අභයා ථේරීගාථා වර්ණනාව
අභයෙ භිදුරො කායො යන මෙය අභය තෙරණියගේ ගාථාවය. මෝද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකර ඇත්තී ඒ ඒ භවයන්හි කුසල් රැස්කරන්නී සිඛී බුදුන්ගේ කාලයෙහි ක්‍ෂත්‍රිය මහාසළකුලයක ඉපිද කල්යාමේදී අරුණ රජුගේ අගමෙහෙසිය වූවාය. දිනක් රජතුමා ඇයට සුවඳවත් උපුල්මල් සතක් දුන්නේය. ඕතොමෝ ඒවා පිළිගෙන ඒවා පැළඳීමෙන් ඇති ඵලය කුමක්දැයි සිතා ඒවා බුදුන්ට පිදීමේ අදහසින් උන්වහන්සේ එහි වඩින තුරු බලා සිටියාය. ඕ ඉක්බිති බුදුන් වඩිනු දැක පහන් සිතින් පෙරගමන්කොට ඒ මල්වලින් පුදා පසඟ පිහිටුවා වැඳ හුන්නීය. ඕතොමෝ ඒ පින්කමින් දෙව්මිනිසුන් අතර හැසිරෙන්නී මේ බුදු උපතෙහි උදේනී නුවර එක් කුලගෙයක උපත ලබා අභය මාතාවගේ සහායිකා වී වෙසෙන්නී ඇය පැවිදි වූ කල්හි ඇය කෙරෙහි හටගත් සෙනෙහස නිසාම තමාද පැවිදි වී ඈ සමග රජගහනුවර වසන අතර එක්දිනක අසුභ භාවනාව සඳහා සීතවනයට පිවිසියාය. බුදුන්වහන්සේ ගඳකිළියෙහිම හුන්සේක් ඇය අරමුණුකළ අරමුණ පෙරටුකොට තබා උන්වහන්සේ ඇයට ඉදිමීම ආදී ස්වභාවය ප්‍රකාශ කළහ. එය දැක ඕතොමෝ සංවේගයට පැමිණියාය. එය දුටු බුදුහු ආලෝකයක් විහිදුවා ඉදිරිපිට හුන්නාක් මෙන් තමා පෙන්වූහ. අනතුරුව -
අභයෙ භිදුරොකායො යත්‍ථ සත්තා පුථුජ්ජනා,
නික්‍ඛිපිස්සාමිමං දෙහං සම්පජානා සතීමතී.
බහූහි දුක්‍ඛධම්මෙහි අප්පමාදරතාය මෙ,
තණ්හක්‍ඛයො අනුප්පත්තො කතං බුද්ධස්ස සාසනං.
අභයා, පුහුදුන් මිනිසුන් ඇලෙන්නා වූ මේ සිරුර බිඳෙනසුලුය. මම මේ සිරුර පිළිබඳ යථා තත්ත්වය දැන සිහිකල්පනාවෙන් යුක්තව බහාලමි.
බොහෝ දුක්කම්කටොළු හේතුකොටගෙන අප්‍රමාදයෙහි නියැළුණු මම තණ්හාව දුරුකිරීමට පැමිණියෙමි. බුදුන්ගේ අවවාදය අනුගමනය කළෙමි.
යන ගාථා ප්‍රකාශ කළාය. ඕතොමෝ ගාථා කෙළවර රහත්බවට පැමිණියාය. එහෙයින් කියන ලදී අපදානයෙහි:
අරුණවතී නගරයෙහි අරුණ නම් රජෙක් විය, මම ඒ රජුගේ අගමෙහෙසිය වී චාරිකාවෙහි හැසුරුණෙමි.
සුවඳවත් වූ උපුල් හතක් ගෙන පහයෙහි හිඳ මෙසේ සිතීමි.
මේ මල් හිසෙහි පැළඳීමෙන් කවර පලක්ද? නැණින් අගතැන්පත් වූ බුදුන්වහන්සේට මෙය සුදුසුයයි,
බුදුන් ගැන සිතමින්, බුදුන් පැමිණියහොත් පුදන්නෙමි යයි දොර අසල හුන්නෙමි.
බබළන කකුධ භාණ්ඩයක් මෙන්, කේශර සිංහරාජයෙකු මෙන් භික්‍ෂූන් වහන්සේ සමගින් බුදුහු විථියට බටහ.
බුදුන්ගේ රැස් විහිදෙනු දැක සතුටින් මෙන්ම සංවේගයෙන් දොර හැර ගොස් ඒ මල්මිට බුදුන්ට පිදුවෙමි.
ඒ උපුල්මල් සත අහසෙහි විසුරුවන ලදින් උන්වහන්සේගේ සිරස මුදුනෙහි ඡත්‍රයක් මෙන් දිස්විය.
