2. ද්විතීය බොධි සූත්‍ර වර්ණනාව
දෙවැන්නෙහි, පටිලොමං යනු ‘අවිජ්ජා නිරොධා සංඛාරනිරොධො’ යි ආදී වශයෙන් කියන ලද අවිජ්ජා ආදී ප්‍රත්‍යයාකාර ධර්මයන් අනුප්පාද නිරෝධයෙන් විනාශ කරන්නේ තමන් විසින් කළයුතු කාර්යය නොකිරීම් වශයෙන් පටිලොමො යි කියනු ලැබේ. පටිලොමං යනු ‘විසමං චන්‍දමසුරියා පරිවත්තන්ති’ යන ආදී තන්හි මෙන් භාවනප්‍රංසක නිර්දේශයෙකි. ඉමස්මිං අසති ඉදං න හොති යන මෙහි අවිජ්ජා ආදී ප්‍රත්‍යයන් මාර්ගඥානයෙන් ප්‍රහීණව නැති වූ කල්හි මේ සංඛාර ආදී ඵලය නො උපදී. නො පවතී. ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති මේ අවිජ්ජා ආදී ප්‍රත්‍යයන් මාර්ගවිඥානයෙන් නිරෝධය කළ බැවින්, නො උපදින ස්වභාවයට පත්කළ බැවින් මේ සංඛාර ආදී ඵල නිරුද්ධ වේ. නොපවතී යන අර්ථ ඇත්තේය. මෙහි ද ‘ඉමස්මිං සති ඉදං හොති ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති’ යන මෙහි මෙය ඇතිකල්හිම උපද මොහුගේ උපදීමෙන් නිරුද්ධ නොවේ යි ඇතුලත නියමයෙන් දක්වන ලද්දේය. ‘ඉමස්මිං අසති යෙවන නසති ඉමස්ස නිරොධා එව න උප්පාදා’ යනු ඇතුලත නියමයෙන් ලක්‍ෂණයෝ දක්වන ලදහයි දතයුතුය. එය ප්‍රථමබෝධි සූත්‍ර වර්ණනාවෙහි කියන ලද ක්‍රමයෙන්ම දතයුතුය.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ යම් පරිදි පටිච්චසමුප්පාදය සිහිකළ සේක්ද, එය සංක්‍ෂේපයෙන් දක්වා පසුව විස්තර වශයෙන් දක්වන්නට ‘අවිජ්ජා නිරොධා සංඛාර නිරොධො’ යනාදිය කියන ලදි. එහි අවිජ්ජානිරොධා යනු ආර්ය මාර්ගඥානයෙන් අවිද්‍යාව ඉතිරි නො කොට සම්පූර්ණයෙන් සිදුකළ නිරෝධයයි. අනුශයප්‍රහාණ වශයෙන් ආර්යමාර්ග ඥානයෙන් අවිද්‍යාව සම්පූර්ණයෙන් විනාශකරන ලදය යන අර්ථයි. ඉදින් වනාහි ප්‍රථම ආර්යමාර්ග ඥානයෙන් ප්‍රහීණවන අවිද්‍යාව අතිශයින්ම ඇතුළත ගැටීම් වශයෙන් ප්‍රහීණ වේ. එහෙත් සම්පූර්ණයෙන්ම ප්‍රහීණ නොවේ. අපායගාමී වූ අවිද්‍යාව ප්‍රථම මාර්ග ඥානයෙන්ම ප්‍රහීණ වේ. මෙලොව අනාර්යභූමියෙහි එක් වරක් ඉපදීමට හේතු වූ අවිද්‍යාව පිළිවෙලින් ද්විතීය, තෘතීය, ආර්යමාර්ගයන්ගෙන් ප්‍රහීණ වේ. ඉතිරි අවිද්‍යාව ප්‍රහීණ නොවේ. අර්හත්මාර්ග ඥානයෙන්ම ඉතිරි වූ අවිද්‍යාව ප්‍රහීණ වේ. සංඛාර නිරොධො යනු සංස්කාරයන් නැවත නූපදිනා ආකාරයට නිරුද්ධ වීමයි. මෙසේ නිරුද්ධ වූ සංස්කාරයන්ගේ නිරෝධයෙන් විඤ්ඤාණයද විඤ්ඤාණාදීන්ගේ නිරෝධයෙන් නාමරූප ආදියද නිරුද්ධ වේ යයි දක්වන්නට සංඛාර නිරොධා විඤ්ඤාණ නිරොධො යන ආදිය දක්වා ‘එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස නිරොධො හොති’ යි කියන ලදි. එහි යමක් කිය යුතු නම් ඒ සියල්ල පෙර කියන ලද ක්‍රමයෙන් දතයුතුයි.
