6. කාශ්‍යප සූත්‍ර වර්ණනාව
සයවැනි සූත්‍රයෙහි රාජගහෙ යනු මෙනම් නගරයෙහි මහාබන්ධාතු, මහා ගෝවින්ද ආදී රජවරුන් විසින් අයිති කරගත් බැවින් රාජගහ යි කියනු ලැබේ. සතුරු රජවරුන්ට යටත්කර ගැනීමට අපහසු බැවින් හා තවත් ආකාරයෙන් ද වර්ණනා කරති. මේ නගරය බුද්ධ කාලයෙහි හා චක්‍රවර්ති කාලයෙහි නගරයක් වෙයි. අනෙක් කාලයන්හි යක්ෂයන් විසින් අයිති කරගන්නා බැවින් ශූන්‍ය වේ. වෙළුවනෙ කලන්දක නිවාපෙ වෙළුවන යනු එම විහාරයේ නාමයයි. එය වනාහි දහඅට රියනක් උස ප්රාකාරයකින් වටකරන ලද්දේය. භාග්‍යවතුන් වහන්සේට වාසය කිරීමට සුදුසු පරිදි මහත් වූ ගඳකිළියකින් ද තවත් ප්‍රාසාද කුටි ලෙන් මණ්ඩප සක්මන් මළු, දොරකවුළු, නානතොටු ආදියෙන් ද යුක්ත විය. පිටත නිල් පැහැයෙන් බබලන සිත්කළු හුණ පඳුරුවලින් යුක්ත විය. එබැවින් වෙළුවන යි කියනු ලැබේ. ලෙහෙණුන්ට වාසස්ථාන වූ බැවින් කලන්දක නිවාප නම් විය.
පෙර එක්තරා රජකෙනෙක් උයන්කෙළි සඳහා මෙහි පැමිණියේ සුරාමදයෙන් මත්ව දහවල නිදා ගත්තේය. ඔහුගේ පිරිවර ජනයාද රජු නිදන්නේය යි එහි මල්පලවලට ආසාවෙන් ඔබ මොබ හැසිරෙන්නේය. එකල්හි සුරාගඳ නිසා එක් කළු නයෙක් රුක් සිදුරකින් නික්ම රජු ඉදිරියට එන්නේය. එය දුටු රුක් දෙවියෙක් රජුට ජීවිතය දෙන්නෙමියි ලෙහෙනෙකුගේ වේසයෙන් එහි ගොස් රජුගේ කණ ළඟ ශබ්ද කෙළේය. රජු අවදි විය. කළු නයා නැවතුනේය. රජු එය දැක මේ ලෙහෙනා විසින් මට ජීවිතය දෙන ලදැයි එහි තැන් තැන්වල ලෙහෙනුන්ට වාසස්ථාන ඉදි කෙළේය. මෙය අභය භූමියක් ලෙස ප්‍රකාශ කෙළේය. එතැන් පටන් කලන්දක නිවාප යි ප්‍රසිද්ධ විය. කලන්දක යනු ලෙහෙනුන්ට නමකි.
මහා කස්සපොති මහත් වූ ශීලස්කන්ධයකින් යුක්ත වූ බැවින් මහා කස්සප විය. තවද කුමාර කස්සප තෙරුන් නිසා මේ ස්ථවිර මහාකස්සපයි කියති. පිප්ඵලීගුහායං එම ගුහාවෙහි දොරටුව සමීපයෙහි එක් පිලිල ගසක් විය. එබැවින් එය පිප්ඵලී ගුහාවයි ප්‍රකට විය. එම පිප්ඵලී ගුහාවෙහි ආබාධිකො ආබාධයක් ඔහුට ඇත්තේනුයි අබාධික නම් වේ. දුක්ඛිතොති කායික දුකක් හටගත් නිසා දුක්ඛිත විය. බාළ්හගිලානො ති බොහෝ වූ ගිලන් බව. එම ගිලන් බව සිහිනුවණින් යුක්තව ඉවසයි. මේ පුවත දැන බුදුරජාණන් වහන්සේ එහි ගොස් බොජ්ඣංග පිරිත දේශනා කළහ. එම සූත්‍ර දේශනාවෙන් කාශ්‍යප තෙරුන්ගේ ඒ ආබාධය සන්සිඳුනේය. බොජ්ඣංග සූත්‍රයෙහි එය කියන ලදි.
‘එ සමයෙහි ආයුෂ්මත් මහා කාශ්‍යප රහතන් වහන්සේ ආබාධිතව, කායික දුකෙන් යුක්තව දැඩි ලෙස ගිලන්ව පිප්ඵලී ගුහාවෙහි වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පස්වරු විවේක සුවයෙන් නැගිට මහා කාශ්‍යප තෙරුන් වාසය කරන ස්ථානයට පැමිණ පැනවූ අසුනෙහි වැඩ හුන්හ. එසේ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේට මෙසේ වදාළසේක. ‘කිමෙක්ද? කාශ්‍යපය, ඔබට ඉවසිය හැකිද? කිම යැපිය හැකිද? හෙවත් ඔබගේ ශරීරය පවත්වා ගන්නට හැකිද? කිමෙක් ද? දුක්වේදනා අඩු වේද? වැඩිවීමක් නැද්ද? දුක් වේදනාවන්ගෙන් කෙළවරක් පෙනේද? වැඩිවීමක් නොපෙනේද? ‘ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මට ඉවසිය නොහැකියි. දුක් වේදනා වැඩිවනු මිස අඩුවීමක් නො පෙනේය’යි.
‘කාශ්‍යප ය, මේ සප්තබෝධ්‍යංග ධර්ම මා විසින් මැනවින් කියන ලද්දේය. වඩන ලද්දේය. නැවත නැවත පුරුදු කරන ලද්දේය. ඒ ධර්ම චතුස්සත්‍ය ධර්මයන් විශිෂ්ටඥානයෙන් දැනගැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන් පිණිස පවතී. ඒ බොධ්‍යංග ධර්ම සත කවරේද?
‘කාශ්‍යපය, සති සම්බොජ්ඣංගය මා විසින් මැනවින් කියන ලදි. වඩන ලදි. නැවත නැවත පුරුදු කරන ලදි. එය චතුස්සත්‍ය ධර්මයන් විශිෂ්ට ඥානයෙන් දැනගැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන් පිණිස පවතී.....
කාශ්‍යපය, උපෙක්ඛා සම්බොජ්ඣංගය මා විසින් මැනවින් කියන ලදි. වඩන ලදි. නැවත නැවත පුරුදු කරන ලදි. එය චතුස්සත්‍ය ධර්මයන් විශිෂ්ට ඥානයෙන් දැනගැනීම පිණිස, අවබෝධය පිණිස, නිවන් පිණිස පවතී. කාශ්‍යපය, මේ සප්ත බෝධ්‍යංග ධර්ම මා විසින් මැනවින් කියන ලදි. වැඩි වශයෙන් පුරුදු කරන ලදි. නැවත නැවතත් පුරුදු කරන ලදි. ඒ ධර්ම විශිෂ්ට ඥානයෙන් චතුස්සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස, නිවන් පිණිස පවතී.’ ‘භාග්‍යවතුන් වහන්ස, බෝධ්‍යංග ධර්ම ඒකාන්තයෙන් මැනව. සුගතයන් වහන්ස, බෝධ්‍යංග ධර්ම ඒකාන්තයෙන් මැනවි’ යි. කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ සැල කළහ.
එයට සතුටු වූ ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට වෙසෙසින් සතුටු වූහ. මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ එම ආබාධයෙන් සුවපත් වූහ. එම ආබාධය අවසන් විය.