10. බාහිය සූත්‍ර වර්ණනාව
දසවෙනි සූත්‍රයෙහි බාහියො යනු ඔහුගේ නාමයයි. දාරුචීරියො යනු ලීපොතුවලින් සෑදූ වස්ත්‍රය. සුප්පාරකෙති එනම් වරාය අසල වසයි. මේ බාහිර කවරක්ද? දාරුචීරිය වූයේ කෙසේද? සුප්පාරක වරායං (පටුනට) කෙසේ පැමිණියේද?
එහි පිළිවෙල කතාව මෙසේය - මෙයට පෙර කල්ප සිය දහසකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කාලයෙහි හංසවතී නුවර දසබලයන් වහන්සේගේ ධර්මදේශනාව අසන එක් කුලපුත්‍රයෙක් ශාස්තෲන් වහන්සේ එක් භික්ෂුවක් වහා ධර්මය අවබෝධ කරගන්නා භික්ෂූන් අතර අග්‍රස්ථානයෙහි තබන බව දැක, මේ භික්ෂුව මහා වාසනාවන්තයෙකි. යම් භික්ෂුවක් ශාස්තෲන් වහන්සේ විසින් අග්‍ර ස්ථානයෙහි තබනු ලැබේ නම් ඒකාන්තයෙන් මම ද මෙබඳු සම්මා සම්බුදුවරයකුගේ ශාසනයෙහි පැවිදිව ශාස්තෲන් වහන්සේ විසින් මේ සමානව අග්‍රස්ථානයෙහි තැබිය යුත්තෙක් වන්නේ නම් මට වාසනාවන්තයෙක් වන්නෙමියි මේ භික්ෂුව මෙන් ඒ තනතුර පතා එයට සුදුසු වූ බෝධිකාරක කර්ම කොට, දිවි ඇති තෙක් පින් කොට සුගතිගාමීව දිව්‍ය මනුෂ්‍ය ලෝකයන්හි සැරිසරන්නේ කාශ්‍යප බුදුන්ගේ සසුනෙහි පැවිදිව පිරිපුන් සිල් ඇතිව මහණදම් පුරන්නේ ජීවිතක්ෂයට පත්ව දෙව්ලොව උපන්නේය. හෙතෙම බුදුවරු දෙනමක් අතර කාලයක් දෙව්ලොව වසා මේ බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි බාහිර රටේ කුලගෙයක උපන්නේය. බාහිය රටෙහි උපන් බැවින් ‘බාහියො’ යි ඔහු හැඳින්වූහ. හෙතෙම වයසට පැමිණ වෙළඳාම පිණිස බොහෝ බඩුවලින් නැවක් පුරවා මුහුදට පිවිස සත්වරක් නොයෙක් රටවලට ගොස් දියුණුව ලබා තමන්ගේ නගරයට පැමිණියේය.
අටවෙනි වාරයෙහි වනාහි ස්වර්ණභූමියට යන්නෙමියි පුරවන ලද භාණ්ඩ ඇතිව නැව් නැංගේය. නැව මහා සමුද්‍රයෙහි ගිලී තමන් කැමති දේශයට නො පැමිණම මුහුද මැද බිඳී එහි සිටි මහජනයා මසුන් කැසබුවන් විසින් කන ලද්දේය. බාහිය වනාහි නැවෙහි ලෑල්ලක් ගෙන පිහිනන්නේ රළපහර නිසා ටිකෙන් ටික වේගයෙන් පිහිනා සත්වැනි දවසෙහි සුප්පාරක නම් පටුන් පෙදෙසට (වරායට) පැමිණියේය. හෙතෙම ඇඳීමට වස්ත්‍රයක් නැතිව උපන් ස්වරූපයෙන්ම (නිරුවත්ව) සමුද්‍ර තීරයෙහි හොත්තේ වෙහෙස දුරුකොට සුලු සැනසිල්ලක් නැගිට ලජ්ජාවෙන් පඳුරු අතරට පිවිස විලි වසාගෙන ඇඳීමට කිසිවක් නොදැක වරා ඉති කඩා ගස් පට්ටාවලින් වෙලා අඳින වස්ත්‍රයක් මෙන් ඇන්දේය. සමහරු ලී පතුරු විද ගස් පට්ටාවලින් අමුණා අඳින වස්ත්‍රයක් මෙන් කොට ඇන්දේය යි කියති. මෙසේ සියලු කල්හිම ලී පතුරුවලින් සෑදූ වස්ත්‍ර දැරූ හෙයින් දාරුචීරියො යි ද පූර්වනාමය වශයෙන් බාහියො යිද ප්‍රකට විය.
එක් කබලක් අතින් ගෙන සුප්පාරක පටුනෙහි පිඬු පිණිස හැසිරෙන ඔහු දැක මිනිස්සු ‘දෙවියන් සහිත ලෝකයෙහි රහත්හු වෙති. මොහුද එවන්නෙකු විය යුතුයි. කිමෙක්ද, මේ ආර්යයා දෙනු ලබන වස්ත්‍ර ගන්නේද, නැතිනම් අල්පේච්ඡබාවය නිසා නො ගන්නේ ද’යි විමසමින් නොයෙක් දිසාවන්ගෙන් ගෙන අවුත් වස්ත්‍ර පිළිගැන්වූහ. ‘ඉදින් මම මේ ආකාරයට නො පැමිණියේම නම් මේ අය මා කෙරෙහි නොපහදින්නෝය. මම මේ වස්ත්‍ර ප්‍රතික්ෂේප කොට මේ ආකාරයෙන්ම වාසය කරන්නෙම් නම් මෙසේ මට ලාභ සත්කාර උපදින්නේයයි සිතුවේය. හෙතෙම මෙසේ සිතා කුහක බවෙහි පිහිටා වස්ත්‍ර පිළි නොගත්තේය. මිනිස්සු ආශ්චර්යයෙකි. මේ ආර්යයා ඒකාන්තයෙන් අල්පේච්ඡයෙකි. බෙහෙවින් සතුටට පැමිණ පැහැදුන සිතින් මහත් වූ සත්කාර සම්මාන කළහ.
හෙතෙමේ ද දන් වළඳා නුදුරු තන්හි ඇති දේව ආයතනයකට ගියේය. මහජනයාද ඔහු සමගම ගොස් ඒ දේව ආයතනය සංස්කරණය කොට දුන්නේය. හෙතෙම ‘මොවුහු මාගේ ලී පතුරු දැරීම් පමණෙහි පැහැදී මෙසේ විවිධ සත්කාර සම්මාන කරති. මොවුන් මා ඉතා උසස් පිළිවෙතින් සිටිතියි සිතන බැවින් සැහැල්ලු පිරිකර ඇතිව අල්පේච්ඡවම විසුවේය. ඔවුන් විසින් රහත් කෙනෙකැයි පිළිගන්නා බැවින් තමන් රහතෙකැයි සිතුවේය. මතු මතුත් ඔහුට උපන් සත්කාර බොහෝ විය. මහත් වූ ප්‍රත්‍යලාභය සිදුවිය. එහෙයින් තෙන ඛො පන සමයෙන බාහියො දාරුචීරියො සුප්පාරකෙ පටිවසති සමුද්දතීරෙ සක්කතො ගරුකතොති ආදිය කියන ලදි.