එහි තස්මා රක්ඛිත චිත්තස්ස යනු යම්හෙයකින් නොරක්නා ලද සිතැතියේ මාරයාට සිතැඟි පරිදි කටයුතු කළ හැකි බවට පත්ව සසරෙහිම සැරිසරයි. එනිසා සිහිය නමැති සංවරයෙන් මනස සවැනි කොටැති, ඉන්‍ද්‍රියයන්ගේ රැක්මෙන්, වැස්මෙන්, රක්නා ලද සිතැතියේ වන්නේය. සිත රක්නා ලද කල්හි ඉන්‍ද්‍රියයන් රක්නා ලද්දාහුම වෙති. සම්මා සංකප්ප ගොචරො යනු මිථ්‍යා සංකල්ප ගොදුරු කොටැත්තේ නුනුවණින් කල්පනාකොට නොයෙක් ආකාර වූ මිථ්‍යා දර්ශනයන් ගනු ලබන්නේ, මිථ්‍යා දෘෂ්ටිය හා අනුගත සිතින් යුක්ත වූයේ මාරයාට සිතැඟි පරිදි කටයුතු කළහැකි වේ. එහෙයින් නුවණින් මෙනෙහි කිරීමෙන් කටයුතු කරනුයේ නෛෂ්ක්‍රම්‍ය සංකල්පාදී, සම්‍යක් සංකල්ප ගොදුරු කොටැත්තේ වන්නේය. ධ්‍යානාදිය හා සම්ප්‍රයුක්ත සම්‍යක් සංකල්පම තම සිතෙහි පවත්නා තැන කරන්නේය. සම්මා දිට්ඨි පුරෙක්ඛරො යනු සම්‍යක් සංකල්ප ගොදුරු කොටැත්තේ, කම්පා කළ මිථ්‍යා දර්ශන ඇතියේ, ප්‍රථමයෙන්ම කර්මය ස්වකීය කොටැති බැව්හි ලක්‍ෂණද ඉන්පසු යථාභූත ඤාණ ලක්‍ෂණයද සම්‍යග් දෘෂ්ටිය පෙරටුකොට පූර්වාංගම කොට පෙර කියන ලද ක්‍රමයෙන්ම සීල සමාධි සම්ප්‍රයුක්ත විදර්ශනාව අරඹා සංස්කාර සම්මශ්‍රණය කරනුයේ ඤත්‍වාන උදයබ්බයං පංච උපාදානස්කන්ධයන්හි සමපණස් ආකාරයන්ගෙන් ඉපැත්ම හා නිරුද්ධවීම විභාගකොට උදයව්‍යය ඥානය අවබෝධකොට ඉන් මත්තෙහි භංගානුපස්සනාදී වශයෙන් විදර්ශනාව ඔසවා අනුක්‍රමයෙන් ආර්යමාර්ගය ගනුයේ අග මගින්, ථීනමිද්ධාභිභූ භික්ඛු සබ්බා දුග්ගතියො ජහෙ යනු මෙසේ හෙතෙම යට මාර්ගයන්ගෙන් නැසිය යුතු කෙලෙසුන් ප්‍රථමයෙන්ම ප්‍රහීණ හෙයින් දෘෂ්ටි විප්‍රයුක්ත ලෝභ සහගත චිත්තෝත්පාදයන්හි උපදනා ලබන ථීනමිද්ධාදීන්ගේ නැසීම අර්හත් මාර්ගාවබෝධයෙන් මනාව නසන හෙයින් ඒ හා යෙදුන මානාදීන්ගේද ප්‍රහීණ හෙයින් සර්වප්‍රකාරයෙන් හට කෙලෙස් ඇති ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුව ත්‍රිවිධ දුගති සංඛ්‍යාත සියලුම උත්පත්ති ස්ථාන සිඳිනා ලද භව මුල් ඇති හෙයින් ජහෙ දුරු කරන්නේය. ඒවාහි පසුකොටසෙහි නිවනෙහි පිහිටන්නේයයි අර්ථයි.
දෙවන සූත්‍ර වර්ණනාව නිමියේ ය.
