1. පළමු වැනි පීඨවිමාන වර්ණනා
භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනෙ ජේතවනයෙහි අනාථ පිණ්ඩිකස්ස අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වාසය කරන කල්හි පසේනදී කොසොල් රජු විසින් බුද්ධ ප්‍රමුඛ භික්‍ෂු සංඝයා විෂයෙහි සත්දිනක් අසදෘශ (මහා) දානය පවත්වනු ලැබූ විට එයට අනුරූපීව අනාථ පිණ්ඩිකෙන අනේපිඬු මහසිටු විසින් තෙදිනක් ද, එසේම විසාඛාය විශාඛා මහෝපාසිකාව විසින් ද මහ දන් දෙනු ලැබූ කල්හි (එම) අසදෘශ (මහා) දානය පිළිබඳ පුවත මුලු ජම්බුදීපෙ = දඹදිව්හිම පතළ විය. එකල්හි මහජනතාව ඒ ඒ තැන්හිදී ‘කිම මෙසේ මහත් වූ ධන පරිත්‍යාගයකින්ම දෙන දානයක් වඩාත් මහත්ඵල වන්නේ ද, නැතහොත් තමා සතු ධනයට අනුරූපීව පරිත්‍යාග කිරීමෙන් (මහත් ඵල වන්නේ) දැ’යි කථාවක් ඉපදවූහ. ඉක්බිති භික්‍ෂූහු ඒ කථාව අසා භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ. භාග්‍යවත්හු ‘මහණෙනි, දෙනු ලබන වස්තු සම්පත්තියෙන්ම පමණක් දානයක් වඩාත් මහත්ඵල වන්නේ නොවේ. එහෙත් සිත පහදවා ගැනීම නම් සම්පත්තියෙන් ද, දිය යුතු පුද්ගලයා පිළිබඳ සම්පත්තියෙන් ද එහෙයින් (වී කොටා සහල් ගත් විට ඉතිරිවන) කුඩු මිටක් දිරා ගිය රෙදි කැබැල්ලක් පමණ හෝ තණ ඇතිරිල්ලක්, කොළ ඇතිරිල්ලක් පමණ හෝ, ගව මූත්‍රයෙහි දමා පැරණි කොට ගත් (බෙහෙත්) අරලු ගෙඩියක් පමණ හෝ අතිශයින් ප්‍රසන්න සිතින් යුතුව දීමට සුදුසු පුද්ගලයෙකු කෙරෙහි පිළිගන්වන ලද්දේ නම් එයද මහත් ඵල සහිත, මහත් ආලෝක සහිත, මහත් පැතිරීමක් සහිත (දානයක්) වන්නේ යයි වදාළහ. එසේම දේවාධිපති ශක්‍රයා විසින් (මෙසේ) කියන ලදී.
නත්‍ථි චිත්තෙ පසන්නම්හි අප්පිකා නාම දක්‍ඛිණා
තථාගතෙවා සම්බුද්ධෙ අථවාතස්ස සාවකෙ’ති
තථාගතෙවා සම්බුද්ධෙ අථවාතස්ස සාවකෙ’ති
තථාගත සම්මා සම්බුදුන් කෙරෙහි හෝ නොහොත් උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ කෙරෙහි හෝ පැහැදුණු සිතින් යුතුව දෙන දානය අල්ප (විපාක සහිත) වූවක් නම් නො වන්නේය.
ඒ මේ කථාව වනාහි මුළු දඹදිහි පැතුරුණේ විය. මනුෂ්‍යයෝ ශ්‍රමණ බ්‍රාහ්මණ දුගී මගී යාචකාදීන් හට හැකි පමණින් දන් දෙති. ගෙමිදුල්හි පැන් සකසා තබති. දොරටු කුටි තුළ අසුන් පනවා තබති. එසමයෙහි වනාහී පිඬු පිණිස හැසිරෙන එක්තරා තෙර නමක් පැහැදීම් ඇතිකරවන සුලු වූ යාම්-ඊම් වලින් ද, ඉදිරිපස හා පසුපස බැලීමෙන් ද, (අත් පා) නැමීම් දිගහැරීම්වලින් ද යුතුව පහතට යොමු වූ ඇස් ඇත්තේ, මනා ඉරියවු වලින් සම්පූර්ණ වූයේ කාලය එළඹ සිටි කල්හි පිඬු පිණිස හැසිරෙමින් (ගොස්) එක්තරා නිවසකට පැමිණුනේය. එහි ශ්‍රද්ධා සම්පන්න වූ එක් කුලදුවක් තෙරුන් වහන්සේ දැක, උපන් ගරුබුහුමන් ඇත්තී මහත් වූ ප්‍රීති සොම්නස් උපදවා නිවසට පමුණුවා (දෙදණ, දෙවැලමිටි හා නළල යන පසඟ බිම පිහිටුවා වැඳ තමාගේ අසුන පනවා ඒ මතුයෙහි කසාවන් (හෙවත් රන්වන්) සිනිඳු වස්ත්‍රයක් අතුරා පිළිගැන්වූවාය. ඉක්බිති තෙරුන් එහි හිඳගත් කල්හි මා වෙතට මේ උතුම් පින්කෙත එළඹ සිටියේ යයි පැහැදුණ සිතින් පවත්නා සම්පත් අනුව ආහාරයෙන් සංග්‍රහ කළාය. විජිනිපත ගෙන පවන් සැලුවාය. ඒ තෙරුන් වහන්සේ කරන ලද බත්කිස ඇති සේක් ආසන දන්දීම්, ආහාර දන්දීම් ආදිය සම්බන්ධ වූ ධර්ම දේශනයක් කොට (ආපසු) ගියහ. ඒ ස්ත්‍රිය තමාගේ එම දානයද, එම ධර්ම දේශනය ද නුවණින් සලකා බලන්නී නිතර ප්‍රීතියෙන් පිරුණ ශරීර ඇතිව එම අසුන ද තෙරණුවන් හට පිදුවාය.
