15. උත්තරාවිමාන වර්ණනා
අභික්කන්තෙන වණ්ණෙන යනුවෙන් උත්තර විමාන වර්ණනාව ආරම්භ වේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවනයෙහි (ලෙහෙණුන් හට අහර පිණිස වෙන්කර තිබූ තැනක් වන) කලන්දක නිවාපයෙහි වාසය කරන සේක. එකල්හි පුණ්ණ නම් වූ දුගී පුරුෂයෙක් රජගහ නුවර සිටුවරයා ඇසුරු කිරීමෙන් ජීවත් වෙයි. ඔහුගේ උත්තරා නම් බිරිඳ ද, උත්තරා යන නාමයම ඇති දියණිය ද යන දෙදෙනාම එකම නිවසෙහි වාසය කරති. ඉක්බිති එක් දවසක් රජගහනුවර වැසියන් සත්දිනක් නැකැත් කෙළියෙහි යෙදිය යුතු යයි ප්‍රකාශයට පත් කළහ. ඒ අසා සිටු තෙමේ උදෑසනම පැමිණි පුණ්ණ හට ‘දරුව, අපගේ සේවක ජනතාව නැකැත් කෙළි කරනු කැමැත්තෝය. ඔබ නැකැත් කෙළි කරන්නෙහි ද, නැතහොත් මෙහෙ කරන්නෙහිදැ’යි ඇසීය. ‘ස්වාමීනි, නැකැත් කෙළි නම් ධනවතුන් හට අයත් වූවකි. මගේ නිවසේ වනාහී හෙට දිනය සඳහා කැඳට ගැනීමට හාල් මිටක්වත් නොමැත. නැකැත් කෙළියෙන් මට කුමන ප්‍රයෝජනයක්ද? ගොණුන් ලබන්නෙම් නම් සී සෑමට යන්නෙමි’යි කීය. එසේ නම් ගොණුන් ගනුවයි සිටුවරයා කීය. ඒ (පුණ්ණ) තෙමේ ශක්තිමත් ගොණුන් ද, මනා වූ නගුලක් ද ගෙන ‘සොඳුර, නගරයෙහි වැසියෝ නැකැත් කෙළියෙහි යෙදෙති. මම දිළිඳු බව නිසා බැළමෙහෙ කිරීමට යමි. අද මා හට දෙගුණයක් ආහාර පිස බත් ගෙන එන්න’යයි බිරිඳට පවසා කුඹුරට ගියේය.
සැරියුත් තෙරුන් වහන්සේ ද සත්දිනක් නිරෝධ සමාපත්තියට සමවැදී සිට ඉන් නැගී අද මා විසින් කවරනම් අයකුට සංග්‍රහ කරන්නට වටනේදැයි බලන සේක් තමාගේ නුවණ දැල තුළට පිවිසි ‘පුණ්ණ’ නමැත්තා දැක මේ තෙමේ මා හට සංග්‍රහ කිරීමට තරම් ශ්‍රද්ධාව ඇත්තෙක් ද, ඒ සඳහා ඔහුට ශක්තිය තිබේද යන කරුණු බලන සේක් ඔහුගේ ශ්රද්ධාවන්ත බව ද සංග්‍රහ කිරීමේ හැකි බව ද ඒ හේතුවෙන් ඔහුට මහා සම්පත්ති ප්‍රතිලාභයක් වන බව ද දැන පාසිවුරු ගෙන ඔහුගේ කෘෂි කටයුතු කෙරෙන තැනට ගොස් කුඹුර අයිනෙහි එක් ලැහැබක් දැක එහි වැඩහුන් සේක. පුණ්ණ තෙමේ තෙරුන්වහන්සේ දැක සීසෑම නවතා පසඟ පිහිටුවා තෙරණුවන් වැඳ, දැහැටි දඬුවකින් ප්‍රයෝජන ඇත්තේ වනැයි සිතා දැහැටි දඬුවක් කැපකොට දුන්නේය. ඉක්බිති තෙරණුවෝ පාත්‍රයද පෙරහන්කඩ ද බැහැරට ගෙන ඔහුට දුන්හ. හේ තෙමේ තෙරුන්හට පැන්වලින් ප්‍රයෝජන ඇත්තේ යයි සිතා එය රැගෙන පැන් පෙරා දුන්නේය.
