එසේම භාග්‍යවත් බුදුවරු, පසේ බුදුවරු අග්‍ර ශ්‍රාවකවරු, මහා ශ්‍රාවකවරු, චක්‍රවර්ති රජවරු සහ අන්‍ය වූ මහානුභාව සම්පන්න සත්ත්වයෝ ද මෙහිම උපදිත්. ඔවුන් හා සමාන රූප ඇති බැවින් අවට දිවයින්හි වැසියන් සමග අන්‍ය වූ දිවයින්හි වාසය කරන්නාහු ද මනුෂ්‍යයෝම යයි සලකනු ලැබූ බව සමහරු කියත්.
අන් සමහරු මෙසේ කියත්. ලෝභ ආදියෙන් ද අලෝභ ආදියෙන් ද යුක්ත වූ මනසේ උසස් බව හේතුවෙන් මනුස්ස නම් වෙත්. මනුෂ්‍ය ජාතික වූ යම් සත්ත්වයෝ වෙත් ද, ඔවුන් අතරෙහි විශේෂ වශයෙන් ලෝභ ආදිය ද, අලෝභ ආදිය ද උත්සන්නව පිහිටයි. ඔව්හු ලෝභ ආදිය උත්සන්න බැවින් අපාය මාර්ගයද, අලෝභ ආදිය උත්සන්න බැවින් සුගති මාර්ගය වූ නිවනට යන මාර්ගයද සපුරා ගනිත්. එහෙයින් ලෝභාදියෙන් ද, අලෝභාදියෙන් ද යුක්ත වූ මනසේ උත්සන්න භාවය නිසා අවට දිවයින්හි වැසියන් සමගම සතරමහ දිවයින්හි වැසි සත්ත්ව විශේෂයෝ ‘මනුස්ස’ යයි කියනු ලැබෙත්.
මනු (රජු) ගේ දරු පරපුරෙන් පැවතෙන බැවින් මනුස්ස නම් වෙත් යයි ලෝකවාසීහු කියති. ‘මනු’ යන නාමයෙන් යුක්තව පළමු වන කල්පයෙහි වූ ලෝක ආරම්භයෙහි ආදි පුරුෂයා වූ, යහපත අයහපත සලසන්නා වූ, සත්ත්වයන් හට පීතෘ ස්ථානයෙහි සිටියා වූ යම් පුරුෂයෙක් වීද හේ සස්නෙහිදී මහා සම්මත යයි කියනු ලැබේ. සත්ත්වයෝ ඔහුගේ දරු පරපුරය යන අර්ථයෙන් ද ඔහුගේ අවවාදයෙහි සිටි සත්ත්වයෝ පුත්‍රයන් හා සමාන බැවින් ද ‘මනුස්සා’ යයි කියනු ලැබෙත්. එතැන් පටන් ඒ මානවයෝ ‘මනුජ’ යයි ද ව්‍යවහාර කරනු ලබත්. ‘මනුස්ස’යන් අතර සිටියාහු, ඉපදුනාහු, මනුස්ස බවට පත්වූවාහු ‘මනුස්ස භූත’ නම් වෙත්.
කිමකාසි පුඤ්ඤං යනු කුමක්ද යත්, දන් දීම් සිල් රැකීම් ආදී ප්‍රභේද ඇති කවරාකාර වූ හෝ උතුම් වූ ක්‍රියාවක ඵලයකින් යම් චිත්ත ස්වභාවයක් උපන්නේ ද, ඒ උපන් චිත්ත ස්වභාවය සත්ත්වයන්ගේ සිතුවිලි පුරවා තිබෙන්නේය. පිරිසිදු කරන්නේය යන අර්ථයෙන් පුඤ්ඤ (පින) යයි ලබන ලද නම් ඇත්තේය. එයින් සුචරිතයක් කුශල කර්මයක් සිදු කළේය. රැස් කෙළේය. ඉපදවීය යන අර්ථයයි. ජලිතානුභාවා = හැම අයුරින්ම බබලන පුණ්‍ය සෘද්ධිය.
කුමක් හෙයින් මෙහිදී ‘මනුස්ස භුතා කිමකාසි පුඤ්ඤං’ (මනුෂ්‍ය ස්ත්‍රියක වූවා කවරනම් පිනක් සිදු කෙළෙහිද?) යයි කියන ලද්දේ ද, කිම අන්‍ය වූ භවයන්හි පින් කිරීමක් නැත්තේ ද යත්, නැත්තේ නොවේ. යම් අවස්ථාවලදී නිරයෙහිද, කාමාවචර කුසල් සිත් පහළවීම සිදුවන්නේමය. එසේනම් අන්තැන්හි කෙසේනම් නො සිදුවේද? දුටු දෙය සමග ගලපා බැලීම සඳහා ප්‍රශ්න කෙරෙන බව අපි නො කීවෙමුද? කීවෙමු. එහෙයින් මහතෙරුන් වහන්සේ ඒ දේවතාවිය පෙර මනුෂ්‍ය ආත්මයේ සිට පින්කම් කොට දෙව්ලොව උපන් බව දැක දැකම පෙර විසූ භවය පිළිබඳව විමසන්නාහු ‘මනුස්ස භුතා කිමකාසි පුඤ්ඤං’ යි කීහ.
