8. සඞ්ග්‍රාමජිත් සූත්‍ර වර්ණනාව
අටවැනි සූත්‍රයෙහි සංගාමජි යනු ඔහුගේ නාමයයි. මොහු සැවැත්නුවර සම්පත් ඇති මහා ධනවතකුගේ පුත්‍රයා ය. ඔහු වැඩිවියට පත්වූ පසු මව්පියන් විසින් සුදුසු බිරිඳක් කැඳවා වස්තුව පවරා විවාහය කරවන ලද්දේය. සැවැත්නුවර පෙරවරු දන්දී සිල්සමාදන්ව සිට සවස සුදුරෙදි හැඳ සුදු උතුරු සළුවලින් සැරසී සුවඳ මල් ගෙන ධර්මශ්‍රවණය සඳහා දෙව්රම් වෙහෙරට යන උපාසකයන් දැක ‘කොහි යන්නහුදැ’යි අසා ධර්මශ්‍රවණයට දෙව්රම් වෙහෙරට යන බව දැන ඔහු ද ‘මම ද එන්නෙමි’යි දෙව්රම් වෙහෙරට ගියේය. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ රන් ගුහාවක සිංහනාද කරන කේශර සිංහරාජයකු මෙන් සද්ධර්ම මණ්ඩපයෙහි පනවන ලද අසුනෙහි වැඩහිඳ සිවුපිරිස මැද ධර්මය දේශනා කරති.
එකල්හි උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසක හුන්හ. සංගාමජි කුලපුත්‍රයා එම පිරිස් කෙළවර ධර්මය අසමින් සිටියේය. භාග්‍යවතුන් වහන්සේ අනුපුබ්බී කථාව පවත්වා චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළහ. දේශනාව අවසානයෙහි දහස් ගණනක් පිරිසට ධර්මාවබෝධය විය. සංගාමජි කුලපුත්‍රයා සෝවාන්ඵලයට පත්ව පිරිස නැගීසිට ගියකල්හි භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ ‘ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මා පැවිදි කරනු මැනවැ’යි පැවිද්ද ඉල්ලුවේය. ‘ඔබ මවුපියන්ගෙන් පැවිද්ද සඳහා අනුමතය ලබාගත්තෙහිද?’ ‘ස්වාමීනි, මම අනුමතය නොගත්තෙමි. ‘සංගාමජි, තථාගතයන් වහන්සේලා මවුපියන්ගෙන් අනුමතය නොගත් පුත්‍රයකු පැවිදි නොකරති. ‘ස්වාමීනි, මම එසේ කරන්නෙමි. මවුපියන්ගෙන් අනුමතය ලබාගන්නෙමි’යි භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගොස් මවුපියන් වෙත පැමිණ ‘මෑණියනි, පියාණෙනි, මට පැවිදි වීමට අවසර දෙන්නැ’යි කීයේය. එතැන්සිාට රට්ඨපාල සූත්‍රයෙහි සඳහන් වන පරිදි දතයුතුය.
ඉක්බිති හෙතෙම ‘පැවිදිව මවුපියන් දකින්නට එන්නෙමි’යි පොරොන්දුවක් දී මවුපියන්ගෙන් අනුමතය ලැබ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ පැවිද්ද ඉල්වීය. භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද හා උපසම්පදාව ද ලැබීය. පැවිදිව නොබෝ කලකින් හෙතෙම ඉතිරි මාර්ගඵල ලැබීම සඳහා උත්සාහ කරන්නේ එක්තරා ආරණ්‍යවාසයක වස් වසා ෂඩ් අභිඥාලාභීව, වස් පවාරනකොට භාග්‍යවතුන් වහන්සේ දැකීමටත්, මව්පියන්ට දුන් පොරොන්දුවෙන් මිදීම සඳහාත්, සැවැත්නුවරට ගියේය. එහෙයින් ‘තෙන ඛො පන සමයෙන ආයස්මා සංගාමජි සාවත්‍ථිං අනුප්පත්තො හොති’ යි කියන ලදි.