තවද මෙහි කිසියම් ලෙසකින් ‘අවිජ්ජා නිරොධා සංඛාර නිරොධෙති සංඛාර නිරොධා විඤ්ඤාණනිරොධොති’ යන මෙපමණකින් සියලු දුක් සමූහයාගේ ඉතිරි නොකොට නිරෝධය කියන ලද්දේය. එසේම යම්සේ අනුලොම් වශයෙන් යම් යම් ප්‍රත්‍යය ධර්මයක් ඇතිකල්හි යම් යම් ප්‍රත්‍යුත්පන්න ධර්ම උපදී. පවතී යන මේ අර්ථය දැක්වීම ‘අවිජ්ජා පච්චයා සංඛාරා -පෙ- සමුදයො හොතී ති’ යි කියන ලදි. මෙසේ ප්‍රතිපක්‍ෂ වශයෙන් ඒ ඒ පච්චය ධර්මයන්ගේ අභාවයෙහි දී ඒ ඒ පච්චුප්පන්න ධර්මය නිරුද්ධ වේ. නො පවතී යන දර්ශනාර්ථය මෙහි ‘අවිජ්ජා නිරොධා සංඛාරනිරොධො සංඛාරනිරොධො විඤ්ඤාණ නිරොධො විඤ්ඤාණ නිරොධො නාමරූප නිරොධො -පෙ- දුක්ඛක්ඛන්‍ධස්ස නිරොධො හොති යි කියන ලදි. අනුලොමයෙහි කාලත්‍රයට අයත් දුක් සමූහයෙහි නිරෝධය දැක්වීමට ද, අනාගතයෙහි ආර්යමාර්ග භාවනාව නැති කල්හි උපදින්නා වූ දුක් සමූහයේ නිරෝධය ආර්යමාර්ග භාවනාවෙන් කැමති වූයේය යන විශේෂය දතයුතුය.
එතමත්‍ථං විදිත්‍වා යනු අවිජ්ජා නිරොධ ආදී වශයෙන් යම් මේ සංඛාර ආදී වූ දුක් සමූහයේ නිරෝධය වේය යි කියන ලද්දේ ද සියලු ආකාරයෙන් ඒ කාරණය දැන ඉමං උදානං උදානෙසි මේ කාරණය දැනගත් කල්හි ‘අවිජ්ජා නිරොධා සංඛාර නිරොධො’යි මෙසේ ප්‍රකාශ කරන ලද අවිජ්ජා ආදී ප්‍රත්‍යයන්ගේ විනාශය අවබෝධ කරගැනීමේ උතුම් බව ප්‍රකාශ කරන උදානය ප්‍රකාශ කළේය යන අර්ථ ඇත්තේය.
එහි සංක්‍ෂේප අර්ථය මෙසේය. යම්ලෙසකින් අවිජ්ජා ආදී ප්‍රත්‍ය ධර්මයන්ගේ අනුප්පාද නිරෝධ සංඛ්‍යාත වූ ක්‍ෂයභාවය දැනගත්තේය. අවබෝධ කෙළේය. එබැවින් කියන ලද පරිදි කෙලෙස් තවන වීර්යය ඇති, ධ්‍යාන වඩන බ්‍රාහ්මණයාට හෙවත් රහතන්වහන්සේට කියන ලද ප්‍රකාර ඇති බෝධිපාක්‍ෂික ධර්ම හා චතුරාර්ය සත්‍ය ධර්මයෝ පහළ වෙති. උපදිති. ප්‍රකාශයට පත්වෙති. නැතහොත් පච්චයනිරෝධ ධර්මයන් මැනවින් අවබෝධ කර නොගත් බැවින් පෙර කියන ලද සැක උපදින්නේ නම් ඒ සියලු සැක විනාශ වේ. නිරුද්ධ වේ. සෙසු කරුණු පෙර කියන ලද ක්‍රමයෙන් ම දැනගත යුතුයි.
දෙවෙනි බෝධිසුත්ත වර්ණනාව නිමියේ ය.
3. තෘතීය බොධි සූත්‍ර වර්ණනාව
තුන්වැන්නෙහි අනුලොමපටිලොමං යනු අනුලෝමයද, පටිලෝමයද යම් සේ කියන ලද පරිදි අනුලෝම වශයෙන් හා පටිලෝම වශයෙන් ද යන අර්ථයි. පෙර ද අනුලෝම පටිලෝම වශයෙන් පටිච්ච සමුප්පාදය සිහිපත් කළ ප්‍රවෘත්තිය සූත්‍ර දෙකෙහි කියන ලද්දේ නොවේද, මෙහි කුමක් හෙයින් නැවතත් දෙ අයුරකින් එම සිහිපත් කිරීමේ ප්‍රවෘත්තිය කියා ද? එය දෙ අයුරකින් තුන්වෙනි වරටත් සිහිපත් කිරීමේ පුවත කිය යුතු නිසාය. දෙයාකාරයකින් කෙසේ නම් සිහිපත් කිරීම පැවැත්වීද, අනුලෝම පටිලෝම වශයෙන් පෙර පසු නොවී එක්විටම පටිච්චසමුප්පාදය සිහිපත් කිරීමට නොහැකිය. එය එක්වර සිහිපත් කිරීම සිදුකෙළේය යි පිළිගත යුතු නැත. වාරයෙන් වාරයට සිහිපත් කෙළේය. භාග්‍යවතුන් වහන්සේ පළමුවෙන් අනුලෝම වශයෙන් පටිච්චසමුප්පාදය සිහිපත් කොට එයට අනුරූප වූ ප්‍රථම උදානය ප්‍රකාශ කළ සේක. දෙවෙනිවර පටිලෝම වශයෙන් සිහිපත්කොට එයට අනුරූප වූ උදානය ප්‍රකාශ කළ සේක. තුන්වෙනි වර එක් වරක් අනුලෝම වශයෙන් ද, අනෙක් වර පටිලෝම වශයෙන් ද සිහිපත් කිරීම් වශයෙන් අනුලෝම පටිලෝම සිහිපත් කළ සේක. අනුලොම පටිලොමං යි එබැවින් කියන ලදි. මෙසේ අනුලෝම පටිලෝම වශයෙන් සිහිපත් කිරීමේ ප්‍රගුණ බව හා බලවත් බව ප්‍රකාශ කරන ලද්දේය.