4. න්යග්රොධ සූත්ර වර්ණනාව
සිවුවැනි උදානයෙහි අජපාල නිග්රොධෙ යනු, එළුවන් රකින්නෝ එහි ගොස් නුගරුක් සෙවනෙහි හිඳිති. එහෙයින් අජපාල නිග්රොධයි නාමය ඇතිවිය. ඇතැමෙක් වේදය සජ්ඣායනා කරන්නට අසමර්ථ වූ මහලු බමුණෝ එහි ප්රාකාර පරික්ෂේප වලින් යුක්ත වූ නිවෙස් සාදාගෙන සියල්ලෝම එහි විසූ බැවින් ‘අජපාල නිග්රොධ’ යන නාමය වීය යි කියති. එහි මේ වචනාර්ථයි. න ජපන්තී ති (ජප නොකරත් නුයි) අජපා නම් වේ. මන්ත්ර සජ්ඣායනා නොකරන්නෝය යි අර්ථයි. ‘අජපා’ අය ඇලෙන රුචි කරන නිවාස මෙහි ඇති නිසා අජපාල යි සමහරු කියති. යම්ලෙසකින් මධ්යාහ්න සමයෙහි ඒ රුක වෙත පැමිණි එළුවන් තමන්ගේ සෙවනැල්ලෙන් පාලනය කරයිද, රකියි ද, එබැවින් අජපාල නම් නාමය ආරෝපණය විය යි වෙනත් කෙනෙක් කියති. සියලු තන්හි මේ නම මෙසේ ව්යවහාර වේ. ඒ වෘක්ෂය සමීපයෙහි අජපාල නිග්රොධෙ යනු සමීපාර්ථයෙහි සප්තමී වචනයකි.
විමුත්ත සුඛපටිසංවෙදී එම වෘක්ෂ මූලයෙහිම ධර්මය සිහිකරමින් විමුක්තිසුවය විඳිමින් වැඩහුන්හ. බෝධිවෘක්ෂයට නැගෙනහිර දිසාවෙහි මේ වෘක්ෂය පිහිටියේය. මෙය පර්යංක සතියට අතර සතියක් නොවේ. භාග්යවතුන් වහන්සේ පර්යංක සතියට පසු තවත් සති තුනක් බෝධි වෘක්ෂය සමීපයෙහිම වාසය කළහ.
එහි අනුපිළිවෙල කතාව මෙසේය - භාග්යවතුන් වහන්සේ සම්මා සම්බෝධියට පැමිණ එකම පර්යංකයෙන්ම වැඩහුන් කල්හි ‘කිමෙක්ද, භාග්යවතුන් වහන්සේ නො නැගිටිති. බුද්ධත්වය ලැබීමට අවශ්ය තවත් කරුණු ඇත්තේදැ’යි සමහර දෙවිවරුන්ට සැකයක් ඇතිවිය. ඉක්බිති භාග්යවතුන් වහන්සේ අටවෙනි දවසෙහි සමාපත්තියෙන් නැගිට දෙවියන්ගේ සැකය දැන ඒ සැකය නැතිකිරීම පිණිස අහසට පැන නැගී යමක ප්රාතිහාර්යය දක්වා ඔවුන්ගේ සැකය නැතිකොට නැගෙනහිරට හා උතුරු දෙසට අතර වූ ඊසාන පෙදෙසෙහි සිට සතර අසංඛෙය්ය ලක්ෂයක් කල්පයන්හි රැස්කරන ලද පාරමිතා ධර්මයන්ගේ පුඤ්ඤාධිගමනී බවත්, ඵලසමාපත්වලට පැමිණීමත්, පර්යංකයත්, බෝධිවෘක්ෂයත් ඇසිපිය හෙලීම් නැති ඇස්වලින් බලමින් සත්දිනක් ගතකළහ. ඒ ස්ථානය අනිමිස චෛත්ය නම් විය. ඉක්බිති පර්යංකය පිහිටි තැනට සමීපව පෙරදිගට හා බටහිරට අතර රත්න සක්මනෙහි සක්මන් කරමින් සතියක් ගත කළහ. ඒ ස්ථානය රතනචංකම නම් විය. ඉක්බිති බටහිර පෙදෙසෙහි දෙවිවරු රත්නගෘහය මැවූහ. එහි පර්යංකයෙන් වැඩහිඳ අභිධර්ම පිටකය විශේෂයෙන් අනන්තනය ඇති සියලු පට්ඨාන ධර්මය විමසමින් සතියක් ගත කළහ. ඒ ස්ථානය රත්නඝර චෛත්යය යි නම් විය. මෙසේ බෝධිවෘක්ෂය සමීපයෙහිම සති සතරක් ගතකොට පස්වන සතියෙහි බෝධිවෘක්ෂ සමීපයෙන් අජපාල නිග්රොධ වෘක්ෂය වෙත පැමිණ එම වෘක්ෂය මූලයෙහි පර්යංකයෙන් වැඩ සිටියහ.
