11. ඒකාදශනිපාතය
කිසාගෝතමී ථේරීගාථා වර්ණනාව
එකොළොස්වන නිපාතයෙහි කල්යාණමිත්තතා යනුවෙන් ඇරඹෙන ගාථා කිසාගෝතමියගේය. මෝතොමෝ පියුමතුරා බුදුන්ගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද දැන ඉගෙනගත් පසු දිනක් බුදුන්ගෙන් බණ අසන්නී බුදුන් දළසිවුරු දරන භික්ෂුණීන්ගෙන් එක්තරා භික්ෂුණියක් අගතනතුරෙහි පිහිටුවනු දැක ඒ සඳහා අධිකාර්යය කොට ඒ තනතුර පැතුවාය. ඕතොමෝ කල්ප සියක්දහසක් දෙව්මිනිස් දෙගතියෙහි හැසිරෙන්නී මේ බුදුපතෙහි සැවැත්නුවර දුගීකුලයක උපන්නාය. ඇයගේ නම ගෝතමීය. කෙට්ටු සිරුරක් ඇති බැවින් කිසාගෝතමී යනුවෙන් හැඳින්විණ. ඇය පතිකුලයට ගියායින් පසු ‘දුප්පත් පවුලක දියණියකැයි’ පරිහව කළහ. කලෙකදී ඕතොමෝ පුතෙකු වැදුවාය. පුතෙකු ලැබුණු නිසා ඇයට සම්මානද ලැබිණ. ඇයගේ පුතා දුව ඇවිදින කාලයෙහි කලුරිය කළාය. ඒ ශෝකයෙන් ඕ උමතුවූවාය.
පෙරදින පරිභවයට ගොදුරුවූ මම පුතා උපන් දින සිට ගෞරවයට පැමිණියෙමි. මොවුහු මගේ පුතා බැහැර කිරීමට තැත්කරති යනුවෙන් ශෝකයෙන් උමතුවී මළසිරුර ඇකයෙන් ගෙන ‘මගේ පුතාට බෙහෙතක් දෙව’ යනුවෙන් නගරයෙහි ගෙපිළිවෙළින් හැසිරෙයි. ‘මෙයට බෙහෙත් කොහිදැ’යි මිනිස්සු පරිභව කරත්මය. ඕ ඔවුන්ගේ කථා නොතැකුවාය. ඉක්බිති එක්තරා නුවණැති පුරුෂයෙක් පුත්‍ර ශෝකයෙන් ඇයගේ සිත වික්ෂිප්ත වී තිබෙන බවත් මෙයට පිළියම බුදුන්වහන්සේ පමණක් දනිතැයි සිතා ‘නැගණිය, ඔබේ පුතාට බෙහෙතක් බුදුන් වෙත එළඹ අසාගන්න’ යනුවෙන් දැනුම් දුන්නේය. ඕතොමෝ බුදුන් ධර්ම දේශනා කරන අවස්ථාවේදී විහාරයට ගොස් ‘භාග්‍යවතුන් වහන්ස, මගේ පුතාට බෙහෙතක් දෙන්න’ යනුයෙන් සැලකළාය. ශාස්තෲන් වහන්සේ ඇයගේ උපනිශ්‍රය සම්පත්තිය දැක ‘නගරයට ගොස් කිසිවෙකු නොමළවිරූ ගෙයකින් අබඇටයක් ගෙනෙව’යි වදාළහ. ‘යෙහෙකි ස්වාමීනි’යි කියා ඕතොමෝ බෙහෙවින් සතුටුවී නගරයට ගොස් පළමුවන ගෙයට පිවිස ‘මගේ පුතාට බෙහෙතක් කරනු පිණිස ශාස්තෲන් වහන්සේ අබ ඇටයක් ගෙනෙන ලෙස මට දැනුම් දුන්හ. ඉදින් මේ ගෙදර කිසිවෙකු මැරී නැත්නම් මට අබ ඇටයක් දෙන්න’ යනුවෙන් ඉල්වූවාය. ‘මෙහි මළවුන්ගේ සංඛ්‍යාව මෙතෙකැයි ගණන් වශයෙන් කීමට කවරෙකුට හැකිදැ’යි ඔවුහු කීහ. ‘එසේනම් මට එයින් පලක් නැතැ’යි කියා දෙවන තුන්වන ආදී ගෙවලටද ගොස් එම පිළිතුරම ලදින් බුදුන්ගේ අනුහසින් ඇයගේ උමතුබව පහව ගොස් පියවි සිත ලබා මෙසේ සිතුවාය. මුලු නුවරෙහිම මේ ධර්මතාව එකසේමය. මෙය හිතානුකම්පක බුදුන්වහන්සේ විසින් දක්නා ලද්දකැයි’ සංවේගයට පත්ව එතැනින්ම පිටත්ව ගොස් පුතා අමුසොහොනෙහි දමා මේ ගාථාව කීවාය:
මෙය ගමක ධර්මතාවක් නොව, නිගමක ධර්මතාවක් නොව, එක පවුලක ධර්මතාවක්ද නොව දෙවියන් සහිත සමස්ත ලෝකයාගේම එකම ධර්මතාව මෙයය-එනම් අනිත්‍යතාවය.
මෙසේද කියා වනාහි බුදුන් වෙත ගියාය. ඉක්බිති බුදුහු ‘ගෞතමිය, අබැටක් ලද්දෙහිදැ’යි ඇසූහ. ‘ස්වාමීනි, අබැටෙහි කාර්යය ඉෂ්ටවිය, මට දැන් පිහිටක් වනු මැනවි’ ඕතොමෝ ඉල්වා සිටියාය. ඉක්බිති බුදුහු ඇය අමතා:
පුතුන් හා ගවයන්ගෙන් සතුටු වන ඇලීම් සහිත පුද්ගලයා මිනිසුන් නිදාගෙන සිටින ගමක් ජලප්‍රවාහයෙන් ගසාගෙන යන්නාක් මෙන් මාරයා ඇවිත් රැගෙන යයි.
යන ගාථාව ප්‍රකාශ කළාය.
ඒ ගාථාව අවසාන වෙත්ම ඕතොමෝ හුන් අයුරින්ම සෝවාන්පෙලෙහි පිහිටා බුදුන්ගෙන් පැවිද්ද අයැදියාය. බුදුහු පැවිද්ද අනුදත්හ. ඕ තෙවරක් බුදුන් පැදකුණු කොට වැඳ භික්ෂුණින්ගේ ආරාමයකට ගොස් පැවිද්ද හා උපසම්පදාව ලබා නුවණින් මෙනෙහි කරමින් හැම කටයුත්තක්ම කරන්නී නොබෝ කලෙකින්ම විදසුන් වැඩුවාය. ඉක්බිති බුදුන්වහන්සේ ඇය උදෙසා-