8. අට්ඨකනිපාතය
සිසූපචාලා ථේරීගාථා වර්ණනාව
අටවන නිපාතයෙහි භික්‍ඛුනිසීලසම්පන්නා ආදිය සිසුපචාලා තෙරණියගේ ගාථාය. මැයගේ කථාවස්තුව ද චාලා භික්‍ෂුණියගේ වස්තුවෙහි කියනලද පරිදිමය. මෝතොමෝ ආයුෂ්මත් ධර්මසේනාපතීන් වහන්සේගේ පැවිදිවීම අසා ඒ ගැන උනන්දු වී පැවිදිව කරනලද පෙරකිස ඇත්තී විදසුන් පිහිටුවා යෙදෙන්නී වෑයම් කරන්නී නොබෝ කලෙකින්ම රහත්බවට පැමිණියාය. රහත්බවට පැමිණ පලසමවත් සුවයෙන් දවසරින්නී එක්දවසක් තමාගේ පිළිවෙත බලා නිමකළ කාර්‍ය ඇති බැවින් සොම්නස් වූවා උදන් බසින් මෙය ගැයුවාය:
භික්‍ඛුනී සීලසම්පන්නා ඉන්‍ද්‍රියෙසු සුසංවුතා,
අධිගච්ඡෙ පදං සන්තං අසෙචනකමොජවං
ඉඳුරන් හික්මවා ගත් සීලසම්පන්න භික්‍ෂුණිය කිසිවෙකු විසින් තෙත් නොකරනු ලැබූ හරයෙන් පිරී (රසවත්වූ) ශාන්තපදය ලබාගන්නීය.
එහි සීලසම්පන්නා - පිරිසිදු භික්‍ෂුණී ශීලයෙන් සමන්විත වූ පිරිපුන්, ඉන්‍ද්‍රියෙසු සුසංවුතා - මනස සයවැනිකොට ඇත්තාවූ ඉඳුරන් මැනවින් හසුරුවා ගත්, රූපාදී ආරම්මනයන් ප්‍රියවූකල රාගයද, අප්‍රියවූ, කල ද්වේෂයද, විෂමව දක්නා කල්හි මෝහයද යන මේ ත්‍රිමූලය හැර මනාකොට වසනලද ඉඳුරන් ඇති, අසෙචනකමොජවං - කිසිවකින් කිසිකෙනෙකුන් විසින් කිළිටි නොකරනු ලැබූ, සාරවත් වූ ස්වභාවයෙන් මධුරවූ සියලු කෙලෙස් ලෙඩ සුවකරන ඖෂධයක් වූ ආර්යමාර්‍ගය නිවන හෝ ගත යුතුය. නිවන්සුව බලාපොරොත්තුවන තැනැත්තා විසින් ආර්යමාර්ගය අනුගමනය කළ යුතු හෙයින් හා කෙලෙස්ගිනි නොමැති හෙයින් ශාන්තපදය යනුවෙන් හැඳින්වීම සුදුසුය.
තාවතිංසා ච යාමා ච තුසිතාචාපි දෙවතා,
නිම්මාණරතිනො දෙවා යෙ දෙවා වසවත්තිනො,
තත්‍ථ චිත්තං පණිධෙහි යත්‍ථ තෙ වුසිතං පුරෙ
ඔබ පෙර විසූ තාවතිංසය, යාමය, තුසිතය, නිම්මාණරතීය, වසවර්තිය යන දෙව්ලොව යම් දෙවිකෙනෙක් වෙසෙද්ද, ඔබ දෙවිවරුන් කෙරෙහි සිත යොමුකරන්න.
මේ ගාථාව කාමස්වර්‍ගයන්හි රුචිය ඇතිකරවනු පිණිස, එහිලා උනන්දුකරවනු පිණිස තෙරණිය සමවතින් ඉවත්කරනු පිණිස මාරයා විසින් කියන ලද්දකි.
