උපචාලා ථේරීගාථා වර්ණනාව
සතිමතී යන ගාථාව උපචාලා තෙරණියගේය. ඇයගේ කථාවස්තුව චාලා භික්‍ෂුණියගේ කථාවෙහි කී පරිදිමය. මෝතොමෝද චාලා තෙරණිය මෙන් පැවිදිව, විදර්‍ශනාව පිහිටුවා රහත් බවට පැමිණ මෙසේ උදන් ඇනුවාය.
සතිමතී චක්‍ඛුමතී භික්‍ඛුනී භාවිතින්‍ද්‍රියා,
පටිවිජ්ඣි පදං සන්තං අකාපුරිසසෙවිතං
සිහිය දියුණුකළ පැණස වැඩු, වඩන ලද ඉඳුරන් ඇති භික්‍ෂුණිය ලාමක මිනිසුන් නොසෙව්නා ශාන්ත පදය අවබෝධ කළාය.
එහි සතිමතී යනු සිහියෙන් සමන්විත වූයේ, පළමුව සතිඤාණයෙන් සමන්විතව පසුව ආර්යමාර්ගය වඩනලද හෙයින් සිහිය දියුණු වූ අවස්ථාවට පැමිණි හෙයින් උතුම් වූ සිහියෙන් යුක්ත වූ යන අර්ථයයි. චක්‍ඛුමතී - ප්‍රඥා නමැති ඇසින් යුක්තවූයේ, ආරම්භයෙහි පහළවීම කරා ගෙනයන්නාවූ උතුම් විනිවිද දැකීමේ නුවණින් යුක්ත වූ, ප්‍රඥාව අභිවර්‍ධනය වූ හෙයින් පරම ප්‍රඥා චක්‍ෂුසයෙන් සමන්නාගත වූ බව කියන ලද්දේ වෙයි. අකාපුරිසසෙවිතං - අලාමක උතුම් මිනිසුන් විසින්, බුද්ධාදි ආර්‍යයන් විසින් සෙවුනාලද
‘කින්නු ජාතිං න රොවෙසි’ යන ගාථාව තෙරණිය කාමයන්හි උත්සුක කරවනු පිණිස මාරයා විසින් කියන ලදී. ‘භික්‍ෂුණිය, ඔබ කුමක් හෙයින් නොකැමැත්තෙහිද’ යහලුව, මම උත්පත්තිය නොකැමැත්තෙමි’ යනුවෙන් කීවාය. ඉක්බිති මාරයා උපන් තැනැත්තා කාමයන් පරිභෝග කළයුතුය, එහෙයින් උත්පත්තිය ද කැමතිවිය යුතුය, කාමයන් වැළඳිය යුතුය යන්න පෙන්වමින් මේ ගාථාව කීවේය:
කින්නු ජාතිං න රොචෙසි ජාතො කාමානි භුඤ්ජති,
භූඤ්ජාහි කාමරතියො මාහු පච්ඡානුතාපිනී
උපත කැමැති නොවන්නේ කුමක් හෙයින්ද? උපන් තැනැත්තා කම්සුව සෙවිය යුතුය. කම්සුව වළඳන්න. පසුව පසුතැවිලි නොවන්න.
එහි තේරුම මෙසේය: උපචාලා, ඔබ කුමක් හෙයින් උපත නොකැමැත්තෙහිද? යම්හෙයකින් ජාතො කාමානි භුඤ්ජති - මෙලෙව්හි උපන් තැනැත්තා කාමගුණයන්ගෙන් පරිපූර්‍ණ රූපාදීන් සේවනය කරමින් කම්සුවය විඳියි. නූපන් තැනැත්තෙකුට එවැන්නක් නැත. එහෙයින් භුඤ්ජාහි කාමරතියො - කාමක්‍රීඩාවල යෙදෙව. මාහු පච්ඡානුතාපිනී - තරුණ වියෙහිදී සැපසම්පත් තිබෙද්දීත් මා විසින් කම්සුව නොවළඳනා ලදැයි පසුව පසුතැවිලි නොවන්න.
