එහි එක භත්තං යනු ඒකභක්තිකයෙක් වේ. රාත්‍රී භෝජනයෙන් වෙන්වූයේ, නොකල්හි භෝජනයෙන් වෙන්වූයේ වේ. මෙසේ කියන ලද නොකල් බිඳීමෙන් වැළැක්ම සඳහා කියයි. එකසෙය්‍යං යනු දෙවැන්නෙක් රහිත සයනය. මෙහිද සයන ශිර්ෂයෙන් ‘එකෙක් සිටියි. එකෙක් යයි. එකෙක හිඳියි ආදී ක්‍රමයෙන් කියන ලද සිව් ඉරියාපථයන්හි කාය විවේකය දක්වයි. හුදෙකලා වී සයන මාත්‍රය නොවේ. බ්‍රහ්මචරියං යනු මෛථුන විරති බ්‍රහ්මචර්යයයි. ශික්‍ෂාත්‍රයයෙහි යෙදීම් සංඛ්‍යාත සාසන බ්‍රහ්මචර්යය හෝ වේ. ඉංඝ යනු චෝදනාර්ථයෙහි නිපාතයි. තත්‍ථෙව යනු ගෘහයෙහිම, බුද්ධසාසනං අනුයුඤ්ජ නිත්‍ය සීල උපෝසථ සීලාදී භේද වූ, පංචාංග - අෂ්ඨාංග දසංග සීල හා එයට සුදුසු සමාධි ප්‍රඥා භාවනායෙහිම යෙදෙව. එය වනාහි උපාසකයා විසින් පූර්වභාගයෙහි යෙදිය යුතු බුදුසසුන් නමැ. එහෙයින් කාලයුත්තං එකභත්තං එකසෙය්‍යං බ්‍රහ්මචරියං යි වදාළහ.
එහි කාලයුත්තං යනු තුදුස්වක, පසලොස්වක, අටවක (අමතර නිවාඩු දිනයන්හි) පුරාණ උත්සව පවත්වන කාල සීමාවන්හි ඇතුලත් කාලයෙන් යුත් කියන ලද කාලයෙහි හෝ නුඹට එසේ යෙදීම යෝග්‍යයයි. සුදුසුයි. හැකිවන්නේය. හැමකල්හි පැවිදි නොවිය යුතුයයි අර්ථයි. ඤාණයාගේ නොමේරූ හෙයින්, ඔහුට කාමයන් ප්‍රහාණය දුෂ්කර හෙයින්ද මනා ප්‍රතිපත්තියෙහි යෙදවීම කරවීමට කියයි. ප්‍රවෘජ්‍යා කැමැත්ත වැළැක්වීමට නොවේ. පබ්බජ්ජාභි සංඛාරො යනු පැවිදිවීමට පටන්ගැන්ම, උත්සාහය පටිප්පස්සම්හි යනු ඉන්‍ද්‍රියයන්ගේ නොමේරූ බැවින්, සංවේගයෙහිද ඉතා තීක්‍ෂණ භාවයක් නුවූ හෙයින් සන්සිඳිණ. කෙසේ හෝ සන්සිඳිණ. තෙරුන් විසින් කියන ලද ක්‍රම අනුව සිටිනුයේ, කලින් කල තෙරුන් කරා එළැඹ, ඇසුරු කරනුයේ දහම් අසයි. ඔහුට කියන ලද ක්‍රමයෙන්ම දෙවනුවද පැවිද්ද සඳහා සිතක් උපනි. එය තෙරුන්ට සැළ කළේය. දෙවනුවද තෙරුන් එය ප්‍රතික්‍ෂේප කළේය. තෙවන නුවණ මුහුකුරා ගිය බව දැන දැන් ඔහු පැවිදි කරන්ට කාලය යැයි සලකා තෙරහු ඔහු පැවිදි කළේය. පැවිදි වූවාහු වනාහි තෙවසරක් ඉක්මවා (උපසම්පදා විනය කර්මයට අවශ්‍ය) ගණය සොයා උපසම්පදා කරවිය. ඒ සඳහා දුතියම්පි ඛො සොණො -පෙ- උපසම්පාදෙසියි යූ.සේයි.
