14. ද්විතීය සුණිසාවිමාන වර්ණනා
අභික්කන්තෙන වණ්ණෙන මේ දෙවෙනි සුණිසා විමාන වත්ථු කථාවයි. මෙහි පෙර නොකී විරූ දෙයක් නැත. අර්ථෝත්පත්තියේ කොමුපිඬු දන්දීමම විශේෂයි. එහෙයින් කියන ලදී.
දිලිසෙන වර්ණයෙන් බැබළෙන වර්ණයෙන් යම්කිසි දෙවඟනක් සිටින්නීද, ඕ ඕයී තාරකාව මෙන් දස දිසාවන්හිම බබළන්නේය.
මෙබඳු වූ වර්ණ සම්පත්තියක් කුමකින් ලැබීමද? මෙබඳු වූ සමෘද්ධ බවක් කුමකින් සිතට ප්රිය වූ ඔබේ සම්පත් උපදී.
මහානුභාව වූ දෙව් දියණියනි, ඔබ මිනිස්ලොව වසන සමයේ කවරනම් පුණ්යකර්මයක් කළේද සකල දිසාවන් එළිය කරන්නා වූ දිලිසෙන වර්ණයකින් යුතුව දැන් පවතින්නට ඔබ කළ කුසලය කුමක්ද විමසමි.
ඒ දේවතාවි, මුගලන් හිමියන් විසින් අසන ලද ප්රශ්නයට පිළිතුරු දෙමින් තමන් කළ කුසලය පවසන්නී
මම මිනිස්ලොව මිනිසකුව සිටින කාලයේ මාමාගේ ගෙයි ලේලියක්ව සිටියෙමි.
නො කැළඹුණු සිත් නමැති විල ඇති වීතරාගී වූ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් මා විසින් දක්නා ලදී. ප්රසන්න වූ සිතින් උන්වහන්සේ වඩමවාගෙන අවුත් මා ලත් ආහාර වේලෙන් භාගයක් සතුටු සිතින් මාගේ අතින් පූජා කළෙමි. ඒ කොමුපිඬු දානයාගේ ආනිසංසයෙන් අද නන්දන වනයෙහි සතුටු වෙමි. ඒ කුසල කර්මයාගේ ආනිසංසයෙන් මෙවැනි වර්ණයක් මට ඇති විය. ඒ පිනින් මෙවැනි සමෘද්ධියක් ඇතිවිය. සිතට ප්රිය වූ පරිභෝග වස්තූන් පහළ වේ.
මහානුභාව සම්පන්න වූ ස්වාමිනි, මිනිස් දුවක වී සිට යම්කිසි පුණ්යකර්මයක් මා විසින් කරන ලද්දේ නම් ඒ කුසලානිසංසයෙන් මෙබඳු වූ බැබළෙන වර්ණයකින් යුතුව සිටිමි. මගේ රූපයෙන් සියලු දිසාවන් ප්රභාවත් වේ.
එහි භාගං යනු කොමු පිට්ටුවෙන් භාගයක් කොමු පිඬෙන් භාගයක්. කුම්මාස පිණ්ඩං දත්වාන යනු එහෙයින් කියන ලදී. කුම්මාසො යනු යව කොමු යයි කියන ලදී. (යව යනු බාර්ලි නම් ධාන්ය වර්ගයයි. ඒ ධාන්ය වර්ගයෙන් සහළින් තැනූ පිට්ටු හෝ හැලප වැනි දේ අදාල නැත. කොමු පිඬුයි) සෙස්ස පෙර කී නයින්ම වේ.
දෙවෙනි සුණිසා විමාන වර්ණනාව නිමියේය.
