2. උද්ධත සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි කුසිනාරායං යනු කුසිනාරා නම් මල්ල රජවරුන්ගේ නගරයෙහි, උපවත්තනෙ මල්ලානං සාලවනෙ යනු අනුරාධපුරයට ථූපාරාම යම්සේද? එසේම කුසිනාරාවෙහි උයන දකුණු- බස්නාහිර දිසාවෙහි වේ. යම්සේ ථූපාරාමයෙහි දකුණු දොරින් නුවරට පිවිසෙන මාර්ගය නැගෙනහිර අභිමුඛව ගොස් උතුරෙන් නවතියි. මෙසේ සල්ගස් පෙළ දිසාභිමුඛව ගොස් උතුරින් නැවතිනි. එහෙයින් උපවර්තනයයි කියයි. ඒ උපවර්තන නම් මල්ල රජවරුන්ගේ සල්වනයෙහි, අරඤ්ඤ කුටිකායං යනු සල්ගස් පෙළට නුදුරෙහි වෘක්‍ෂ හා පඳුරුවලින් වැසුන කරන ලද කුඩා කුටියෙහි, ඒ සඳහා අරඤ්ඤ කුටිකායං විහරතියි යූ.සේයි. එම භික්‍ෂූහු වැටහීම් විරහිත වූවාහු හැරදමන ලද වීර්ය ඇත්තාහු. ප්‍රමාද විහාරීහුය. එහෙයින් උද්ධතා ආදිය යූ.සේයි.
එහි නොසන්සුන් බව බහුල හෙයින්, නොසන්සුන් සිතැති හෙයින් නොසන්සුන් වූවාහු, හිස් බැවින් මානය නළයක් මෙනැයි තළයි. මාන සංඛ්‍යාත උස්ව නැගි නළ ඔවුන්ටනුයි උන්නළායි. උස්ව නැගි හිස් මානය යැයි අර්ථයි. පා සිවුරු සැරසීම් ආදී වූ චපල බැවින් යුක්ත වූ හෙයින්ද බහුලව යෙදුන හෙයින් චපලායි. ඵරුස වචන හෙයින් මුඛයෙන් රළු වූයේනුයි මුඛරායි. තිරිසන් කථා බහුල බැවින් පැතිරුණි. ව්‍යාකූල වචන ඔවුන්ටනුයි විකිණ්ණ වාචායි. මුළා වූවාහු හට සිහි ඔවුන්ටනුයි මුට්ඨස්සතිනොයි. සිහි විරහිත වූවාහු ප්‍රමාද විහාරීහුයයි අර්ථයි. සියල්ලෙන් සියල්ල විමසන නුවණ අභාවයෙන් අසම්පජානායි. තන පුඩුව වරක් ඉරීම තරම් කාලයක් සිත එකඟ කිරීමෙහි යෙදීමක් නොමැති හෙයින් සමාහිත නොවූයේනුයි අසමාහිතායි. ලොල් ස්වභාව හෙයින් කම්පිත මුවන් හා සමාන ස්වභාව හෙයින් විබ්භන්ත චිත්තායි මනස සවැනි කොට ඇති ඉන්‍ද්‍රියයන්ගේ අසංවරණයෙන් අසංවර ඉන්‍ද්‍රියතාව හෙයින් පාකතින්‍ද්‍රියායි.
එතමත්‍ථං විදිත්‍වා යනු එම භික්‍ෂූන්ගේ උද්ධච්ච ආදී වශයෙන් ප්‍රමාද විහරණය දැන, ඉමං උදානං යනු මෙම ප්‍රමාද විහරණයෙහිද, අප්‍රමාද විහරණයෙහිද, පිළිවෙලින් ආදීනව හා ආනිසංස පැහැදිලි කිරීමට උදන් ඇනූ සේක.
එහි අරක්ඛිතෙන යනු සිහිය නමැති ආරක්ෂාව අභාවයෙන් නොරක්නා ලද. කායෙන යනු ෂට් විඤ්ඤාණ කයින්, චක්‍ෂුර් විඤ්ඤාණයෙන් රූපයක් දැක, එහි නිමිති අනුව්‍යංජන ගැනීම් වශයෙන්, විඤ්ඤාණ ද්වාරයාගේ අභිධ්‍යාදී වශයෙන් පවත්නා තත්ත්වයන්හිදී, සිහියෙන් නො රක්නා හෙයින්, ශ්‍රොත විඤ්ඤාණාදීන්හිද එම ක්‍රමයමැයි. මෙසේ ෂට් විඤ්ඤාණ කායයාගේ නොරක්නා ලද බව සඳහා වදාළහ. අරක්ඛිතෙන කායෙන යැයි. සමහරු වනාහි කායෙන යැයි අර්ථ කියති. ඒවාටද කියන ලද ක්‍රමයෙන්ම අර්ථ යෙදීම ඇතිකල්හි යෙදෙන්නේය. අනෙක් අය අරක්ඛිතෙන චිත්තෙන යැයි කියති. ඒවාටද කියන ලද ක්‍රමයම අර්ථයි. මිච්ඡා දිට්ඨිගතෙන යනු ශාස්වතාදී මිථ්‍යාදෘෂ්ටීන්හි පිහිටුවීම් වශයෙන්, ථීනමිද්ධාභි භූතෙන යනු සිතෙහි අකර්මණ්‍යතා ලක්‍ෂණය වූ ථීනයෙන්ද, කයෙහි අකර්මණ්‍යතා ලක්‍ෂණය වූ මිද්ධයෙන්ද වසා පැතිර සිටීමෙන්, එම කයින් සිතින් යයි සම්බන්ධයයි. වසං මාරස්ස ගච්ඡති යනු ක්ලේශ මාරාදි වූ සියලුම මාරයින්ට සිතැඟි පරිදි කටයුතු කළහැකි තත්ත්වයට එළැඹේ. ඔවුන්ගේ විෂය පථය නොඉක්මවතියි අර්ථයි.
මෙම ගාථාවෙන් භාග්‍යවතුන් යම්කෙනෙක් සිහිය නමැති ආරක්ෂකයාගේ අභාවයෙන් සර්වප්‍රකාරයෙන් නොරක්නා ලද සිතැතියේ, මනා නුවණින් මෙනෙහි කිරීමට හේතු වූ ප්‍රඥාවගේ අභාවයෙන් නුනුවණින් කිඳාබැසීම් වශයෙන් අනිත්‍යයෙහි නිත්‍යයැයි ආදී වශයෙන් විපරීතග්‍රාහී වූයේ, එයින්ම කුසල් ක්‍රියාවන්හි, වීර්ය ඇරඹීම් අභාවයෙන් කුසීතකමින් මඬනා ලදුයේ සංසාර වෘත්ත දුකින් හිස නොඔසවන්නාහුයයි ප්‍රමාදීව වාසය කරන එම භික්‍ෂූන්ට ගර්හා කරන නියායෙන්, සංසාර වෘත්තය පෙන්වා, දැන් සසරින් වෙන්වීම පෙන්වන්ට තස්මා රක්ඛිත චිත්තස්ස යන දෙවන ගාථාව වදාළ සේක.