3. තෘතීය බොධි සූත්‍ර වර්ණනාව
තුන්වැන්නෙහි අනුලොමපටිලොමං යනු අනුලෝමයද, පටිලෝමයද යම් සේ කියන ලද පරිදි අනුලෝම වශයෙන් හා පටිලෝම වශයෙන් ද යන අර්ථයි. පෙර ද අනුලෝම පටිලෝම වශයෙන් පටිච්ච සමුප්පාදය සිහිපත් කළ ප්‍රවෘත්තිය සූත්‍ර දෙකෙහි කියන ලද්දේ නොවේද, මෙහි කුමක් හෙයින් නැවතත් දෙ අයුරකින් එම සිහිපත් කිරීමේ ප්‍රවෘත්තිය කියා ද? එය දෙ අයුරකින් තුන්වෙනි වරටත් සිහිපත් කිරීමේ පුවත කිය යුතු නිසාය. දෙයාකාරයකින් කෙසේ නම් සිහිපත් කිරීම පැවැත්වීද, අනුලෝම පටිලෝම වශයෙන් පෙර පසු නොවී එක්විටම පටිච්චසමුප්පාදය සිහිපත් කිරීමට නොහැකිය. එය එක්වර සිහිපත් කිරීම සිදුකෙළේය යි පිළිගත යුතු නැත. වාරයෙන් වාරයට සිහිපත් කෙළේය. භාග්‍යවතුන් වහන්සේ පළමුවෙන් අනුලෝම වශයෙන් පටිච්චසමුප්පාදය සිහිපත් කොට එයට අනුරූප වූ ප්‍රථම උදානය ප්‍රකාශ කළ සේක. දෙවෙනිවර පටිලෝම වශයෙන් සිහිපත්කොට එයට අනුරූප වූ උදානය ප්‍රකාශ කළ සේක. තුන්වෙනි වර එක් වරක් අනුලෝම වශයෙන් ද, අනෙක් වර පටිලෝම වශයෙන් ද සිහිපත් කිරීම් වශයෙන් අනුලෝම පටිලෝම සිහිපත් කළ සේක. අනුලොම පටිලොමං යි එබැවින් කියන ලදි. මෙසේ අනුලෝම පටිලෝම වශයෙන් සිහිපත් කිරීමේ ප්‍රගුණ බව හා බලවත් බව ප්‍රකාශ කරන ලද්දේය.
තත්‍ථෙ අවිජ්ජායත්‍ථෙව අවිද්‍යාවෙන් ම අසෙස විරාගනිරොධා යනු විරාග සංඛ්‍යාත මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම වූ නිරෝධය අග්‍ර වූ මාර්ගයෙන් ඉතිරි නොකොට නැවත නූපදනා ලෙස කරන ලද ප්‍රහාණය යන අර්ථ ඇත්තේය. සංඛාර නිරොධොති යනු සියලු සංස්කාරයන්ගේ ඉතිරි නොකොට නැවත නූපදිනා ලෙස කළ නිරෝධයයි. යට සිට මාර්ගත්‍රයෙන් යම්කිසි සංස්කාර ධර්ම නිරුද්ධ වේද, යම්කිසි සංස්කාර ධර්ම නිරුද්ධ නොවේද, ඒ සියල්ල අර්හත්මාර්ග ඥානයෙන් අවිද්‍යා නිරෝධය ලැබීමෙන් සියලු සංස්කාර ධර්ම නිරුද්ධ වන්නේය.
එතමත්‍ථං විදිත්‍වා යනු යම් මේ අවිජ්ජා ආදී වශයෙන් සංස්කාර ආදිය පිළිබඳ දුක් සමූහයේ සමුදය ද, නිරෝධයද, අවිජ්ජා ආදීන්ගේ සමුදය ද නිරෝධය ද වේයයි කියන ලද මේ කාරණය සියලු ආකාරයෙන් දැන ඉමං උදානං උදානෙසි යම් ආර්ය මාර්ගයකින් දුක් සමූහයාගේ සමුදය නිරෝධ සංඛ්‍යාත වූ අර්ථය කෘත්‍ය වශයෙන් ද, ආරම්මණක්‍රියා වශයෙන් ද අවබෝධ කෙළේ, එම ආර්ය මාර්ගයාගේ ආනුභාවය ප්‍රකාශ කරන උදානය ප්‍රකාශ කෙළේය.
මේ එහි සංක්‍ෂේප අර්ථයයි - ‘කෙලෙස් තවන වීර්යය ඇති, ධ්‍යාන වඩන, දුරුකළ කෙලෙස් ඇති බ්‍රාහ්මනි නම් වූ රහතන් වහන්සේට යම්කලෙක බෝධිපාක්‍ෂික ධර්මයන් හේතුකොට ගෙන යම් ආර්ය මාර්ගයකින් චතුරාර්ය ධර්මයෝ පහළ වෙත්ද, එම ආර්යමාර්ගයෙන් විධූපයං තිට්ඨති මාරසෙනං යනු ‘කාමා තෙ පඨමා සෙනා’ ආදී ක්‍රමයට කියන ලද මාරසේනාව විනාශ කරමින් සිටී. කෙසේද යත්? සුරියොව ඔභාසයමන්තළික්ඛං යම්සේ සූර්යයා උඩට නැග තමන්ගේ ආලෝකයෙන් අහස බබලවමින් අන්ධකාරය විනාශ කරමින් සිටින්නේ යම්සේද, එසේම ඒ ඛීණාශ්‍රව වූ රහතන්වහන්සේ එම බෝධිපාක්‍ෂික ධර්මයන් හා සිවු මගින් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරමින් ක්ලේශ මාරසේනාව විනාශ කරමින් සිටිතියි
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් පළමුවර පච්චයාකාර ධර්මයන් (පටිච්ච සමුප්පාදය) දැනීමෙන් ද, දෙවෙනිවර ප්‍රත්‍යක්‍ෂ කර ගැනීමෙන්ද, තුන්වෙනි වර අර්හත් මාර්ගඥානය අවබෝධ කරගැනීමේ ආනුභාවයෙන් මෙම උදාන තුන තුන් යාමයෙහි ප්‍රකාශ කරන ලද්දේය. කවර රාත්‍රියකද? සම්මා සම්බුදුබව ලැබීමෙන් පසු සත්වෙනි රාත්‍රියෙහිය. භාග්‍යවතුන් වහන්සේ වෙසක් පුණු පොහෝදින රාත්‍රියෙහි ප්‍රථම යාමයෙහි පූර්වේනිවාසඥානය සිහිකොට මධ්‍යම යාමයෙහි දිබ්බචක්ඛු ඥානය පිරිසිදු කරගෙන, පශ්චිම යාමයෙහි ප්‍රතීත්‍යසමුත්පාද ධර්මයෙහි ඥානය යොදවා නානා නය සහිත ත්‍රෛභූමික සංස්කාර ධර්මයන් විමසා බලා දැන් අරුණ නගින්නේ යයි සම්මා සම්බෝධියට පැමිණියේය. සර්වඥතා ඥානය අවබෝධ කරද්දීම අරුණ නැංගේය. ඉක්බිති එම පර්යංකයෙන්ම බෝධිවෘක්‍ෂ මූලයෙහි සත්දිනක් ගතකොට සත්වැනි රාත්‍රියෙහි ත්‍රිවිධ යාමයන්හි කියූ ක්‍රමයට පටිච්චසමුප්පාදය සිහිපත්කොට ඉක්බිති මේ උදාන ප්‍රකාශ කළ සේක.