සම්මර්ශන කාල වශයෙන් වනාහි නො චස්ස නොච මෙ සියා යනු යම්හෙයකින් මෙම ස්කන්ධ පංචකය හටගෙන පැවත නොවීම් (නොපැවතීම්) අර්ථයෙන් අනිත්‍යය. නිතර තදින් පීඩා කරන අර්ථයෙන් දුක්ය. තම වසයෙහි නොපවත්නා අර්ථයෙන් අනාත්මයි. මෙය ස්කන්ධ පංචකයෙන් නිදහස් වූයේ නොවේ. ඉදින් එය එසේනම් මෙය ආත්මය නම් වේද, නොවේමය. කිසිවක් නො චස්ස නොවන්නේය. මෙසේ ඇතිකල්හි, නොච මෙ සියා මා සතු කිසිවක් නොවන්නේය. න භවිස්සතීති තමා කෙරෙහිම විය යුතුය. යම්සේ මෙම නාමරූප වත්මනැ පවතීද? අතීතයෙහිද ආත්මනීයත්වයෙන් ශූන්‍යය. මෙසේ නොවන්නේය. න මෙ භවිස්සති අනාගතයෙහිද ස්කන්ධ විනිර්මුක්ත ආත්මයක් නම් කිසිවෙකුටත් නොවන්නේය. මට හටද නොවන්නේය. නොපවතින්නේය. ඉක්බිති මෙසේ කිසි පළිබෝධ හේතුවක් මා හට නොවන්නේය. මත්තෙහිද ආත්මනීය නම්වූ කිසිවක් මා හට නොවන්නේ යයි මින් තෙකල්හි ගතයුතු දැයක අභාව හෙයින් මාගේ යයි ගතයුතු දැයක අභාවය දක්වයි. ඉන් සිව්කොන් ශූන්‍යතාවය ප්‍රකාශ කරන ලද්දේ වේ.
අනුපුබ්බ විහාරි තත්‍ථසො යනු මෙසේ තෙකල්හිම ආත්ම, ආත්මනීය ශූන්‍යතාවයෙහි පිහිටි සංස්කාරගතයන් මනාව බලනුයේ, අනුක්‍රමයෙන් උදයව්‍යය ඥානාදී විදර්ශනා ඥානයන් උපදනා කල්හි අනුපූර්ව විදර්ශනා විහාර වශයෙන් අනුපූර්ව විහාරයෙක් වූයේ, කාලෙනෙව තරෙ විසත්තිකං යනු මෙසේ විදර්ශනාව මස්තකප්‍රාප්ත කොට සිටි එම යෝගාවචර තෙමේ ඉන්‍ද්‍රිය මුහුකුරා ගියකල්හි, වුට්ඨානගාමිනී විදර්ශනාවෙන් මාර්ගයෙන් උගුලුවා නොදැමූ කල්හි, ආර්ය මාර්ගෝත්පත්ති කල්හි සියලු භවත්‍රයයාගේ බැමි තුනීකරන හෙයින් විසත්තිකා සංඛ්‍යාත තෘෂ්ණාව තරණය කරන්නේය. මනාව තරණය කොට පරතෙර සිටින්නේ යයි අදහසයි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ රහත් බව දැක්වීමෙන් ආයුෂ්මත් මහා කච්චායන තෙරුන්ගේ අර්හත්වෝත්පත්ති සඳහා මෙඋදන් ඇනූ සේක.
අටවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
9. උදපාන සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි මල්ලෙසු යනු මල්ල නම් ජනපදවාසී රජ කුමාරවරු, ඔවුන්ගේ නිවාසය වූ එකම ජනපදය, ආරෝපනය අනුව මල්ලයැයි කියයි. එම මල්ල ජනපදයෙහි ලෝකයෙහි යමක් මල්ලයැයි කියයිද එයයි. සමහරු වනාහි මාලයන්හි යයිද කියවති. චාරිකං චරමානො යනු ඉක්මන් නොවූ චාරිකා වශයෙන් මහා මණ්ඩල දනව් සැරියෙහි සරනුයේ, මහතා භික්ඛු සංඝෙන යනු නොපිරිසිඳි ගණනින් යුත් මහත් ශ්‍රමණ ගණයා විසින්, එකල්හි භාග්‍යවතුන් වහන්සේට මහා භික්‍ෂු පිරිවරක් වූයේය. ථූනං නාම මල්ලානං බ්‍රාහ්මණ ගාමො යනු නැගෙනහිර හා දකුණු දිසාවට මධ්‍යම දේශයට සීමා ස්ථානයෙහි ථූන නමැති බ්‍රාහ්මණයන් බහුල හෙයින් එම බමුණුගම, තදවසරි, එහි වැඩවදාළ සේක. ථූන නම් මාර්ගයට සම්ප්‍රාප්ත වීයයි අර්ථයි. අස්සොසුං යනු ඇසූහ. ශ්‍රෝතද්වාර සම්ප්‍රාප්ත වචන ඝෝෂා අනුසාරයෙන් දැනගත්හයි අර්ථයි. ඛො යනු පද පූරණයෙහි නිපාතයි. අවධාරණාර්ථයෙහි හෝ නිපාතයි. එහි අවධාරණාර්ථයෙන් ඇසුවෝමහුය. ඔවුන්ට ශ්‍රවණාන්තරායයක් නොවීය. පද පූරණයෙන් පද බ්‍යඤ්ජන සිලිටිභාව මාත්‍රයමය. ථූණෙය්‍යතා යනු ථූන නම් ගම්වාසීහු, බ්‍රාහ්මණ ගහපතිකා යනු මෙහි වේදය හදාරත් නුයි බ්‍රාහ්මණායි. මන්ත්‍ර සජ්ඣායනා කරත් යයි අර්ථයි. මෙය වනාහි උපතින් බ්‍රාහ්මණයන්ගේ යනු නිර්වචනයයි. ආර්යයෝ වනාහි බහා තැබූ පාප හෙයින් බ්‍රාහ්මණ යැයි කියති. ගහපතිකා යනු ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණයන් හැර යම්කිසි ගිහිගෙය මධ්‍යයෙහි වසන්නවුන් කියති. විශේෂතාවෙන් වෛශ්‍යයෝයි. බ්‍රාහ්මණයෝ ද ගෘහපතීහු ද බ්‍රාහ්මණ ගහපතිකායි.
දැන් මෙහි යමක් ඔව්හු ඇසූහුද එය දක්වන්ට සමණො ඛලුභො ගොතමො යනාදිය යූ.සේයි. එහි සන්සිඳවන ලද පාප හෙයින් ශ්‍රමණයයි දතයුතුය. ඔහුගේ පාපී අකුසල ධර්ම සංසිඳවන ලද්දේ වේ ආදිය යූ.සේයි. භාග්‍යවතුන් වහන්සේද, ඉතා උතුම් ආර්ය මාර්ගයෙන් සර්වප්‍රකාරයෙන් සන්සිඳවන ලද පව් ඇත්තේය. එහෙයින් එතුමාණන් වහන්සේට සත්‍ය වූ ගුණ අවබෝධ කරන ලද හෙයින් යම් මේ ශ්‍රමණයැයි නාමයක් වේද එය යෙදේ. ඛලු යනු අනු සුවාර්ථයෙහි නිපාතයි. භො යනු බ්‍රාහ්මණ ජාතිකයින්ට උපතින් හටගත් ඇමතීම් මාත්‍රයකි. හෙතෙම භොවාදී නම් වේ. ඉදින් වේද ඇලීම් සහිතව වේයයි යූ.සේයි. ගොතමො යනු ගෝත්‍ර වශයෙන් භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කිරීමයි. එහෙයින් සමණො ඛලු භො ගොතමො යනු ශ්‍රමණයන් වහන්සේ වනාහි පින්වත් ගෞතමයාණෝ යයි මේ මෙහි අර්ථයයි. සක්‍යපුත්තො යනු මෙය වනාහි භාග්‍යවතුන් වහන්සේගේ උසස් කුලය විදහා දැක්වීමයි. සක්‍යකුලා පබ්බජිතො ශ්‍රද්ධාවෙන් පැවිදි වූ බව දැක්වීමයි. සමහරු වස්තුව අහිමිවීමෙන් නොමඬනා ලද්දේ, වස්තුව ක්‍ෂය නොවූයේම එම කුලය අත්හැර නෛෂ්ක්‍රම්‍යය අවබෝධ කිරීම සඳහා ශ්‍රද්ධාවෙන් පැවිදි වූයේ යයි යූ.සේයි. උදපානං තිණස්සච භුසස්සච යාව මුඛතො පූරෙසුං යනු ජල පානය කරන ළිඳ, තණකොළිනුත් පිදුරුවලිනුත් මුවවිට තෙක්ම වැඩූහ. තෘණාදිය බහා ළිඳ වැසූහයි අර්ථයි.