එහි එකට පින්කම් කළාවූ තෙතිසක් ජනයෝ යම් තැනෙක උපන්නාහුද එය තාවතිංස නම් විය, එහි වැසියෝ සියලු දෙනම තව්තිසා දෙවිවරු නම්වූහ. ඇතැමෙක් තාවතිංස දේවපුත්‍රයෝ යනු ඔවුන්ගේ නමයයි කියති. දෙව්ලෝ දෙකක් තිබෙන විශිෂ්ට දිව්‍යසුඛයට පැමිණෙන්නෝ, එහි උපත ලබන්නෝ යාම නම් වෙති. දිවසැපතින් තුටු පහටුවන යන අරුතින් තුසිත නම්වේ. ස්වභාවයෙන් පිළියෙල වී තිබෙන අරමුණුවලට අතිරේක වශයෙන් රමණයවනු කැමැති අවස්ථාවලදී තමාගේ රුචියට අනුව සැප සම්පත් නිර්‍මාණය කරගැනීමෙන් ප්‍රීතිවන යන අර්ථයෙන් නිර්‍මාණරතී නම්වේ. සිතැඟි දැන අනුන් විසින් මවනලද සම්පත්ති විෂයයෙහි වසඟවන යන අරුතින් වසවත්ති නම්වේ. තත්‍ථ චිත්තං පණිධෙහි - ඒ තවුතිසාදි දෙව්ලෝ කෙරෙහි ඔබගේ සිත යොමු කරන්න. එහි ඉපදීම කෙරෙහි ආශාව ඇති කරගන්න. චාතුර්මහාරාජකාදී දෙව්ලෝවල තිබෙන සුඛෝපභෝගයන් අනෙක් දිව්‍යලෝකවල තිබෙන සැපසම්පත්වලට වඩා පහත්ය යන අභිප්‍රාවෙන් තාවතිංසාදිය ගෙනහැර දක්වයි. යත්‍ථ තෙ වුසිතං පුරෙ - ඔබ පෙර යම් යම් දෙව්ලෝවල උපත ලැබුවෙහිද, මෝතොමෝ වනාහි පෙර අත්බැව්වල දෙව්ලෝවල උපන්නී තව්තිසාවෙහි පටන් පඤ්චකාමස්වර්‍ගයන්හි සැප විඳ නැවත පහළට බසින්නී තුසිතයෙහි වැස එයින් චුතව දැන් මිනිස් ලෙව්හි උපත ලබා ඇත.
තෙරණියෝ මෙය අසා ‘මාරය, එය එසේ වේවා, ඔබ සඳහන්කළ කාමලෝකයද සෙසු සියලුම ලෝකද රාගගිනි ආදියෙන් ඇවිලෙමින් දැවෙමින් පවතී. එහිලා කිසිම නුවණැත්තෙකුගේ සිත නොඇලෙයි. කාමයන් කෙරෙන් හා ලෝකයෙන් මගේ සිත මිදී ඇත’ යනුවෙන් පවසා තර්ජනාත්මක ස්වරූපයෙන් මාරයාට මෙසේ කීවාය.
තාවතිංසා ච යාමා ච තුසිතා වාපි දෙවතා,
නිම්මාණරතිනො දෙවා යෙ දෙවා වසවත්තිනො
කාලං කාලං භවාභවං සක්කායස්මිං පුරක්‍ඛතා,
අවීතිවත්තා සක්කායං ජාතිමරණසාරිනො
සබ්බො ආදිපිතො ලොකො සබ්බො ලොකො පදීපිතො,
සබ්බ පජ්ජලිතො ලොකො සබ්බො ලොකො පකම්පිතො
අකම්පියං අතුලියං අපුථුජ්ජන සෙවිතං,
බුද්ධො ච ධම්මං දෙසෙසි තත්‍ථ මෙ නිරතො මනො
තස්සාහං වචනං සුත්‍වා විහරිං සාසනෙ රතා,
තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං
සබ්බත්‍ථ විහතානන්‍දි තමොක්‍ඛන්‍ධො පදාලිතො,
එවං ජානාහි පාපිම නිහතො ත්‍වමසි අන්තකාති
තවුතිසා යාම, තුසිත, නිම්මාණරති හා වසවත්ති යන දෙව්ලෝ වැසියෝ කලින්කල භවයෙන් භවයෙහි සක්කාය දෘෂ්ටිය පෙරටුකරගෙන එය නොඉක්මවා උපත හා විපත අනුව හැසිරෙන්නාහුය.