එහි අප්පභික්ඛුකො යනු ස්වල්ප භික්‍ෂූහු. එකල්හි භික්‍ෂූහු බොහෝසෙයින් මධ්‍යම දේශයෙහිම විසූහ. එහෙයින් එහි කිහිප දෙනෙක්ම වූහ. ඔවුහුද එක් නියම්ගමක එකෙකි. එක් නියම්ගමක දෙදෙනෙකියි මෙසේ වෙන් වෙන්ව විසූහ. කිච්ඡෙන යනු දුකින්, කසිරෙන යනු ආයාසයෙන්, තතො තතො යනු ඒ ඒ ගම් නියම්ගම් ආදියෙන් තෙරුන් විසින්, භික්‍ෂූන් කිහිප දෙනෙකු ගෙනවුත්, අනෙක් අය ගෙන එනු ලබන කල්හි පෙර ගෙන එන ලද්දවුන් කිසියම් කළයුතු දෙයක් සඳහා පිටත්ව ගියහ. ටික කලක් බලාපොරොත්තු වී නැවැත ඔවුන් ගෙන එනු ලබන කල්හි අනෙක් අය ගියහ. මෙසේ නැවත නැවත ගෙන ඒමෙන් එක්වීමෙන් ප්‍රමාදව වූයේය. තෙරහුද එකල්හි තනිව වස්නේ විය. දසවග්ගං භික්ඛු සංඝං සන්නිපාතෙත්‍වා යනු එකල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රත්‍යන්ත දේශයෙහිද දස වාර්ගික සඟනයෙන් උපසම්පදාව අනුදැන වදාළ සේක. මෙය හේතුකොට තෙරුන් විසින් අයදින ලදුයේ පස් වග සඟනයෙන් ප්‍රත්‍යන්ත දෙස්හි උපසම්පදාව අනුදැන වදාළේය. එහෙයින් තිණ්ණං වස්සානං -පෙ- සන්නිපාතෙවොයි යූ.සේයි.
වස්සං ඵුත්‍ථස්ස යනු උපසපන්වැ පළමු වස එළැඹ, වස් වැස නිමවූයේ, ඊදිසො ඊදිසො චාති යනු මෙබඳු වූ නාමකාය රූපකාය සම්පත්තියෙන් යුක්ත වූයේයැයි සුතො ස්වෙ මෙ සො භගවා න ඛො සො භගවා සම්මුඛා දිට්ඨො යනු ඉන් පෘථග්ජන භාවය සඳහා, මෙසේ ආයුෂ්මත් සොණ භාග්‍යවතුන් වහන්සේ දක්නා කැමැති වූයේ යැයිද පසුකල්හි වනාහි ශාස්තෲන් වහන්සේ සමග එක් ගඳකිළියෙහි වැස ඉතා අලුයම් කල්හි ආරාධනා ලැබූයේ සොළොස්, අෂ්ඨක වර්ගයන් ශාස්තෲන් වහන්සේ හමුයෙහි මනාසේ මෙනෙහි කොට, මෙනෙහි කොට සියල්ල සිතින් එක් අරමුණක පිහිටුවා, අර්ථ, ධර්ම ප්‍රතිසංවේදීව, දෙසනුයේ ධර්ම ස්පර්ශයෙන් හටගත් ප්‍රමොද්‍යාදී සුවයෙන් තැන්පත් වූයේ, හඬ නගා කීම් අවසානයෙහි විදර්ශනා පිහිටුවා සංස්කාරයන් සම්මර්ශනය කරනුයේ පිළිවෙලින් අර්හත්වයට පැමිණියේය. මේ සඳහාම මොහුට භාග්‍යවතුන් වහන්සේ සමග එක් ගඳකිළියෙහි වාසය අරඹන ලදැයි කියති.