තම්හා සමාධිම්හා වුට්ඨාසි යනු යම්කිසි කාල පරිච්ඡේදයක් එහි වැඩසිට නැගී සිටියහ. භාග්යවතුන් වහන්සේ එහි නැගී සිටි කල්හි බ්රාහ්මණයෙක් පැමිණ ප්රශ්නයක් විචාළේය. එහෙයින් අථ ඛො අඤ්ඤතරො ආදිය කියන ලදි. එහි අඤ්ඤතරො යනු නාමගෝත්ර වශයෙන් නො හඳුනන අප්රකට එකෙකි. හුහුංකජාතිකො යනු හෙතෙම වනාහි දුටුදෙයින් ශුභාශුභ ඇතැයි සිතන දැඩි මානයක් ඇත්තෙකි. මාන වශයෙන් හා ක්රෝධ වශයෙන් සියල්ල විමසනු ස්වභාව ඇතිව බලමින් පිළිකුල් කරමින් හුං හුං කියමින් හැසිරෙන්නෙකි. එබැවින් ‘හුහුංකජාතිකො’ කියනු ලැබේ. හුහුංකජාතිකො යි පාඨයක් ද ඇත. බ්රාහ්මණො යනු උපතින් බමුණෙකි.
යෙන භගවා යනු යම් දිසාවක භාග්යවතුන් වහන්සේ වැඩසිටි සේක්. සප්තමී අර්ථයෙහි කරණ වචනයෙකි. යම් දිසාවකින් භාග්යවතුන් වහන්සේ වැඩමවිය යුතු නම් එම දිසාවෙන් වැඩමවූහ. හෙවත් ‘යෙන’ යනු හේත්වර්ථයෙහි කරණ වචනයෙකි. යම් කාරණයක් නිසා භාග්යවතුන් වහන්සේ වෙත දෙවිමිනිසුන් පැමිණිය යුතුනම් එම කාරණය නිසා පැමිණියේය යන අර්ථයි. කවර කරුණක් නිසාද? නන්වැදෑරුම් වූ රෝදුක් පීඩාවන්ගෙන් පෙළෙන රෝගී වූ මහජනයා මහත් ආනුභාව ඇති වෛද්යවරයෙකු වෙත රෝගයන්ට ප්රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන්නාක් මෙන්, නන්වැදෑරුම් කෙලෙස් ලෙඩවලින් පෙළෙන රෝගී වූ දෙවි මිනිස්සු කෙලෙස් ලෙඩවලට ප්රතිකාර ලබා ගැනීම සඳහාත්, ධර්මශ්රවණය, ප්රශ්න ඇසීම ආදී කරුණු සඳහාත් භාග්යවතුන් වහන්සේ වෙත පැමිණිය යුතුය. මේ බ්රාහ්මණයා ද තමන්ගේ සැක දුරුකරගැනීම සඳහා පැමිණියේය.
උපසංකමිත්වා යනු සමීපයට පැමිණියේය යන අර්ථයි. සම්මොදි මනාව සතුටු විය. භාග්යවතුන් වහන්සේගේ වචනයෙන් සතුටු විය. භාග්යවතුන් වහන්සේ විසින් ‘කච්චි භොතො ඛමනීයං, කච්චි යාපනීයං’ ආදී වශයෙන් පිළිසඳරින් සතුට ඇතිවිය. සම්මොදනීයං සතුටු වීමට සුදුසු වූ. කථං කතා සල්ලාපය. සාරණීයං සිහිකටයුතු සත්පුරුෂයන් විසින් පැවැත්විය යුතු. වීතිසාරෙත්වා අවසන් කොට. එකමන්තං භාව නපුංසක නිර්දේසයකි. එක් ස්ථානයෙකි. බෙහෙවින්ම සමීප වූ කල්හි නිසද්ය දෝෂ භය දුරුකොට එක් පෙදෙසක යන අර්ථයි. එතදවොච එය දැන් කීවේය.
[missing trans] ‘භො වාදිනාම සොහොති සචෙ හොති සකිඤ්චනො’ යි එසේ කියන ලදි. ගොතමාති භාග්යවතුන් වහන්සේට ගෝත්රයෙන් ආමන්ත්රණය කරයි. කෙසේ නම් මේ බ්රාහ්මණයා මේ අවස්ථාවෙහි භාග්යවතුන් වහන්සේගේ ගෝත්රය දැනගත්තේද? එය මේ අවස්ථාවෙහි පමණක් නොවේ. සය මසක් ප්රධන් වීර්යය කරන සමයෙහි උපස්ථායක පස්වග මහනුන් සමග හැසිරෙන කල්හිත් ඊට පසු ඒ ව්රතය අත්හැර උරුවෙලාවෙහි සේනානි ගම හුදකලාව පිඬු පිණිස හැසිරෙන කල්හිත් මේ බමුණා විසින් භාග්යවතුන් වහන්සේ දැක ඇත. කතාබහ ද කර ඇත. එබැවින් එම බමුණා පෙර පස්වග මහණුන් විසින් භාග්යවතුන් වහන්සේගේ ගෝත්රය සිහි කරමින් ‘ගොතම’ යි ඇමතීම අසා ඇත. එතැන් පටන් ශ්රමණ ගෞතමයන්’යි භාග්යවතුන් වහන්සේ චන්ද්රයා මෙන්, සූර්යයා මෙන් ප්රකට වූහ. ප්රසිද්ධ වූහ.