චාලා ථේරීගාථා වර්ණනාව
ඝතිං උපට්ඨපෙත්‍වාන ආදී ගාථා චාලා තෙරණියගේය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකාර ඇත්තී ඒ ඒ භවයන්හිදී කුසල් රැස්කර මේ බුදුපතෙහි මගධයෙහි නාළක ගමෙහි රූපසාරී බැමිණියගේ කුසෙහි පිළිසිඳ ගත්තාය. ඇයට නම් තබන දවසෙහි මවුපියෝ චාලා යන නම තැබූහ. ඇයගේ කනිටු සොහොයුරිය උපචාලා නම් විය. ඇයගේ කනිටුතර සොහොයුරිය සිසුපචාලා නම් විය. මේ තිදෙනාම ධම්මසේනාපති තෙරණුවන්ගේ බාල සොහොයුරියෝය. මොවුන් තිදෙනාගේ පුතුන්ගේ නම්ද එවැනිම විය, එනම් ථෙරගාථාවෙහි එන චාල, උපචාල හා සිසුපචාල යනුවෙනි.
මේ සොහොයුරියෝ තිදෙන ධම්මසේනාපති යයි අසා එය ලාමක ධර්‍මවිනයක් නොවිය හැකිය, එය ඕළාරික පැවිද්දක් නොවිය හැකිය, අපේ සොහොයුරු එහි පැවිදි වුයේ එහෙයිනි යනුවෙන් උත්සාහයක් හා දැඩි කැමැත්තක් ඇතිවී කඳුළු වගුරවමින් හඬන පිරිවර ජනයා අතහැර ගොස් පැවිදි වූහ. පැවිදි වී දැඩි අවධානයකින් වෑයම්කරන්නාහු නොබෝ කලෙකින්ම රහත්වූහ. රහත්වී නිවන්සුවයෙන් හා පලසුවයෙන් දවස් යවන්නාහු,
චාලා භික්‍ෂුණිය දිනක් දිවා ආහාරයෙන් පසු පිණ්ඩපාතයෙන් වැළකී අන්ධ වනයට පිවිස දහවල් කාලය ගතකළාය. ඉක්බිති මාරයා ඇය වෙත පැමිණ කාමයෙන් පෙළඹවීමට තැත්කළේය. ඒ පිළිබඳව සූත්‍ර පාඨයෙහි මෙසේ සඳහන් වේ:
‘ඉක්බිති චාලා භික්‍ෂුණී තොමෝ පෙරවරුයෙහි සිවුරු හැඳ පෙරව පාසිවුරු ගෙන පිඬු පිණිස සැවතට පිවිසියාය. සැවතෙහි පිඬු පිණිස හැසිර දවල් දානය ලබා පිණ්ඩපාතයෙන් වැළකී දවල් කාලය ගතකරනු පිණිස අන්ධවනයට පිවිසියාය. අන්ධවනයට පිවිසියාවූ ඕතොමෝ එක්තරා ගසක් මුල දුන්නාය.
