පටිච්ච සමුප්පාදං යනු ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මයයි. අවිජ්ජා ආදී ප්‍රත්‍ය ධර්මයෝ පටිච්ච සමුප්පාද නම් වේ. එය කෙසේ දැනගත යුතුද? භාග්‍යවතුන් වහන්සේගේ වචනයෙන්, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ආනන්ද, එහෙයින් මෙහි ජරාමරණයට මේ ජාතියම හේතු වේ. මෙයම නිදාන වේ. මෙයම සමුදය වේ. මෙයම ප්‍රත්‍ය වේ. සංස්කාරයන්ට යම් අවිද්‍යා ආදියක් වේ නම් එයට හේතුව ද්වාදස වේ.
එය දොළොස් වැදෑරුම්ය. ද්වාදස වූ ප්‍රතීත්‍ය සමුත්පාදය යනු එහි වචනාර්ථ යි. ප්‍රත්‍ය සමූහය ඔවුනොවුන් නිසා සමව සංඛාරාදි ප්‍රත්‍යයොත්පහන ධර්මයන් උපදවන හෙයින් පටිච්චසමුප්පාදය යි දේශනා කළහ. තවද හේතු කොටගෙන අවබෝධ කළයුතු බැවින්, අවබෝධ කළයුතු ප්‍රත්‍යයන්ගේ උත්පාදය පටිච්චසමුප්පාද නම් වේ. ඵලයක් උපදවීමට සමත් වූයේ හේතු නම් වේ. අවබෝධ කරගන්නට සුදුසු වූයේ පටිච්ච නම් වේ. මැනවින් තෙමේ ම උපදවානුයි සමුප්පාද නම් වේ. ප්‍රත්‍යයම සමුප්පාද වේනුයි පටිච්චසමුප්පාද නම් වේ.
අනුලොමං යනු අවිජ්ජා පච්චයා සංඛාරා ආදී වශයෙන් කියන ලද අවිජ්ජා ආදී ප්‍රත්‍යයාකාර ධර්ම තමන් විසින් අවබෝධ කරගත යුතු බැවින් අනුලොමයි කියනු ලැබේ. හෙවත් මුල පටන් අවසානය දක්වා කියයුතු බැවින් හා පවතින බැවින් අනුලෝමයි කියනු ලැබේ.
සාධුකං මනසාකාසි යමෙක් යම් ප්‍රත්‍ය ධර්මයක් යම් ප්‍රත්‍ය ධර්මයකට හේතු ප්‍රත්‍ය වශයෙන් ප්‍රත්‍ය වේද, ඒ ඒ ප්‍රත්‍ය වෙනස් නො කොට, ඉතිරි නො කොට ප්‍රත්‍යවෙක්‍ෂා වශයෙන් සිතෙහි තබා ගත්තේය යන අර්ථය, යම් ලෙසකින් භාග්‍යවතුන් වහන්සේ පටිච්චසමුප්පාද ධර්මයන් අනුලෝම වශයෙන් සිතෙහි තැන්පත් කර ගත්තේ ද, සංක්‍ෂේපයෙන් එය පැහැදිලි කරන්නට ‘ඉති ඉමස්මිං සති ඉදං හොති ඉමස්සුප්පාද ඉදං උප්පජ්ජති’ යි කියන ලදි.
එහි ඉති යනු මෙසේ නොයෙක් ආකාරයෙන් යන අර්ථයි. ඉමස්මිං සති ඉදං හොති යනු මෙම අවිජ්ජා ආදී ප්‍රත්‍යයන් ඇති කල්හි මේ සංඛාරාදී ඵල ඇති වේ. ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති යනු මෙම අවිජ්ජා ආදී ප්‍රත්‍යයන්ගේ හටගැනීමෙන් මෙම සංඛාරාදී ඵල උපදී යන අර්ථයි. ඉමස්මිං අසති ඉදං නහොති ඉමස්මිං නිරොධා ඉදං නිරුජ්ඣති අවිජ්ජා ආදීන්ගේ අභාවයෙන් සංඛාරාදීන්ගේ අභාවයත් අවිජ්ජා ආදීන්ගේ නිරෝධයත් සංඛාර ආදීන්ගේ නිරෝධයත් වේ. දෙවන තුන්වන සූත්‍රයන්ගෙන් මෙම ප්‍රථම ප්‍රත්‍ය ලක්‍ෂණය දක්වන ලද්දේය. ‘ඉමස්මිං සති එව න අසති. ඉමස්සුප්පාදා එව න අනුප්පාදා අනිරොධා එව න නිරොධා’ යන මෙයින් ප්‍රතීත්‍යසමුත්පාදයේ ඇතුලත නියමය කියන ලදැයි දතයුතුයි. නිරොධොති අවිද්‍යාදීන් ගේ නො ඇලීම් හේතුවෙන් මතු නො උපදවීම නො පැවතීම කියන ලදි. අවිජ්ජායත්‍ථෙව අසෙසවිරාග නිරොධො සංඛාර නිරොධො යන ආදිය නිරොධතිරොධිය ද උප්පාදනිරොධී භාවයෙන් කියන ලදි. එබැවින් එය ‘ඉමස්සනිරොධා ඉදං නිරුජ්ඣති’ දක්වන ලදි.