තෙරණුවෝ මෙසේ සිතූහ. ‘මේ තෙමේ අනුගේ ගෙයක පසුපසෙහි වසයි. ඉදින් මා ගෙයි දොරටුවට යන්නෙම් නම් මොහුගේ බිරිඳ මා දැකීමට නො ලබන්නීය. යම්තාක් මොහුගේ බිරිඳ බත් රැගෙන මගට පිවිසේ ද, ඒ තාක් මෙහිම සිටින්නෙමි’ යනුයි. උන්වහන්සේ එහිම මදක් කල්ගෙවා ඇය මගට බැසගත් බව දැන ඇතුළු නුවරට අභිමුඛව පිටත් වූහ. ඕ තොමෝ අතරමගදී තෙරණුවන් දැක මෙසේ සිතුවාය. ‘ඇතැම් දිනයෙක දිය යුතු දෙය ඇති කල්හි ආර්යයන් වහන්සේ කෙනෙකු නො දකිමි. ඇතැම් දිනයෙක ආර්යයන් වහන්සේ කෙනෙකු දකින මා සතුව දිය යුතු දෙයක් නොමැත. අද වනාහී ආර්යයන් වහන්සේ නමක් ද මට පෙනෙන සේ වෙසෙති. දිය යුතු වූ දෙය ද ඇත. සංග්‍රහයක් කරන්නෙමි’යි සිතුවාය. ඕ තොමෝ අහර බඳුන පසෙක තබා තෙරුන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ ‘ස්වාමීනි, මෙය නීරසය කියා හෝ රසවත්ය කියා හෝ නො සිතා ආහාර පිළිගැනීමෙන් මේ දාසියට සංග්‍රහ කරනු මැනව’යි කීවාය. එවිට තෙරණුවෝ පාත්‍රය ඉදිරිපත්කොට එක් අතකින් භාජනය දරාගෙන, බත් බෙදන ඇය බත්වලින් අඩක් බෙදූ කල්හි. ඒ ප්‍රමාණය සෑහේ යයි හඟවමින් අනික් අතින් පාත්‍රය වැසූහ. තොමෝ ‘ස්වාමීනි, එකක් සේ සැකසූ බත් කොටස දෙකට බෙදීම කළ නොහැක. ඔබවහන්සේගේ දාසයනට මෙලොවින් සංග්‍රහ නොකොට පරලොවින් සංග්‍රහ කරනු මැනවි. ඉතිරි නො කොටම දෙනු කැමැත්තෙමි’යි කියා සියල්ලම උන්වහන්සේගේ පාත්‍රයෙහි බහා ‘මෙලොවදීම ඔබවහන්සේට දීමේ පිනෙහි කොටස් කාරියක වෙවා’යි ප්‍රාර්ථනය කළාය. තෙරණුවෝ එසේ වේවායි කියා සිටිවනම අනුමෝදනා කොට ජලපහසුකම් ඇති එක්තරා ස්ථානයක හිඳගෙන අහර කිස කළ සේක. ඕ තොමෝ ද ආපසු හැරී ගොස් සහල් සොයාගෙන බත් පිසුවාය.
පුණ්ණ තෙමේ ද සිවු අමුණෙන් අඩක් පමණ තැන් සීසෑම කොට කුසගින්න ඉවසිය නොහැක්කේ ගොණුන් නිදහස්කොට එක් රුක් සෙවනකට පැමිණ මඟබලමින් හුන්නේය. එකල්හි ඔහුගේ බිරිඳ බත් රැගෙන එන්නී ඔහු දුටුවනම ‘බඩසයින් පෙළෙන මේ තෙමේ මා එන දෙස බලමින් හිඳිනුයේ මා බොහෝ ප්‍රමාද වී යයි බැණ වැදී කෙවිටි ලීයෙන් පහර දෙන්නේ නම් මා කළ (පුණ්‍ය) කර්මය නිරර්ථක වන්නේය. කල්ඇතිවම (මා කළ දෙය ඔහුට) කියන්නෙමි’යි සිතා මෙසේ කීවාය. ‘හිමියනි, අද එක් දිනයට සිත පහදවා ගනු මැනවි. මා කළ (පුණ්‍ය) කර්මය නිරර්ථක නොකළ මැනවි. උදෑසනම ඔබට බත් රැගෙන එන මම අතරමගදී දම්සෙනෙවි (සැරියුත් මහා ස්ථවිරයන්) දැක ඔබගේ බත් උන්වහන්සේට දී නැවත ගෙට ගොස් බත් පිස පැමිණියෙමි. හිමියනි, සිත පහදවාගනු මැනවි’ යනුයි. හේ තෙමේ ‘සොඳුර, කුමක් කියන්නෙහිදැ’යි අසා, නැවත ඒ පුවත අසා සොඳුර මගේ බත් කොටස ආර්යයන් වහන්සේට දෙන්නා වූ ඔබ විසින් කරන ලද්දේ ඒකාන්තයෙන්ම යහපත් ක්‍රියාවකි. මා විසින් ද අද උදෑසනම උන්වහන්සේට දැහැටි දඬු හා මුවදෝනා පැන් ද දෙන ලද්දේ යයි ප්‍රසන්න සිතින් යුතුව (ඇයගේ) එම වචන පිළිවෙළට සතුටට පත් වී දහවල් වී බත් අනුභව කළ බැවින් ක්ලාන්ත භාවයට පත් සිරුර ඇතිවූයේ ඇගේ ඇකයෙහි හිස තබා නින්දට එළඹියේය.