15. උත්තරාවිමාන වර්ණනා
අභික්කන්තෙන වණ්ණෙන යනුවෙන් උත්තර විමාන වර්ණනාව ආරම්භ වේ. එහි උත්පත්ති කථාව කෙසේද යත්? භාග්යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවනයෙහි (ලෙහෙණුන් හට අහර පිණිස වෙන්කර තිබූ තැනක් වන) කලන්දක නිවාපයෙහි වාසය කරන සේක. එකල්හි පුණ්ණ නම් වූ දුගී පුරුෂයෙක් රජගහ නුවර සිටුවරයා ඇසුරු කිරීමෙන් ජීවත් වෙයි. ඔහුගේ උත්තරා නම් බිරිඳ ද, උත්තරා යන නාමයම ඇති දියණිය ද යන දෙදෙනාම එකම නිවසෙහි වාසය කරති. ඉක්බිති එක් දවසක් රජගහනුවර වැසියන් සත්දිනක් නැකැත් කෙළියෙහි යෙදිය යුතු යයි ප්රකාශයට පත් කළහ. ඒ අසා සිටු තෙමේ උදෑසනම පැමිණි පුණ්ණ හට ‘දරුව, අපගේ සේවක ජනතාව නැකැත් කෙළි කරනු කැමැත්තෝය. ඔබ නැකැත් කෙළි කරන්නෙහි ද, නැතහොත් මෙහෙ කරන්නෙහිදැ’යි ඇසීය. ‘ස්වාමීනි, නැකැත් කෙළි නම් ධනවතුන් හට අයත් වූවකි. මගේ නිවසේ වනාහී හෙට දිනය සඳහා කැඳට ගැනීමට හාල් මිටක්වත් නොමැත. නැකැත් කෙළියෙන් මට කුමන ප්රයෝජනයක්ද? ගොණුන් ලබන්නෙම් නම් සී සෑමට යන්නෙමි’යි කීය. එසේ නම් ගොණුන් ගනුවයි සිටුවරයා කීය. ඒ (පුණ්ණ) තෙමේ ශක්තිමත් ගොණුන් ද, මනා වූ නගුලක් ද ගෙන ‘සොඳුර, නගරයෙහි වැසියෝ නැකැත් කෙළියෙහි යෙදෙති. මම දිළිඳු බව නිසා බැළමෙහෙ කිරීමට යමි. අද මා හට දෙගුණයක් ආහාර පිස බත් ගෙන එන්න’යයි බිරිඳට පවසා කුඹුරට ගියේය.
සැරියුත් තෙරුන් වහන්සේ ද සත්දිනක් නිරෝධ සමාපත්තියට සමවැදී සිට ඉන් නැගී අද මා විසින් කවරනම් අයකුට සංග්රහ කරන්නට වටනේදැයි බලන සේක් තමාගේ නුවණ දැල තුළට පිවිසි ‘පුණ්ණ’ නමැත්තා දැක මේ තෙමේ මා හට සංග්රහ කිරීමට තරම් ශ්රද්ධාව ඇත්තෙක් ද, ඒ සඳහා ඔහුට ශක්තිය තිබේද යන කරුණු බලන සේක් ඔහුගේ ශ්රද්ධාවන්ත බව ද සංග්රහ කිරීමේ හැකි බව ද ඒ හේතුවෙන් ඔහුට මහා සම්පත්ති ප්රතිලාභයක් වන බව ද දැන පාසිවුරු ගෙන ඔහුගේ කෘෂි කටයුතු කෙරෙන තැනට ගොස් කුඹුර අයිනෙහි එක් ලැහැබක් දැක එහි වැඩහුන් සේක. පුණ්ණ තෙමේ තෙරුන්වහන්සේ දැක සීසෑම නවතා පසඟ පිහිටුවා තෙරණුවන් වැඳ, දැහැටි දඬුවකින් ප්රයෝජන ඇත්තේ වනැයි සිතා දැහැටි දඬුවක් කැපකොට දුන්නේය. ඉක්බිති තෙරණුවෝ පාත්රයද පෙරහන්කඩ ද බැහැරට ගෙන ඔහුට දුන්හ. හේ තෙමේ තෙරුන්හට පැන්වලින් ප්රයෝජන ඇත්තේ යයි සිතා එය රැගෙන පැන් පෙරා දුන්නේය.