ඒ ආයුෂ්මත් තෙමේ දුර ගමක පිඬු සිඟා වළඳා පස්වරු දෙව්රම් වෙහෙරට පිවිස භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ කරන ලද පිළිසඳර ඇත්තේ අනෙක් කාරණය ප්‍රකාශ කොට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම එක්තරා රුක්මුලක දහවල් කාලය ගත කෙළේය. ඉක්බිති ඔහුගේ මවුපියෝ ද ඥාති මිත්‍රයෝද ඔහුගේ පැමිණීම ආස සංගාමජි තෙර මෙහි පැමිණියේය යි සතුටු සිත් ඇතිව වහ වහා වෙහෙරට ගොස් සොයන්නෝ එහි හුන් ඔහු දැක සමීපයට ගොස් පිළිසඳර කොට දරුවන් නැති වස්තුව රජවරු අරගෙන නොයාම පිණිස, දායාද අල්වා නොගැනීම පිණිස දරුව එන්න, පැවිද්දෙන් ප්‍රයෝජන නැත. ගිහි බවට පත්වන්නැයි ඉල්ලා සිටියහ. එය අසා ස්ථවිර තෙමේ මොවුහු මට කාමවස්තූන්ගෙන් ප්‍රයෝජන නැති බව නොදනිති. අසූචි දරන්නන් මෙන් අසූචි සංඛ්‍යාත කම්සැපෙහි ඇලීම කැමති වෙති. මොවුන් ධර්මකථාවෙහි යොමු කරන්නට නො හැකිය යි නො ඇසෙන්නාක් හුන්නේය. ඔවුහු නොයෙක් අයුරින් ඉල්ලා සිටියත් තමන්ගේ ඉල්ලීම නො පිළිගන්නා බව දැක නිවසට පැමිණ ‘අපි නොයෙක් ආකාරයෙන් අයැද සිටියත් ඔහුගේ කැමැත්ත නොලබා පැමිණියෙමු. සොඳුර, යන්න ඔබගේ සැමියාට දරුවා පෙන්වා යාඥා කොට කැමැති කරවා ගන්නැයි ඔහුගේ භාර්යාව පිරිවර සමග පිටත් කළහ. ඔහු ඇතිවුනු ආසාව නිසා පැවිදි විය යි සිතා ඇය එය පිළිගෙන දරුවාද රැගෙන මහත් පිරිවර සමග දෙව්රම් වෙහෙරට ගියාය. ‘අස්සොච ඛො ආයස්මතො සංගාමජිස්සා’ ආදිය එහෙයින් කියන ලදී.
එහි පුරාණදූතියිකා යනු පෙර ගිහිකල සිටි භාර්යාවයි. අය්යො යනු ආර්යපුත්‍රය යි කිය යුතු වුවත් පැවිද්දන්ට සුදුසු පරිදි අය්‍යො යි කියයි. කිර යනු වනාහි යන අර්ථ ඇත්තේය. ඛුද්ද පුත්තාම්හි සමණ පොස මං යනු කුඩා පුතා ද මා ද පෝෂණය කරන්න. තිබුණු ආසාව නිසා මා අත්හැර පැවිදි වූවෙහිය. ඔබ වැනි කුඩා පුතා ද මා ද අත්හැර මහණදම් පිරීම යුතු නැත. එබැවින් ශ්‍රමණයන් වහන්ස, පුතාද මා ද ආහාරපාන හා වස්ත්‍රවලින් පෝෂණය කරන්න. ආයුෂ්මත් සංගාමජි තෙර ඇස් ඇර නොබලයි. කිසිවක් කතා නොකරයි. එවං වුත්තෙ ආයස්මා සංගාමජි තුණ්හී අහොසියි යි කීයේ එහෙයිනි.
ඇය තුන්වරක් එසේම කියා නිශ්ශබ්දව සිටින බව දැක පුරුෂයෝ වනාහි භාර්යාවන් කෙරෙහි අපේක්‍ෂාව නොදැක්වූවත් දරුවන් කෙරෙහි අපේක්‍ෂා සහිත වෙති. දරු සෙනෙහස පියාගේ ඇටමිදුළු විදගෙන යයි. එබැවින් දරු සෙනෙහසින් මාගේ වසඟයට පත්කරගන්නෙමියි සිතා ඇය පුතා තෙරුන්ගේ උකුලෙහි තබා එකත්පසින් බැහැරව ‘ශ්‍රමණය මොහු ඔබගේ පුත්‍රයාය. ඔහු පෝෂණය කරන්නැ’යි ‘එසො තෙ සමණ පුත්තො පොසන්ත ති’ කියා ටික දුරක් ගියාය. ඇයට ශ්‍රමණයන් වහන්සේගේ තේජසින් ඉදිරියෙහි සිටින්නට නොහැකි වූවාය. ස්ථවිරයන් වහන්සේද දරුවා දෙස නොබලති. දරුවා සමග කතා නොකරති. ඉක්බිති ඒ ස්ත්‍රියද නුදුරෙහි සිට මුහුණ හරවා බලන්නී තෙරුන්ගේ ඒ ආකාරය දැක ආපසු හැරී මේ ශ්‍රමණයාට පුත්‍රයාගෙන් ප්‍රයෝජනයක් නැතැයි දරුවා අරගෙන ගියාය. අථ ඛො ආයස්මතො සංගමජීස්ස පුරාණදුතීයිකා යි එහෙයින් කියන ලදි.