ඉන්පසුව කලෙක එක්තරා රෝගයකින් පීඩිත වූවා කලුරිය කොට තව්තිසා භවනයෙහි දොළොස් යොදුන් වූ රන් විමනෙක්හි උපන්නාය. අප්සරාවෝ දහසක් ද ඕහට පිරිවර වූහ. ආසන පූජාවේ ආනුභාවයෙන් ඕහට අහසින් යා හැකි වූ ශීඝ්‍ර වේගයක් ඇත්තා වූ, ගෘහයෙක්හි සතරැස් මුදුනේ (හෙවත්) කුටාගාරයෙක) පෙනුම ඇති යොදුනක් වූ රන්මුවා අසුනක් පහළ විය. ඒ හේතුවෙන් එය පීඨ විමාන (හෙවත් ආසන විමානය) යයි කියනු ලැබේ. රන්වන් වස්ත්‍රයක් අතුරා එය පිදූ බැවින් කරන ලද එම කර්මයට සමාන වන සේ එය බබලන ස්වර්ණමය ආසනයක් විය. (පූජාවෙහි දී ඇතිකරගත්) ප්‍රීති වේගයේ බලය හේතු කොටගෙන ශීඝ්‍ර වේගයක් ඇත්තේ ද දීම ලබන කොටගෙන ශීඝ්‍ර වේගයක් ඇත්තේ ද, දීම ලබන තෙරණුවන්ගේ සිතෙහි රුචිය අනුව දෙන ලද බැවින් කැමැත්ත අනුව යන ගමන් ඇත්තේ ද, ප්‍රසාද සම්පත්තියෙහි මහත් බව නිසා හැම අයුරින්ම පැහැදීම ඇත්තේ ද, අතිශය ශෝභාවෙන් යුක්ත වූයේ ද විය.
ඉක්බිති එක් උත්සව දිනයෙක්හි දෙවිවරුන් තමන්ගේ දේවානුභාවයෙන් යුතුව උයන්කෙළි සඳහා නන්දන වනයට යන කල්හි දිවසළු හැඳගත් දිව්‍යාභරණ පැළඳ ගත් අප්සරාවන් දහසක් පිරිවරා ගත් ඒ දෙවඟන තොමෝ ස්වකීය භවනයෙන් නික්ම ඒ ආසන විමානයට නැගී ගෙන මහත් වූ දිව්‍ය සෘද්ධියෙන් ද, මහත් වූ ශ්‍රී සෞභාග්‍යයෙන් ද, හැම අයුරින්ම සඳු මෙන් ද, හිරු මෙන් ද බබළමින් උයනට යන්නීය. එකල්හි ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ යට කියන ලද පරිදි දිව්‍යලෝක චාරිකාවෙහි හැසිරෙන සේක් තව්තිසා භවනයට පැමිණියාහු ඒ දෙවඟනට නුදුරෙහි තමා පෙනෙන සේ සිටියහ. ඉක්බිති ඒ දේවතා තොමෝ උන්වහන්සේ දැක හටගත් බලවත් ප්‍රසාද ගෞරවයෙන් වහාම අසුනින් බැස තෙරුන් වහන්සේ වෙත පැමිණ පසඟ පිහිටුවීමෙන් වැඳ එක්තැන් වී බබළන දසැඟිලි තුඩින් ඇඳිලි බැඳ, නමස්කාර කරමින් සිටියාය. තෙරුන් වහන්සේ ද කෙසේ හෝ වේවා ඇය විසින් ද, අන්‍ය වූ සත්ත්වයන් විසින් ද, රැස්කරනු ලැබූ කුසල් හා අකුසල් තමාගේ කර්මානුරූප වූ ඥානයෙහි ආනුභාවයෙන් අත්ලෙහි තැබූ නෙල්ලි ගෙඩියක් දකින්නාක් මෙන් ප්‍රඥා බලයෙන් ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දක්නාහ. එසේ වුවද යම්හෙයකින් “මම කවරනම් තැනකින් චුත වී මෙහි උපන්නෙම් ද? කවරනම් කුශල කර්මයක් සිදුකොට මේ සම්පත් ලැබූයෙම්ද’ යනුවෙන් දෙවිවරුන්ගේ ආසන්න වූ අතීත භවයෙහි රැස් කරන ලද කර්මයන් ඔවුන් ලවා කියවනු කැමති සේක් සහ බෙහෙවින් ධර්මයෙන් සිදුවන දෙය සලකා බැලීමෙන් තත් වූ පරිද්දෙන්ම ඇයට ද නුවණ උපදනේ යයි ද එහෙයින් ඒ දේවතාවිය විසින් කරන ලද කර්මය (ඇය ලවාම) කියවා දෙවියන් සහිත ලෝකයාට කර්මඵල ප්‍රත්‍යක්‍ෂ කරවනු කැමතිවන තෙරුන් වහන්සේ මෙසේ කීහ.