘මමං’ යනු මගේ කර්මවිපාකානුකූලව හටගනිත් දෙපදයන්හි යෙදිය යුතු.
තත්‍රෑපපන්නා යන ගාථාවේ මේ සංක්‍ෂේප අර්ථයයි. තත්‍ර එහි කියන ලද විමානයේ උප්පන්නා උපත ලැබීය. පුබ්බදෙවතා ඉමා පුරිමා අජ්ජරායො ප්‍රමාණයෙන්. සත සහස්සානි තුවං සී යනු නුඹවෙහි, සකෙන කම්මුනා අජ්ඣුපගතා ස්වකීය කර්මය විසින් පමුණුවන ලදී. උපදින ලදී. යසස්සිනී පිරිවර සම්පත්තියෙන් පූර්ණව, එසේම, සකෙන කම්මුනා ස්වකී කර්මයාගේ ආනුභාවයෙන් බබළත්, බබළමින්ම සිටී.
එහි බැබළීමට උපමා වශයෙන් දක්වමින් ‘සසී’ ආදී ගාථාව කීහ. යථා සාවාගේ ලකුණු යෙදීමෙන්, සසී යන නැකැත් තරුවල අධික ගුණභාවයෙන්, නක්‍ඛත්තරාජා. තරුපති යන නම් ලද චන්ද්‍රයා, තාරකාගණං අධිග්ගය්හ තරු මැඩ පවත්වා විරොචති බබළයි විරාජමාන වේ. තථෙව ත්‍වං ඉමං අච්ඡරා නං එසේම මේ දේව කන්‍යාවෝ. සංගමං තම සමූහය. යස්සා දද්දල්ලමානා යසසින් දිලියෙමින් විරොචසි බබළයි. ඉමාති ඉමං නිපාත මාත්‍රයකි. ‘නක්‍ඛත්ත රාජාජය තාරක ගණං තථෙව ත්‍වං’ යනුවෙන් ද පාඨයක් කියයි.
දැන් ඒ දේවතාවියගේ පූර්ව භවයේ දී, කරන ලද පුණ්‍යකර්මය විචාරන්නේ ‘කුතොනු ආගම්මා’ ආදී ගාථාව කීයේය. එහි කුතොනු ආගම්මා කවර පුද්ගලයෙක් ද, කවර පින්කමක් ද කවර හේතූන්දැයි අසයි. ඉදං මගේ භවනං පැමිණීම සොඳුරුය. අනොම දස්සනෙන සෑම අතින්ම ශෝභන වූ. ත්‍වං උප්පන්නා උත්පත්ති වශයෙන් පැමිණීම, සෑම අතින්ම යහපත්ය, උසස්ය යන අර්ථය දක්වන්නට උපමාවක් ප්‍රකාශ කරමින්, බ්‍රහ්මං ව දෙවා තිදසා සඉන්‍දකා සබ්බෙන තප්පාමසෙ දස්සනෙනත්‍වං තිදසෙහි ඉන්‍ද්‍රයා ප්‍රධාන දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද සියළු දෙන ඔබගේ දැකීමෙන් තෘප්තියට පත්වෙති. එහි බ්‍රහ්මයා සනංකුමාර සමග ඉන්‍ද්‍රයා ද ගැනේ. පැමිණියේ වේ. සඉන්‍දකා තව්තිසා වැසි දෙවියෝ ඔබ දැකීමෙන් තෘප්තියට පැමිණෙති යන අර්ථයි.