5. ස්ථවිර සූත්ර වර්ණනාව
පස්වෙනි සූත්රයෙහි සාවත්ථියං යනු එනම් නගරයෙහි ඒ නගරය වනාහි සවත්ථ නම් සෘෂිවරයකුගේ වාසය කළ තැන මවන ලද බැවින් සාවත්ථි යි කියනු ලැබේ. යම් සේ ‘කාකන්දි මාකන්දි’ යි මෙසේ හුදෙක් පවසන්නේ අක්ෂර සමූහයක් පමණකි. අර්ථකථා ආචාර්යවරු මනුෂ්යයන්ට අවශ්ය උපභෝග පරිභෝග සියලු දෙය මෙය මෙහි ඇති නිසා ‘සාවත්ථි’ කියති. වෙළෙන්දන් කිමෙක්ද? මෙහි බඩු ඇත්තේ දැයි ඇසූ කල්හි සියලු දේ ඇත යන ප්රකාශය නිසා සාවත්ථි නම් විය.
සියලු කල්හි සියලු උපකරණ සැවැත්නුවර රැස්කොට ඇත. එබැවින් සියලු දෙය නිමිති කරගෙන ‘සාවත්ථි’ යි කියනු ලැබේ.
ඒ සැවැත්නුවර සමීපාර්ථයෙහි සත්තමී වචනයි. ජෙතවනෙ යනු තමන්ගේ සතුරන් දිනා යි ජෙත නම් වේ. රජු විසින් සතුරු ජනයා දිනූ කල්හි ආරම්භ වූ බැවින් ජෙතො නම් වේ. මංගල සම්මත වූ වචනයෙන් මේ නම තබන ලද බැවින් ජෙතතා නම් වේ. උපදීනුයි වන නම් වේ. තමන්ගේ සම්පත්තියෙන් සත්ත්වයන්ගේ ආදරය තමන් කෙරෙහි උපදවයි යන අර්ථයි. කැමැති වේනුයි වන නම් වේ. විවිධ මල් සුවඳින් සතුටට පත් කෝකිල ආදී පක්ෂීන්ගේ නාදයෙන් ද, මඳ සුළඟන් සෙලවෙන ගස් හා වැල් අතුර නමැති අත්වලින් ‘එන්න මා පරිභෝග කරන්න’ යි ප්රාණීන්ගෙන් ඉල්ලයි යන අර්ථ ඇත. ජේත කුමාරයාගේ වනය ජේතවනය විය. එය වනාහි ජේත රජකුමරු විසින් ආරම්භ කොට සංවර්ධනය කොට පාලනය කරන ලද්දේය. ඒ රජ කුමරුම එහි අයිතිකාරයා විය. එබැවින් ජෙතවන යි කියනු ලැබේ.
එම ජේතවනයෙහි අනාථ පිණ්ඩිකස්ස ආරාමෙ යනු මවුපියන් විසින් තබන ලද නම සුදත්ත නම් විය. ඒ මහා සිටු සියලු සම්පත්වලින් සමෘද්ධිමත්ව පහවූ මසුරු මල ඇත්තේ කරුණාදී ගුණයන්ගෙන් යුක්තව නිරන්තරයෙන් අසරණ අයට ආහාර දෙයි. එබැවින් අනාථපිණ්ඩික යි කියනු ලැබේ. සත්ත්වයන්ගේ, විශේෂයෙන් පැවිද්දන්ගේ සිත් සතුටු කෙරේනුයි ආරාම නම් වේ. මල්පල ආදී සෝභාවෙන් ද, බෙහෙවින් දුරක් නොවූ, ළඟත් නොවූ පස්වැදෑරුම් සේනාසන අංගයන්ගෙන් යුක්ත වූ එහි ඒ ඒ තැන්වලින් පැමිණ සතුටු වෙත්. බෙහෙවින් සතුටු වෙති. නො කලකිරී වාසය කරති යන අර්ථ ඇත්තේය.
එම ජේතවනාරාමය අනේපිඬු සිටාණන් විසින් ජේත නම් රාජකුමාරයාගෙන් දසඅට කෝටියක් රන් කහවණු දී මිලදී ගෙන දසඅට කෝටියක් රන් කහවණු වැයකොට සෙනසුන් කරවා, දස අට කෝටියක් රන් කහවණු වැයකොට විහාර පූජා කිරීමේ උත්සවය නිමකොට මෙසේ කහවණු පනස් සතරකෝටියක් වැයකොට බුද්ධප්රමුඛ සංඝරත්නයට පූජා කරන ලදි. එබැවින් අනාථපිණ්ඩිකස්ස ආරාමය යි කියනු ලැබේ. එහි ‘ජෙතවනෙ’ යනු පුරාණ අයිතිකාරයා ප්රකාශ කිරීම යි. ‘අනාථ පිණ්ඩිකස්ස ආරාමෙ’ යනු පශ්චිම අයිතිකාරයා ප්රකාශ කිරීමයි.