නැතහොත් අන්‍ය වූ භවයන්හිදී ඒකාන්ත සැප ඇති බැවින්ද, ඒකාන්ත දුක් ඇති බැවින් ද, නැතහොත් දුක් බහුලව ඇති බැවින්ද පින් කිරීම පිණිස අවකාශ සුලභ නොවේ. සත්පුරුෂ ආශ්‍රය ආදී හේතූන්ගේ එක්රැස් වීම අඩු බැවින් කිසිවිටෙක එබඳු තැනක උපදින්නේ නමුදු කරුණු කියූ පරිදිම එම උපත උදාර හෝ උසස් හෝ නොවේ. මනුෂ්‍ය ස්වභාවයෙහි වනාහී සැප බහුල බැවින් පින් කිරීම පිණිස අවකාශ සුලභ වේ. සත්පුරුෂ ආශ්‍රය ආදී හේතූන්ගේ එක්රැස් වීම බෙහෙවින් සුලභ බැවින් යම්කිසි දුකක් ඇතිවේනම් එයද විශේෂයෙන් පින් කිරීම සඳහාම හේතුවක් වන්නේය. ‘දුක්‍ඛූප නිසා සද්ධා’ (දුක ශ්‍රද්ධාවට හේතුවේ) යයි කියන ලද්දේ වෙයි. යම්සේ වනාහී ඝන යකඩයකින් ආයුධයක් නිපදවනු ලබන කල්හි ගින්නෙහි තැවීම හෝ ජලයෙන් තෙමීම ස්ථිර වශයෙන්ම එය බිඳ දැමීම පිණිස පවත්නා විශේෂ හේතුවක් වන්නේ නැත. එහෙත් ගින්නෙහි තැවීම සිදුකොට නියමිත ප්‍රමාණයකට අනුව ජලයෙන් තෙමීම එම යකඩයෙහි බිඳීමට විශේෂ හේතුවක් වන්නේය. එසේම සත්ත්වයාගේ සිතේ ඒකාන්ත වශයෙන් දුක් ඒකරාශී වීම ද, දුක් බහුලවීම ද, ඒකාන්ත වශයෙන් සැපයම ඒකරාශී වීම ද පින් කිරීම සඳහා විශේෂයෙන් හේතු වන්නේ නොවේ. දුක තැවීම ද ප්‍රමාණයකට අනුව සැප ලැබීම ද ඇති කල්හි ලබා ඇති ආශ්‍රයෙන් ද පුණ්‍ය ක්‍රියාවන් උපදී. ඒ උපදිනා පින්කම් ද මහත් දීප්තියක් සහ බැබලීමක් ගෙන දෙන්නාක් මෙන්ම ප්‍රතිපක්‍ෂ අදහස් සිඳලීමෙහි ද සමත් වේ. එහෙයින් මනුෂ්‍යයකු වීම පින් කිරීම සඳහා විශේෂයෙන් හේතු වේ. එහෙයින් ‘මනුස්ස භුතා කිමකාසි පුඤ්ඤං’යි මුගලන් මහතෙරුන් විසින් දේවතාවියට කියන ලදී. සෙසු කොටස් පහසුවෙන් අවබෝධ කරගත හැක්කේමය.
මෙසේ තෙරුන් වහන්සේ විසින් ප්‍රශ්න කරන ලද ඒ දේවතාවිය ප්‍රශ්නය පිළිතුරු දුන්නාය. ඒ කරුණ දක්වනු පිණිස මේ ගාථාව කියන ලදී.
සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා
පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලන්ති
මුගලන් මහතෙරුන් වහන්සේ විසින් විමසන ලද්දා වූ, ප්‍රශ්න කරනු ලැබුවා වූ (එහෙයින්ම) සතුටට පත්වූ ඒ දෙව් දූ තොමෝ මෙම ඵලය කවර නම් කර්මයක්හුගේ දැයි යන ප්‍රශ්නයට පිළිතුර ප්‍රකාශ කළාය.
මේ ගාථාව කවරකු විසින් කියන ලද්දේ ද? ධර්ම සංගායනා කාරක තෙරවරුන් විසිනි. එහි සා යනු ‘පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ’ (=මහානුභාව සහිත දේවතාවියනි, ඔබගෙන් විමසමි) යනුවෙන් යම් තැනැත්තියකට කියන ලද්දේ නම් ‘සා’ යනු ඒ තැනැත්තියයි. දේවතා යන්නෙන් දේව පුත්‍රයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ දෙව්දුවක් හෝ කියනු ලැබේ. ‘අථඛො අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්ත වණ්ණා’ (එකල්හි වනාහී මනා වර්ණයෙන් යුත් එක්තරා දේවතාවෙක් රෑ පෙරයම ඉකුත් වූ පසු) යන ආදියෙහිදී ‘දෙවො යෙව දෙවතා’ යනුවෙන් පද සිද්ධකොට ‘දෙවතා’ යන්නෙන් දේව පුත්‍රයෙක් කියන ලදී. එසේම ‘තා දෙවතා සත්ත සතා උළාරා බ්‍රහ්ම විමානා අභික්‍ඛ මිත්‍වා (=සත්සියයක් වූ එම ක්‍රමයෝ උතුම් ක්‍රම විමානයෙන් පිටත් වී) යන ආදී තැන්හිදී ‘දෙවතා’ යනුවෙන් බ්‍රහ්මයෝ කියන ලදහ.