7. පාවා සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි පාවායං යනු මේ නම ඇති මල්ල රජවරුන්ගේ නගරයෙහි අජපාලකෙ චෙතියෙ යනු අජකලාපක නම් යක්‍ෂයා විසින් අරක්ගත් බැවින් අජකලාපක නම් යක්‍ෂයා විසින් අරක්ගත් බැවින් අජකලාපක නම් වූ මනුෂ්‍යයන්ගේ සිත් ගත් ස්ථානයකි. ඒ යක්‍ෂයා වනාහි එලුවන් සමූහ වශයෙන් බැඳ බලි පූජා කරයි. එහෙයින් අජකලාපක යි ප්‍රකට විය. ඇතැමෙක් සතුන් බලිපූජාව සඳහා එහි ගෙනවිත් එලුවන්ගේ හඬ හා සමානව ශබ්ද නගා බලිපූජා කරති. ඔවුහු එයින් සතුටු වෙති. එහෙයින් අජකලාපක යි කියනු ලැබේ. ඒ යක්‍ෂයා වනාහි ආනුභාව සම්පන්නය. නපුරුය. ඵරුසය. ඒ ස්ථාන‌යෙහි වසන්නේය. එබැවින් එම ස්ථානයට මිනිස්සු පූජා පවත්වති. වරින්වර බලි පූජා ද කරති. එබැවින් ‘අජකලාපකෙ චෙතියෙ’ යි කියන ලදි. අජකලාපකස්ස යක්ඛස්ස භවනෙ යනු ඒ යක්‍ෂයාගේ විමානයයි.
එකල්හි වනාහි ශාස්තෲන් වහන්සේ ඒ යක්‍ෂයා දමනයකරනු කැමැතිව සවස් කාලයෙහි හුදෙකලාව පාසිවුරු ගෙන අජකලාපක යක්‍ෂයාගේ භවනයෙහි දොරටුව වෙත ගොස් එහි සිටි දොරටුපාලයාගෙන් එහි පිවිසීමට අවසර පැතූහ. ‘ස්වාමීනි, ඒ අජකලාපක යක්‍ෂයා නපුරුය. ශ්‍රමණයෙකැයි බ්‍රාහ්මණයෙකැයි ගෞරව නොකරයි. එබැවින් ඔබවහන්සේ ම සුදුසු දෙයක් සිතා බලන්න. මා විසින් මෙය ඔහුට නොදැන්වීම අයුක්තකි යි එකෙණෙහිම වාත වේගයෙන් යක්‍ෂ සමාගමට ගිය අජකලාපක යක්‍ෂයා වෙත ගියේය. ශාස්තෲන් වහන්සේ භවන ඇතුලට පිවිස අජ කලාපක යක්‍ෂයා හිඳින මණ්ඩපයෙහි පනවන ලද අසුනෙහි වැඩහුන්හ. එකල්හි යක්‍ෂයාගේ අන්තඃපුර ස්ත්‍රීහු ශාස්තෲන් වහ්නසේ වෙත පැමිණ වැඳ එකත්පසෙක සිටියහ. ශාස්තෲන් වහන්සේ ඔවුන්ට කාලීන ධර්ම කථාවක් ප්‍රකාශ කළහ. එහෙයින් පාවායං විහරති අජකලාපකෙ චෙතියෙ අජකලාපකස්ස යක්ඛස්ස භවනෙ යි කියන ලදි.
එකල්හි සාතාගිර හේමවත යන යක්‍ෂයන් දෙදෙන අජ කලාපක යක්‍ෂයාගේ භවනය උඩින් යන්නෝ තමන්ගේ ගමනට බාධා වූ බැවින් කුමක් නිසා මෙසේ වීදැයි කල්පනා කරන්නෝ අජකලාපයක්‍ෂ භවනයෙහි වැඩවසන ශාස්තෲන් වහන්සේ දැක එහි ගොස් භාග්‍යවතුන් වහන්සේ වැඳ ‘ස්වාමීනි, අපි යක්‍ෂ සමාගමට යන්නෙමු’යි ප්‍රකාශකොට බුදුරදුන් ප්‍රදක්‍ෂිණාකොට ගියහ. යක්‍ෂ රැස්වීමෙිහ සිටි අජකලාප යක්‍ෂයා දැක ‘ඇවැත්නි, අජකලාපක, ඔබට මහත් ලාභයකි. ඔබගේ භවනයෙහි දෙවියන් සහිත ලෝකයෙහි අග්‍ර පුද්ගල වූ භාග්‍යවතුන් වහන්සේ වැඩ වෙසෙති. එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරන්න. ධර්මයද අසන්නැ’යි තමන්ගේ සතුට ප්‍රකාශ කළහ. හෙතෙම ඔවුන්ගේ කතාව අසා මොවුහු ඒ මුඩු ශ්‍රමණයා භවනයෙහි හුන් බව ප්‍රකාශ කරතියි ක්‍රෝධයෙන් මඩනා ලද්දේ ‘අද ඒ ශ්‍රමණයා සමග මාගේ යුද්ධයක් වන්නේ’ යයි සිතා යක්‍ෂ සමාගමෙන් නැගිට දකුණු පය ඔසවා සැට යොදුනක් පමණ වූ පර්වතය පෑගුවේය. ඒ පර්වතය දෙකඩ විය. ඉතිරි කථාව පිළිබඳව යමක් මෙහි කියයුතු නම් ඒ සියල්ල ආලවක සූත්‍ර වර්ණනාවෙහි සඳහන් පරිදි දතයුතුය
අජකලාපක සමාගමය ආලවක සමාගමය හා සමාන වේ. යක්‍ෂයාගේ ප්‍රශ්න කිරීමත්, එය විසඳීමත් හා යක්‍ෂ භවනයෙන් තුන්වරක් නික්මීමත්, ප්‍රවේශ වීමත් එය හා සමාන වේ. අජකලාපකයා එන අතරම ‘මේ ශ්‍රමණයා පලවා හරින්නෙමියි චණ්ඩ මාරුතය පටන් වර්ෂා නවයක් වස්වා හිංසා කළත් එයින් භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙහි ස්වල්පමාත්‍ර සෙලවීමක් කරන්නට නොහැකිව නානාවිධ ආයුධ ගත් අත් ඇතිව සිටි භයානක රූප ඇති අමනුෂ්‍යයන් මවා ඔවුන් සමග භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ හැසිරෙමින් මුලු රැයක් විවිධ විප්‍රකාර කළත් භාග්‍යවතුන් වහන්සේගේ කෙස් අගක් පමණකුදු වැඩහුන් තැනින් සොලවන්නට නොහැකි විය. ‘මේ ශ්‍රමණයා මාගෙන් නොඅසා මාගේ භවනයට ඇතුල් වී හිඳියි’ යි ක්‍රෝධයෙන් දැවෙයි. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ සිතිවිලි දැක යම් ලෙසකින් මේ චණ්ඩ වූ යක්‍ෂයාගේ නාසයෙහි පිට බිඳෙන්නේ නම් හෙතෙම බෙහෙවින්ම නපුරු වන්නේය. යක්‍ෂයා මා මෙහි හුන්කල්හි හිත නපුරු කරගනියි. එබැවින් මෙතැනින් ඉවතට යන්නේ නම් ඉතා යෙහෙකැයි භවනයෙන් නික්ම එලිමහන් තැන වැඩ සිටියේය. තෙන ඛො පන සමයෙන භගවා රතතන්‍ධකාරතිමිසායං අබ්භොකාසෙ නිසින්නො හොතී’ති යි එහෙයින් කියන ලදි.