වඩ්ඪ මාතා ථේරීගාථා වර්ණනාව
නවවන නිපාතයෙහි මාසු තෙ වඩ්ඪ ලොකස්මිං ආදිය වඩ්ඪමාතා තෙරණියගේ ගාථාය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර ඇත්තී ඒ ඒ භවයන්හිදී කුසල් රැස්කර මේ බුදුපතෙහි භාරුකච්ඡ නගරයෙහි කුලගෙයක ඉපිද වයස් පැමිණි කල්හි පතිකුලයට ගියා එක් පුතෙකු බිහි කළාය. ඔහු වඩ්ඪ නමින් පළටවිය. එතැන් පටන් ඇය වඩ්ඪමාතා යනුවෙන් හැඳින්විණ. ඕ භික්ෂුණීන් වෙතින් බණ අසා සැදැහැය ලබා පුතා නෑයන්ට බාරදී භික්ෂුණීන්ගේ ආරාමයකට ගොස් පැවිදි වූවාය. මෙයින් පසුව යමක් කිවයුතුද ඒ සියල්ල වඩ්ඪ තෙරණුවන්ගේ වස්තුවෙහි සඳහන් කළ පරිදිමය. වඩ්ඪ තෙරුනුවන් තමාගේ පොරෝණය නොමැතිව භික්ෂුණීන්ගේ ආරාමයට ගියවිට මේ භික්ෂුණිය ඔහු දැක ‘කුමක් හෙයින් ඔබ හුදෙකලාවම පොරෝණය නොමැති මෙහි ආවෙහිද?’ යනුවෙන් චෝදනා කර අවවාද දෙන්නී මෙසේ කීවාය:
මාසු තෙ වඩ්ඪ ලොකම්හි වනථො අහු කුදාචනං,
මා පුත්තක පුනප්පුනං අහු දුක්ඛස්ස භාගිමා
මා පුත්තක පුනප්පුනං අහු දුක්ඛස්ස භාගිමා
සුඛං හි වඩ්ඪ මුනයො අනෙජා ඡින්නසංසයා,
සීතිභූතා දමප්පත්තා විහරන්ති අනාසවා
සීතිභූතා දමප්පත්තා විහරන්ති අනාසවා
තෙ හානුචිණ්ණං ඉසීහි මග්ගං දස්සනපත්තියා,
දුක්ඛස්සන්තකිරියාය ත්වං වඩ්ඪ අනුබ්රෑහය
දුක්ඛස්සන්තකිරියාය ත්වං වඩ්ඪ අනුබ්රෑහය
වඩ්ඪ, ඔබ කිසි කලෙකත් ලෝකයෙහි කෙලෙස් දැලට ගොදුරු නොවන්න. පුත්රය, ඔබ නැවත නැවතත් දුකෙහි කොටස්කාරයෙකු නොවන්න.
තෘෂ්ණා රහිතවූ පහවූ සැකය ඇති සිහිල් වූ හික්මුණාවූ අසව් දුරුකළා වූ මුනීහු සුව සේ වෙසෙති.
ඒ සෘෂිවරුන් විසින් පුරුදු කරනලද මාර්ගය වඩ්ඪ, ඔබ ද සම්යක් දෘෂ්ටිය ලබාගනු පිණිස හා දුක් කෙළවරකිරීම පිණිස වර්ධනය කරගනුව.
එහි මාසු තෙ වඩ්ඪ ලොකම්හි වනථො අහු කුදාචනං - මෙහි සු යනු නිපාත මාත්රයකි. වඩ්ඪ පුත්රය, මේ සියලු සත්ත්ව ලෝකයෙහි හා සංස්කාර ලෝකයෙහි ඔබට කෙලෙස් ගැහැටක් කිසිකලෙකත් මා අහු නොවේවා. එයට හේතුව කියන ලදී. මා පුත්තක පුනප්පුනං අහු දුක්ඛස්ස භාගිමා - තෘෂ්ණාව රැස්කරමින් නැවත නැවත කලින්කල ඉපදීම ආදී දුක්වලට කොටස්කාරයෙකු නොවන්න.
මෙසේ තෘෂ්ණාව සිඳ නොදැමීමේ ආදීනව පෙන්වා දැන් සිඳ දැමීමේ අනුසස් පෙන්වන්නී සුඛං හි වඩ්ඪ ආදිය කීවාය. එහි තේරුම පුත්ර වඩ්ඪ, මුනිවරයන්ගේ ධර්මයෙහි හැසිරීමෙන් මුනයො - ඒ හා සංඛ්යාත තෘෂ්ණාව නැති බැවින් අනෙජා, දර්ශන මාර්ගයෙන්ම දුරුකළ බැවින් ජින්නසංසයා - සියලු කෙලෙස් දාහයන් නිසා ඇති හෙයින් සීතිභූතා - උතුම්වූ හික්මීම ලබාගෙන ඇති බැවින් දමප්පත්තා අනාසවා - අසව් දුරුකළෝ සුවසේ වෙසෙති. දැන් ඔවුන්ට සිතෙහි කිසිම දුකක් නැත. මතුවටද කිසිදු දුකක් නොවන්නේය.