එයින් පහන් වූ සිතින් ඇඳිලිබැඳ නමස්කාර කළෙමි. ඒ පිනින් මම තව්තිසාවට ගියෙමි.
මගේ හිස මුදුනෙහි නිල්වන් වහලක් දිසෙයි, එයින් දිවගඳ හමයි, උපුල්මල් සතෙහි පින එබඳුය.
යම් දිනෙක නෑ සමූහයා මා කැඳවාගෙන යෙත්ද, ඒ සියලු පිරිස නිල්වියන් මෙන් පෙනෙයි.
දෙවිවරුන් හැත්තෑ දෙනෙකුගේ මෙහෙසිය වීමි, හැම තන්හිදීම සියල්ලන්ටම ප්‍රමුඛ වී භවයෙහි හැසිරෙමි.
තෙසැටක් සක්විත්තන්ට අගමෙහෙසිකම් කළෙමි. සියල්ලෝම මා අනුව හැසිරෙනි. මා කියන්නක් ඔවුහු පිළිපදිති.
මගේ පැහැය උපුල්වන්ය, සිරුරෙන් එම සුවඳම හමයි, දුර්වර්‍ණනයක් මම කිසි කලෙකත් නොහඳුනමි. මෙය බුද්ධ පූජාවෙහි ප්‍රතිඵලය වේ.
ඍද්ධිපාදයන්හි දක්‍ෂවීමි, බොධ්‍යඞ්ගයන්හි ඇලුණෙමි. අභිඥාව ලබාගතිමි, මෙය බුද්ධ පූජාවෙහි ප්‍රතිඵලය වේ.
සිහිවටන්හි දක්‍ෂයෙමි, සමාධි භාවනාවෙහි යෙදුණෙමි, සම්‍යක් ප්‍රධානයෙහි යෙදුණෙමි, මෙය බුද්ධ පූජාවෙහි ප්‍රතිඵලය වේ.
මගේ මර උසුලන වියගහ විර්යය, යෝගයන්ගෙන් මිදීම වාහනයයි, සියලු ආසව සිදිණ. මෙයින් මතු මට උපතක් නැත.
මෙයින් කල්ප තිස්ඵකකට පෙර මම යම් පින්කමක් කෙළෙම්ද එහි අනුසසින් මම දුගතියක් නොදනිමි, මල් පිදීමෙහි පින මෙයයි.
මා විසින් කෙලෙස් දවන ලදී, බුදුන්ගේ ඔවදන් පිළිපැදිමි.
රහත්බවට පැමිණ උදම් අනන්නී, ඒ ගාථාව පෙරළා කීවාය.
එහි අභයෙ - තමාටම තමා අමතයි. භිදුරො - බිදෙනසුලුය, අනිත්‍යය යන අර්ථයි. යත්‍ථ සත්තා පුථුජ්ජනා - සැණෙකින් බිදීයනසුලු අශුචි මෙන් දුගඳ වහනයවන පිළිකුල් ස්වභාවයකින් යුත් සිරුරෙහි මේ අන්‍ධබාල වූ පෘථග්ජනයෝ සත්තං - ඇලෙන්නා වූ, ලගින්නා වූ. නික්‍ඛිපිස්සාමිමං දෙහං - මම මේ කුණු සිරුර නැවත නොගන්නා අයුරින් නිරපෙක්‍ෂකව බහාලන්නෙමි, ඉවතලන්නෙමි. එයට හේතුව කීහ. සම්පජානා සතීමතී යනුවෙන්.
බහුහි දුක්‍ඛධම්මෙහි - ජාතිජරා ආදි වූ නොයෙක් දුක්වලින් ස්පර්‍ශ කරනු ලැබූ යනු තේරුමය. අප්පමාදරතාය - ඒ දුකින් එතෙරවීමෙන්ම සංවේගයට පැමිණි හෙයින් වෙන්නොවී විසීම් සංඛ්‍යාත අප්‍රමාදයෙහි යෙදුණු. සෙස්ස කියනලද පරිදිමය. මෙහිදු ශාස්තෲන් වහන්සේ විසින් දේශනා කරන ලද පරිදි -
‘නික්‍ඛිපාහි ඉමං දෙහං, අප්පමාදරතාය තෙ, තණ්හක්‍ඛයං පාපුණාහි, කරොහි බුද්ධ සාසනං’ (අප්‍රමාදයෙහි ඇලුණාවූ ඔබ මේ සිරුර බහා තබව, තෘෂ්ණාව ක්‍ෂය කරව, බුදුන්ගේ ඔවදන පිළිපදුව) යන අදහසය.
[missing trans] අප්පමාදරතාය තෙ - ඔබ අප්‍රමාදී වියයුතුය යන තේරුමය.