සියලු ලොව ගිනිගෙන දැවේ, සියලු ලොව ඇවිලේ, සියලු ලොව ගින්නෙන් පිළිස්සේ. සියලු ලොව සැලේ.
බුදුහු, කම්පා නොවන, කිසිවෙකුට සම කළ නොහැකි පෘථග්ජනයන් සේවනය නොකරන ධර්‍මය දේශනා කරති. මගේ සිත එහි ඇලිණ.
මම උන්වහන්සේගේ වචනය අසා සසුනෙහි ඇලී විසුවෙමි. ත්‍රිවිද්‍යාව ලබාගතිමි, බුදුන්ගේ අවවාදය පිළිපැදීමි.
හැම තැනකම ආශාව දුරුකළෙමි, අඳුරුකඳ බිඳලීමි. මාරය, ඔබ එසේ දැනගනුව, ඔබ විනාශ වූයෙහිය.
එහි කාලං කාලං - ඒ ඒ කාලය, භවාභවං - භවයෙන් භවයට, සක්කායස්මිං - පඤ්චස්කන්‍ධයෙහි, පුරක්‍ඛතා - පෙරටුකොට ඇත්තාවූ, මෙහි ප්‍රකාශ කරන ලද්දේ මෙයය: මාරය, ඔබ සඳහන් කළ තාවතිංසාදි දෙවිවරු භවයෙන් භවයට යන්නාහු අනිත්‍යතා ආදිය හා නොයෙක් ආදීනවයන්ගෙන් ගැවසුණු ශරීරයෙහි පිහිටියාහු වෙත්, එහෙයින් ඒ භවයෙහි උපන්කල, මැදිවියකල හා අවසාන කාලය යනුය. ඒ ඒ කාලයෙහි පඤ්චස්කන්‍ධයම පෙරටුකොට වෙසෙති. එහෙයින්ම අවීතිවත්තා සක්කායං - නික්මයාම පෙරටු කර නොගෙන පඤ්චස්කන්‍ධ නමැති ඉවුරටම දුවන්නාහු ජාතිමරණසාරිනො - රාගාදියෙන් යුක්තවූ හෙයින් නැවත නැවත උපත හා මරණය අනුව යති. එහෙයින් සසරෙන් නොමිදෙති.
සබ්බො ආදිපිතො ලොකො - ‘මාරය’ ඔබ කියූ කාමලෝකය පමණක් නොව ධාතුත්‍රය සංඛ්‍යාත සියලු ලෝකය රාගාදී එකොළොස් ගින්නකින් ඇවිලී ඇත. ඒවායින්ම නැවත නැවත දැවෙන හෙයින් පදීපිතො - නිතරම එකම ගිනිගුළියක් වී ඇති හෙයින් පජ්ජලිතො - තෘෂ්ණාවෙන් මෙන්ම. සියලු කෙලෙස්වලින්ද ඔබමොබ සැලෙන හෙයින්ද, වෙවුලන හෙයින්ද පකම්පිතො - මෙසේ ඇවිලෙන දැවෙන හා සැලෙන ලෝකයෙහි කිසිවෙකු විසිනුදු සෙලවීමට, කම්පනය කරවීමට නොහැකි හෙයින් අකම්පියං - ගුණ වශයෙන් මෙතෙකැයි මැනීමට නොහැකි හෙයින් තමා වැන්නෙකු නොමැති හෙයින්ද අතුලියං - බුද්ධාදී ආර්‍යයන් විසින් පමණක් ගෝචර භාවයට පැමිණෙන හෙයින්, සේවනය කරන හෙයින් අපුථුජ්ජනසෙවිතං බුද්ධො - භාග්‍යවතුන් වහන්සේ, මාර්‍ගඵල - නිර්‍වාණ වශයෙන් නවවිධ ලොකොත්තර ධර්‍මය මහා කරුණාවෙන් මෙහෙයවනු ලැබූ මනස ඇත්තාහු අදෙසයි, දෙවියන් සහිත ලෝකයාට දේශනා කළ සේක. තත්‍ථ - ඒ ආර්යධර්‍මයෙහි මගේ සිත නිරතො - ඇලුණේ වේ. එයින් පෙරළා නොයනු ඇත යනු තේරුමය. සෙස්ස යට කියනලද පරිදිමය.