යම් සෙයකින් එවැන්නක් නොවේද එහෙයින් තෙහානුචිණ්ණං ඉසීහි -පෙ- අනුබ්රෑහය තෙහි: ක්ෂීණාශ්රවයන් විසින් අනුචිණ්ණං - පිළිපන්නාවූ සමථ හා විදර්ශනා මාර්ගය ඥානදර්ශනය ලබාගනු පිණිස, සියලු සසරදුක් කෙළවර කිරීම පිණිස වඩ්ඪ ඔබ අනුබ්රෑහය වඩව,
එය අසා වඩ්ඪ තෙරණුවෝ ඒකාන්තයෙන්ම මගේ මව රහත් පෙලෙහි පිහිටා ඇතැයි සිතා ඒ බව කියන්නේ මේ ගාථාව ප්රකාශ කළහ:
විසාරදාව භණසි ඵතමත්ථං ජනෙත්ති මෙ,
මඤ්ඤාමි නූන මාමිකෙ වනථො තෙ න විජ්ජති
මඤ්ඤාමි නූන මාමිකෙ වනථො තෙ න විජ්ජති
එහි විසාරදාව භණසි එතමත්ථං ජනෙත්ති මෙ - ‘වඩ්ඪ, ඔබට කිසිකලෙකත් ලෝකයෙහි තෘෂ්ණාවක් නොවේවා’ යන මේ අර්ථය, මේ අවවාදයයි. මෑණියෙනි, දුරුකළ ඇලීම් ඇතිව එහි නොලැග නොඇලී මට කියන්නෙහිය. එහෙයින් මඤ්ඤාමි නූන මාමිකෙ වනථො තෙ න විජ්ජති ඒකාන්තයෙන්ම, මගේ මැණියෙනි, මා කෙරෙහි ගෘහාශ්රිත ප්රේම මාත්රයක් පවා ඔබ තුළ නැතැයි සිතමි. මමත්වයක් නැත යන තේරුමය.
එය අසා තෙරණියෝ අනුමාත්ර වූ හෝ ක්ලේෂයක් කිසිසේත්ම මා තුළ නැතැයි කියා තමාගේ කාර්යය කර නිමවා ඇති බව කියන්නී මෙසේ ප්රකාශ කළාය:
යෙ කෙචි වඩ්ඪ සංඛාරා හීනා උක්කට්ඨමජ්ඣිමා,
අණුපි අණුමතෙතාපි වනථො මෙ නවිජ්ජති
අණුපි අණුමතෙතාපි වනථො මෙ නවිජ්ජති
සබ්බෙ මෙ ආසවා ඛීණා අප්පමත්තස්ස ඣායතො,
තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං
තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං
වඩ්ඪ හීන, උත්කෘෂ්ඨ, මධ්යම ආදී වශයෙන් යම් සංස්කාරයක් වේද ඒ තෘෂ්ණාවෙන් අණුවක් හෝ අණුමාත්රයක් හෝ මා තුළ නැත.
අප්රමාදීව ධ්යානයෙහි යෙදෙන්නා වූ මගේ සියලු අසව් දුරුවිය. ත්රිවිද්යාව ලබාගතිමි. බුදුරදුන්ගේ අවවාදය අනුව ගියෙමි.
එහි යෙ කෙචි - අනියම් බවක් ඇඟවීම සඳහාය. සංඛාරා - නිපැදුණු ධර්මයෝ, හීනා ලාමක, පිළිකුල් උපදවන, උක්කට්ඨමජ්ඣිමා ප්රණීතවූ මෙන්ම මධ්යම වූ ඒවා අතර නිපැයුණු ධර්මයෝ හීනය, සම්පූර්ණයෙන් නිපැයුණු ධර්මයෝ උසස් ධර්මයෝය, මේ දෙකෙන්ම මිශ්රවූ ධර්මයෝ මධ්යමය, හීනවූ ආශාවන් විසින් නිපැයුණු ධර්මයෝ හීනය, මධ්යම ආශාවන් විසින් නිපැයුණු ධර්මයෝ මධ්යමය, ප්රණීතවූවෝ උසස්ය. අකුසල ධර්මයෝ හීනය, ලෝකෝත්තර ධර්මයෝ උසස්ය, සෙස්ස මධ්යමය. අණුපි අණුමත්තොපි - හුදෙක් ඔබ කෙරෙහි මතු නොව, හීනාදි භෙද වශයෙන් වෙනස්වූ යම් සංස්කාරයෙක් වේද ඒ සියල්ලෙහිම අණුවක් හෝ අණුමාත්රයක් හෝ ඉතා සුලු වූ හෝ තෘෂ්ණාවක් මා තුළ නොපවතී.
එයට හේතුව කියනලදී, සබ්බෙ මේ ආසවා ඛීණා අප්පමත්තස්ස ඣායතො - එහි අප්පමත්තස්ස ඣායතො - අප්රමාදීව හාවනා කරන්නාවූ, ලිංගභේදය නිසා මෙය මෙසේ කියා ඇත. එහිද, යම් හෙයකින් ත්රිවිද්යාව ලබාගත්තීද එහෙයින් බුදුන්ගේ අනුශාසනාව පිළිපැදි බවද, යම් හෙයකින් අප්රමාදීව භාවනා කරන්නීද එහෙයින් ඇයගේ සියලු අසව් සිඳීගිය බවද කී අයුරුය. අණුවක් හෝ අණුමාත්රයක් හෝ තෘෂ්ණාවක් මා තුළ නැත යනුවෙන් යොදාගතයුතුය.