එම ගමට පිටතින් භාග්‍යවතුන් වහන්සේ මඩනා මගෙහි බමුණන්ගේ පරිභෝජන සඳහා වූ එක් ළිඳක් වූයේය. එය හැර එහි සියලු ළිං වැව් ආදී දිය පවත්නා ස්ථාන එකල් වියලුනාහු දිය රහිත වූහ. එකල්හි තෙරුවන්හි නොපහන් මසුරු ප්‍රකෘතික ථූනෙය්‍යකයින් භාග්‍යවතුන් වහන්සේගේ වැඩම කිරීම අසා, ඉදින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙගමට පිවිස දෙතුන් දිනක් වාසය කරන්නේ නම් මෙම සියලු ජනතාව තම වදන්හි තබන්නේය. ඉක්බිති බමුණු දහම පිහිටීමක් නොලබන්නේය. එහි භාග්‍යවතුන් වහන්සේගේ නොවිසීම සඳහා උත්සාහ කරනුයේ. මෙගමැ අන් තන්හි දිය නැත. මෙම ළිඳ පරිභෝග කළ නොහැක්කක් කරන්නෙමු. මෙසේ කල්හි ශ්‍රාවක සංඝයා සහිත ගෞතමයන් වහන්සේ මෙ ගමට නොපිවිසෙන්නේ යයි සම්මන්ත්‍රණය කොට සත්දිනකට දිය ගෙන සැළි ආදිය පුරවා ළිඳ, තෘණයෙන්ද, පිදුරුවලින්ද වැසූහ. එහෙයින් උදපානං තිණස්සච භුසස්සච යාව මුඛතො පූරෙසුං මා තෙ මුණ්ඩකා සමණකා පානීයං අපංසූති යි යූ.සේයි.
එහි මුඩු කළ අය අතර මුඩුකළ, ශ්‍රමණයන් අතර ශ්‍රමණයැයි කියන්ට වටනේය. අවමන් කිරීමේ අදහසින් පහත්කොට සිතන්නාහු මෙසේ කීහ. මා යනු ප්‍රතිෂේධාර්ථයෙහිය. නොබොත්වායි අර්ථයි. මග්ගා ඔක්කම්ම යනු මාර්ගයෙන් ඉවත්ව, එතම්හා යනු යම් ළිඳක් ඔවුන් විසින් එසේ කරන ලදුයේද එම ළිඳම දක්වනුයේ වදාළහ. කිමෙක්ද එම බමුණන්ගේ එම විකෘති ක්‍රියාව ආවර්ජනය නොකොට එම ළිඳෙන් දිය ගෙන එවයි එසේ වදාළ සේක්ද, නොහොත් ආවර්ජනය කොට දනුයේම වදාළේද? භාග්‍යවතුන් වහන්සේ දනුයේම තම බුද්ධානුභාවය ප්‍රකාශකොට ඔවුන් දමනය කොට, නිහතමානී කරන්ට එසේ වදාළහ. පැන් පානය කරනු කැමැත්තේ නොවේ. එහෙයින්ම මෙහි මහා පරිනිර්වාණ සූත්‍රයෙහි මෙන් පිපාසිත වූයෙමිහි නො යූ.සේයි. ධර්ම භාණ්ඩාගාරික තෙම ශාස්තෲන් වහන්සේගේ අදහස නොදන්නේ, ථූනෙය්‍යක බ්‍රාහ්මණයින් විසින් කරන ලද විකාරය කියනුයේ, ඉදානි සො භන්තෙ යනාදිය කීය.