ඉක්බිති පව්කාර මාරයා චාලා භික්‍ෂුණිය වෙත එළඹ ඇය බ්‍රහ්මචර්‍යවාසයෙන් මගහරවනු කැමැත්තේ ‘කවරෙකු උදෙසා මුඩුකරගත්තෙහිද? ආදිය විචාළේය. ඉක්බිති ඕතොමෝ ඔහුට ශාස්තෲන් වහන්සේගේ ගුණද ධර්‍මයෙහි නෛර්‍යාණික භාවයද ප්‍රකාශකොට කළකිස ඇතිබව වැඩීමෙන් විෂයසුඛය ඉක්මවා සිටින බව පැවසුවාය. එය ඇසූ මාරයා දුක්දොම්නස් වී එතැනම අතුරුදහන්විය. ඉක්බිති ඕතොමෝ තමා හා මාරයා විසින් කියන ලද ගාථා උදාන වශයෙන් ප්‍රකාශ කළාය:
සතිං උපට්ඨපෙත්‍වාන භික්‍ඛුනී භාවිතින්‍ද්‍රියා,
පටිවිජ්ඣි පදං සන්තං සංඛාරූපසමං සුඛං
කන්නු උද්දිස්ස මුණ්ඩාසි සමණී විය දිස්සසි,
නච රොවෙසි පාසණ්ඩෙ කිමිදං චරසි මොමුහා
ඉතො බහිද්ධා පාසණ්ඩා දිට්ඨියො උපනිස්සිතා,
න තෙ ධම්මං විජානන්ති න තෙ ධම්මස්ස කොවිදා
අත්‍ථි සක්‍යකුලෙ ජාතො බුද්දො අප්පටිපුග්ගලො,
සො මෙ ධම්මමදෙසෙසි දිට්ඨිනං සමතික්කමං
දුක්‍ඛං දුක්‍ඛසමුප්පාදං දුක්‍ඛස්ස ච අතික්කමං,
අරියං චට්ඨංගිකං මග්ගං දුක්‍ඛුපසමගාමිනං
තස්සා හං වචනං සුත්‍වා විහරිං සාසනෙ රතා,
තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං
සබ්බත්‍ථ විහතා නන්‍දී තමොක්‍ඛන්‍ධො පදාලිතො,
එවං ජානාහි පාපිම නිහතො ත්‍වමසි අන්තකාති.
වැඩු ඉඳුරන් ඇති භික්‍ෂුණිය සිහි එළවාගෙන සංස්කාරයන් සිද මීමෙන් ලැබෙන සුවය සංඛ්‍යාත ශාන් තපදය අවබෝධකර ගත්තාය.
මුඩුකරගෙන සිටින්නී කවරෙකු උදෙසාද? ඔබ මෙහෙණක ලෙස පෙනෙයි. පාසණ්ඩයන් කෙරෙහි නොඇලෙහි, මුළාවී මෙසේ හැසිරෙන්නේ ඇයි?
දෘෂ්ටීන් ඇසුරු කරන්නාවූ තීර්ථකයෝ මේ සසුනෙන් බැහැරය. ඔවුහු දහම් නොදනිති. ඔවුහු ධර්‍මයෙහි දක්‍ෂයෝ නොවෙති.
ශාක්‍ය කුලයෙහි උපන් අප්‍රතිපුද්ගල වූ බුදුන්වහන්සේ වෙසෙති. උන්වහන්සේ මට දෘෂ්ටීන් පහකරවන්නාවූ ධර්‍මය දේශනා කළ සේක.
දුක, දුක හටගැන්ම, දුක ඉක්මවීම, දුක් නැතිකිරීමට වහල්වන අරිඅටඟිමග දෙසූ සේක.
උන්වහන්සේගේ වචනය ඇසූ මම සසුනෙහි නිරතව විසීමි, ත්‍රිවිද්‍යාව ලබාගතිමි. බුදුන්ගේ ඔවදන ඉටුකළෙමි.
හැම තැන්හිම පවත්නා ඇලීම ඇසීමි. අඳුර බිඳලීමි, පව්කාරය, එය මෙසේ දනුව. අන්තකය ඔබ විනාශ වූයෙහිය.
එහි සතිං උපට්ඨපෙත්‍වාන - සතිපට්ඨාන භාවනා වශයෙන් ශරීරාදියෙහි අසුභ දුක්‍ඛ අනිත්‍ය අනාත්ම වශයෙන් මැනැවින් සිත පිහිටුවා, භික්‍ඛුනී - තමා සඳහා කියයි, භාවිතින්‍ද්‍රියා ආර්‍යමාර්ගය වැඩීමේ හේතුවෙන් වැඩුණු ශ්‍රද්ධා ආදී පසිඳුරන් ඇති, පටිවිජ්ඣි පදං සන්තං - ශාන්ත පදය වූ නිර්වාණය ක්‍ෂාක්‍ෂාත් කිරීමෙන්, අවබෝධ කිරීමෙන් ප්‍රත්‍යක්‍ෂ කළාය. සංඛාරූපසමං - සියලු සංස්කාරයන්ගේ සමනයට හේතුවූ, සුඛං - අතිමහත් සුවයෙන් යුත්,