3. ගෝපාල සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි, කොසලෙසු යනු කොසොල් නම් දනව් වැසි රජකුමරුවෝ ඔවුන්ගේ නිවාසස්ථානය වූ එක් දනව්වක් වුව කොසලයැයි කියයි. එම කොසොල් දනව්වෙහි, චාරිකං චරති යනු අතුරිත චාරිකා වශයෙන් දනවු සැරියෙහි සරයි. මහතා යනු ගුණ මහත්වයෙන්ද, නොපිරිසිඳ සංඛ්‍යා හෙයින් සංඛ්‍යා මහත්වයෙන්ද, මහත් වූ, භික්ඛු සංඝෙන යනු දෘෂ්ටි, සීල, ශ්‍රමණ භාවය යන කරුණුවලින් එක්වූ ශ්‍රමණ සමූහයා සමග, සද්ධිං යනු එකට එකතුව, මග්ගා ඔක්කම්ම යනු මාර්ගයෙන් ඉවත්ව, අඤ්ඤතරං රුක්ඛමූලං යනු ඝණ කොළ අතු රිකිලිවලින් වැසුන සෙවනැති රුක්මුලෙක්හි සමීපයෙහි,
අඤ්ඤතරො ගොපාලකො යනු එක්තරා ගවයන් රකින්නෙක්, නමින් නන්ද නමැ, හෙතෙම වනාහි ආඪ්‍යය. මහා ධනවතෙකි. මහා භෝග ඇත්තෙකි. කෙණිාය ජටිල තෙම පැවිදි වෙසින් යම්සේද? මෙසේ අනේපිඬු සිටුහුගේ ගවරැල රකිනුයේ ගෝපාලකත්වයෙන් මහ උවදුරු බැහැර කරනුයේ තම පවුල රකියි. හෙතෙම කලින් කල පස්ගෝරස ගෙන, මහ සිටුහුගේ සමීපයට අවුත් භාරදී ශාස්තෲන් වහන්සේගේ සමීපයට ගොස් ශාස්තෲන් වහන්සේ බලයි. දහම් අසයි. තමන් වසන තැනට ඒම සඳහා ශාස්තෲන් වහන්සේට යාඥා කරයි. ශාස්තෲන් වහන්සේ ඔහුගේ නුවණ මුහුකුරා යාම බලාපොරොත්තු වනුයේ පසුකලෙකැ, මහත් වූ භික්‍ෂු සංඝයා පිරිවරන ලදුයේ, ජනපද චාරිකාවෙහි හැසිරෙනුයේ, දැන් ඔහුගේ නුවණ මුහුකුරා ගියේයැයි දැන ඔහු වසන තැනට නුදුරෙහි මාර්ගයෙන් ඉවත්ව ඔහුගේ පැමිණීම බලාපොරොත්තු වෙමින් එක්තරා රුක්මුලක වැඩහුන් සේක. නන්දද, ශාස්තෲන් වහන්සේ වනාහි, දනව් සැරි සරනුයේ මෙතැනින් වැඩමවතියි අසා තුටු පහටු වූයේ වේගයෙන් ගොස් ශාස්තෲන් වහන්සේ කරා එළැඹ වැඳ කරන ලද පිළිසඳර ඇත්තේ එකත්පසෙකැ හුනි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දම් දෙසූ සේක. හෙතෙම සෝවාන් පෙලෙහි පිහිටා භාග්‍යවතුන් වහන්සේට ආරාධනාකොට සත්දිනක් කිරිබත් දන් දුනි. සත්වන දිනැ භාග්‍යවතුන් වහන්සේ අනුමෙවෙනි කොට වැඩමකළ සේක. එහෙයින් ‘එකත්පස්හි හුන්නා වූ එම ගොපල්ලාට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කථායෙන් විස්තර කළ සේක. -පෙ- හුනස්නෙන් නැගිට වැඩම කළ සේකැයි යූ.සේයි.
එහි සන්‍දස්සෙසි යනු මෙම ධර්ම කුසල්ය. මෙම ධර්ම අකුසල් යැයි යනාදී ක්‍රමයෙන් කුසලාදී ධර්මයන්ද, කර්ම විපාකයන්ද, මෙලෝ පරලෝ ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දක්වනුයේ පිළිවෙළින් කරන දේශනාවසානයෙහි සිව් අරිසසුන් මනාව දැක්වූ සේක. සමාදපෙසි යනු සත්‍යාවබෝධය සඳහා මෙනම් ධර්ම තමා කෙරෙහි උපදවාගත යුතුයයි සීලාදී ධර්මයන් මනාව ගන්වා ඒවාහි ඔහු පිහිට වූ සේක. සමුත්තෙජෙසා යනු එම ධර්ම සමාදන් වූවාහු, ක්‍රමයෙන් වඩනු ලබන්නාහු මනාව තෙදවත් කළ සේක. සම්පහංසෙසි යනු භාවනාවට පෙර හා පසු විශේෂ ස්වභාව දැක්වීමෙන් සිත ප්‍රමෝදයට පත්කරලීම් වශයෙන් මනාව සතුටු කළ සේක. තවද මෙහි සාවද්‍ය - අනවද්‍ය ධර්මයන්හිද දුක්ඛාදීන්හිද මුළාව දුරුකිරීමෙන් මනාකොට පෙන්වීමයි. මුළාව දුරුකිරීමෙන් මනා ප්‍රතිපත්තියෙහි සමාදන් කරවීමයි. සිතෙහි අලස බවට පැමිණීම දුරැලීමෙන් උත්තේජනය කරවීමයි. යහපත් ප්‍රතිපත්ති ඉටුවීමෙන් ප්‍රමෝදයට පත්වීම දතයුතුය. මෙසේ හෙතෙම භාග්‍යවතුන් වහන්සේගේ උසස් බවට පමුණුවන ධර්මදේශනාවෙන් සෝවාන් ඵලයෙහි පිහිටියේය. අධිවාසෙසි යනු ඔහු විසින් දිටි සත්‍යයෙන් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මාගේ භික්‍ෂාව ඉවසා වදාරණ සේක්වා යනාදියෙන් ආරාධනා කරන ලදුයේ කායාංග වාචාංග නොසොලවමින් සිතින්ම ඉවසා වදාළ සේක. එහෙයින් තුෂ්ණිම්භාවයෙනැයි කීය.