8. කච්චාන සූත්‍ර වර්ණනාව
අටවැන්නෙහි අජ්ඣත්තං යන මෙහි මෙම අජ්ඣත්ත ශබ්දය ඡ අජ්ඣත්තිකානි ආයතනානි ආදීන්හි අජ්ඣත්තජ්ඣයෙහි ආයේය. අජ්ඣත්තා ධම්මා අජ්ඣත්තංවා අජ්ඣත්තංවා කායෙ කායානුපස්සී යනාදීන්හි ස්වකීය අධ්‍යාත්මයෙහි, සබ්බ නිමිත්තානං අමනසිකාරා අජ්ඣත්තං සුඤ්ඤතං උපසම්පජ්ජ විහරති ආදීන්හි විෂයධ්‍යාත්මයෙහි ඓශ්වර්යය ස්ථානයෙහි යැයි අර්ථයි. ඵල සමවත් වනාහි බුදුවරුන්ගේ ඓශ්වර්ය ස්ථාන නමැ. තෙනාන්‍ද භික්ඛුනා තස්මිං යෙව පුරිමස්මිං සමාධි නිමිත්තෙ අජ්ඣත්තමෙව චිත්තං සණ්ඨපෙතබ්බං ආදීන්හි ගොචරධ්‍යාත්මයෙහිම දතයුතුය. මෙහිද ගෝචරධ්‍යාත්මයෙහිම දතයුතුය. එහෙයින් අජ්ඣත්තං යනු ගෝචරධ්‍යාත්ම වූ කමටහන් අරමුණෙහි යැයි යූ.සේයි. පරිමුඛං යනු අබිමුව සුපට්ඨිතාය යනු මනාව එළවන ලද කය අනුව ගිය සිහියෙන්, මෙහි සති ශීර්ෂයෙන් ධ්‍යානය යූ.සේයි. මෙය යූ.සේයි. අධ්‍යාත්ම කය අනුව බැලීම් සිහිය පිහිටුවීම් වශයෙන් මනාව ලබන ලද උදාර ධ්‍යානයට සමවැද
මෙම තෙරහු භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වැඩවාසය කරන කල්හි, එක් දිනක් සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත, පිණ්ඩපාතයෙන් පෙරළා පැමිණියේ, වෙහෙරට පිවිස භාග්‍යවතුන් වහන්සේට වත් දක්වා, දිවාස්ථානයෙහි දිවා විහරණය සඳහා වැඩහුන්නේ නොයෙක් සමාපත්තීන්ගෙන් දහවල් කාලය ඉක්මවා සවස් කලැ විහාර මධ්‍යයට බැස භාග්‍යවතුන් වහන්සේ ගඳකිළියෙහි වැඩහුන්නේ, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹීමට තවමත් නොකල්යයි ගඳකිළියට නුදුරෙහි, එක්තරා රුක්මුලෙකැ කල් පිරිසිඳීම කොට කියන ලද සමවතට සමවැද හුනි. ශාස්තෲන් වහන්සේ එසේ හුන්නහු, ගඳකිළියෙහි වැඩහුනුයේම දිටි සේක. එහෙයින් තෙන ඛො පන සමයෙන ආයස්මා මහා කච්චායනො -පෙ- සුපට්ඨිතායායි යූ.සේයි.
එතමත්‍ථං විදිත්‍වා යනු ආයුෂ්මත් මහාකච්චායන තෙරුන්ගේ එම සතිපට්ඨාන භාවනා වශයෙන් අවබෝධ කළ ධ්‍යානය පාදකකොට, සමවැදීම සර්වාකාරයෙන් දැන එකරුණ පැහැදිලි කිරීමට මෙඋදන් ඇනූ සේක.
එහි යස්ස සියා සබ්බදා සති සතතං කායගතා උපට්ඨිතා යනු යම් ආරබ්ධ විදර්ශකයෙකු හට එක්දිනක් කොටස් සයක් කොට, සියලුම කල්හි නාමරූප භේදයෙන් දෙවැදෑරුම් වූද, ශරීරය පිළිබඳ, ශරීරය අරමුණුකොට පස්වැදෑරුම් උපාදාන ස්කන්ධයන්ගේ අනිත්‍යාදී මෙනෙහි කිරීම් වශයෙන් නිතර, නිරන්තරයෙන් සත්‍යාවබෝධයෙහි යෙදෙන්නාක් මෙන්, සිහිය එළැඹ සිටියේ වේද?
මේ ආයුෂ්මත් තෙමේ, ශරීරය පිළිබඳ සිහිය පැවැත්වීමේ කමටහන් වශයෙන් ධ්‍යාන උපදවා, එය පාදක කොට කායානුපස්සනා සීවටන් මුවින් විවසුන් පිහිටුවා අර්හත්වයට පැමිණියේය. හෙතෙම පසුකල්හිද බොහෝසෙයින් එම ධ්‍යානයට සමවැද නැගිට එසේම විදර්ශනා කොට ඵල සමවතට සමවදියි. ඒ මෙම ආයුෂ්මත් තෙමේ යම් ආකාරයකින් අර්හත්වයට පැමිණියේද, එම ක්‍රමය දක්වන්නා වූ ශාස්තෲන් වහන්සේ ‘යමෙකුට හැමවිටම කායගතා සතිය එළඹ සිටින්නේ වේදැ’යි වදාරා එහි වැටහෙන ආකාරය පැහැදිලි කරන්ට, නො චස්ස නොච මෙසියා න භවිස්සති නච මෙ භවිස්සති යි වදාළේය.
එහි අර්ථය දෙ අයුරකින් දතයුතුය. සම්මර්ශනයෙන්, පූර්වභාග වශයෙන් හා සම්මර්ශන කාල වශයෙනි. ඒවාහි පූර්වභාග වශයෙන් පළමුව, නොචස්ස නොච මෙ සියා යනු අතීත කාලයෙහි ක්ලේශ කර්ම මා හට නො චස්ස නොවී නම්, මේ වත්මන් කලැ මෙම ආත්මභාවය නොචමෙසියා මට නූපදින්නේය. යම්හෙයකින් මා හට අතීත කර්මක්ලේශ වූහුද, එහෙයින් ඒ නිමිතිකොට දැන් මා හට මෙම ආත්මභාවය පවතියි. න භවිස්සති නච මෙ භවිස්සති යනු මේ අත්බැව්හි ප්‍රතිපක්‍ෂතා පහවීමෙන්ම ක්ලේශ කර්ම නොවන්නේය. නූපදින්නේය. මත්තෙහි විපාක වට මා හට නොවන්නේය. මට නො පවතින්නේය. මෙසේ කාලත්‍රයයෙහි මා හට මේ කර්ම ක්ලේශ හේතුවෙන් හටගත් ආත්මභාව සංඛ්‍යාත ස්කන්ධ පංචකය හටගති. ඊශ්වර නිර්මාණ වශයෙන් නොවේ. මට යම්සේද සියලු සත්ත්වයින්ට එසේයයි ප්‍රත්‍යය සහිත නාමරූප දර්ශනය ප්‍රකාශකරන ලද්දේ වේ.