ඒ අසා තෙරණිතොමෝ උත්පත්තියෙහි දුක්‍ඛ ස්වභාවය හා තමා ඒ විෂය ඉක්මවා සිටින බව තර්‍ජනාත්මකව ප්‍රකාශ කරමින් මේ ගාථා වදාළාය:
ජාතස්ස මරණං හොති හත්‍ථපාදානඡෙදනං,
වධබන්‍ධන පරික්ලෙසං ජාති දුක්‍ඛං නිගච්ඡති
අත්‍ථිසක්‍යකුලෙ ජාතො සම්බුද්ධො අපරාජිතො,
සො මෙ ධම්මමදෙසෙසි ජාතියා සමතික්කමං
දුක්‍ඛං දුක්‍ඛසමුප්පාදං දුක්‍ඛස්ස ච අතික්කමං,
අරියඤ්චට්ඨංගිකං මග්ගං දුක්‍ඛුපසමගාමිනං
තස්සාහං වචනං සුත්‍වා විහරිං සාසනෙ රතා,
තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං
සබ්බත්‍ථ විහතා නන්‍දී තමොක්‍ඛන්‍ධො පදාලිතො,
එවං ජානාහි පාපිම නිහතො ත්‍වමසි අන්තකාති
උපන් තැනැත්තාට මරණය අත්පා කැඩුම් බිඳුම් වධබන්ධන සිත්තැවුල් හටගනී. උපන් තැනැත්තා දුකට පැමිණෙයි.
ශාක්‍ය කුලයෙන් පැමිණි අපරාජිත වූ බුදුන්වහන්සේ වැඩවෙසෙති. උන්වහන්සේ මට දෘෂ්ටීන් පහකරවන්නාවූ ධර්‍මය දේශනා කළ සේක.
දුක හටගැන්ම දුක ඉක්මවීම දුක නැතිකිරීමට වහල්වන අරිඅටඟිමග දෙසූ සේක.
උන්වහන්සේගේ වචනය ඇසු තම සසුනෙහි නිරතව විසීමි, ත්‍රිවිද්‍යාව ලබාගතිමි. බුදුන්ගේ ඔවදන ඉටුකළෙමි.
හැම තැන්හිම පවත්නා ඇලීම ඇසුවෙමි, අඳුර බිඳලීමි, පව්කාරය, එය මෙසේ දනුව, අන්තකය, ඔබ විනාශ වූයෙහිය.
එහි ජාතස්ස මරණං හොති - යම්හෙයකින් උපන් සත්ත්වයාට මරණය සිදුවේද, නූපන් සත්ත්වයාට මරණයක් නැත්තේද එහෙයිනි. හුදෙක් මරණය මතු නොව, ජරාවට පත්වීම, රෝග හටගැනීම ආදී සියල්ලම උපන් තැනැත්තටම සිදුවේ. එසේ වන්නේ උපත හේතුකොටගෙනමය. එහෙයින් බුදුහු මෙසේ වදාළහ. උපත හේතුකොට ජරාව මරණය ශෝකය, වැළපීම දුක දොම්නස හා සිත්තැවුල ඇතිවේ. එහෙයින්ම මෙසේ පැවසීය. හත්‍ථපාදානඡෙදනං - අපා කැඩීම බිඳීම උපන් තැනැත්තාට විනා නුපන් තැනැත්තාට සිදුනොවේ. මෙහි අත්පා කැඩුම් බිඳුම් ආදියේ මාර්ගයෙන් දෙතිස් කම්කටොලු ආදියද පෙවූ බව දතයුතුය. එහෙයින් කියන ලදි වධබන්‍ධ පරික්ලෙසං ජාතො දුක්‍ඛං නිගච්ඡති - ජීවිතයට හානිකරවනසුලු මිටිපහරදීම් වැනි වධහිංසා මෙන්ම අහුබැඳුම් ආදී සිරගෙවල විඳින වේදනාද අනෙක් යම්කිසි දුකක් වේද ඒ සියල්ලම උපත ලැබූ තැනැත්තාම විඳියි, නුපන් තැනැත්තා නොවේ. එහෙයින් ‘උත්පත්තිය නොකැමැත්තෙමි’ යනුවෙන් කීවාය.