සාමා ථේරීගාථා වර්ණනාව
චතුක්ඛත්තුං පඤ්චක්ඛත්තුං යනුවෙන් ඇරඹෙන ගාථාව සාමා තෙරණියගේය. මෝතොමෝද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර්ය ඇත්තී ඒ ඒ භවයෙහි කුසල් රැස්කර දෙව්ලෝවලම හැසිරෙන්නී, මේ බුදුපතෙහි කොසඹෑ නුවර ගැහැවිමහසල් කුලයක උපත ලැබුවාය. ඕ සාමා නම් විය. ඈ වැඩිවියට පැමිණි කල්හි සාමාවතී නම් උපාසිකාවගේ ප්රිය යෙහෙළියක වී ඇය කලුරිය කළ කල්හි හටගත් සංවේගය ඇත්තී පැවිදි වූවාය. පැවිදිවී ද සාමාවතී කෙරෙහි හටගත් ශෝකය දුරුකරගනු නොහැකිවීමෙන් ආර්යමාර්ගයට පිවිසීමට නොහැකිවිය. පසු කලෙක ආසන ශාලාවෙහි හුන්නී අනඳ තෙරණුවන්ගේ අවවාද අසා විදසුන් වඩා එයින් සත්වන දවස පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය.
රහත්බවට පැමිණ තමාගේ පිළිවෙත ආපිට බලා එය ප්රකාශ කරන්නී-
චතුක්ඛත්තුං පඤ්චක්ඛත්තුං විහාරා උපනික්ඛමිං,
අලද්ධා චෙතසො සන්තිං චිත්තෙ අවසවත්තිනී,
තස්සා මේ අට්ඨමීරත්තී යතො තණ්හා සමූහතා.
අලද්ධා චෙතසො සන්තිං චිත්තෙ අවසවත්තිනී,
තස්සා මේ අට්ඨමීරත්තී යතො තණ්හා සමූහතා.
බහුහි දුක්ඛධම්මෙහි අප්පමාදරතාය මෙ,
තණ්හක්ඛයො අනුප්පත්තො කතං බුද්ධස්ස සාසනං -
තණ්හක්ඛයො අනුප්පත්තො කතං බුද්ධස්ස සාසනං -
සිතෙහි සන්සුන් බව නොලැබ, සිත වසඟකර ගැනීමට නොහැකිව සතරවරක් පස්වරක් විහාරයෙන් පිටත්ව ගියෙමි.
එයින් අටවන රාත්රියෙහි තෘෂ්ණාව නැතිකරගතිමි. බොහෝ දුක්කම්කටොළු හේතුකොටගෙන අප්රමාදයෙහි නියැළුණෙම් තෘෂ්ණාව ක්ෂය කරගැනීමට පැමිණියෙමි. බුදුන්වහන්සේගේ අවවාදය පිළිපැදීමි,
යන ගාථා දෙක උදාන වශයෙන් ප්රකාශ කළාය.
එහි චතුක්ඛත්තුං පඤ්චක්ඛත්තුං විහාරා උපනික්ඛමිං - මා වෙසෙන වෙහෙරෙහි විදසුන් මෙනෙහි කරමින් සිටියෙම්, මහණකිස මුදුන් පමුණුවා ගැනීමට නොහැකිව සෘතුවට අනුකූල නොවන හෙයින්දෝ මගේ භාවනාව මාර්ගයට යොමු නොවෙතැයි සිතා සතරක් ද පසක් ද යනුවෙන් නවවරක් විහාරා ආරාමයෙන් පිටත්ව ගියෙමි. එහෙයින් අලද්ධා චෙතසො සන්තිං චිත්තෙ අවසවත්තනී යනුවෙන් කීවාය. එහි චෙතසො සන්තිං යනු ආර්යමාර්ග සමාධිය උදෙසා කියනලදී. චිත්තේ අවසවත්තිනී - ඕතොමෝ අතිශයින් වඩන ලද වීර්ය ඇත්තියක් වූවාය. තස්සා මෙ අට්ඨමී රත්තී - යම් දිනක සිට අනඳ තෙරුන් වෙතින් අවවාද ලැබුවාද එදින සිට දිවා රෑ දෙක්හි අනලසව විදසුන් වඩන්නී රාත්රියෙහි සිවුවරක් පස්වරක් විහාරයෙන් නික්ම මනසිකාරයෙහි යෙදෙන්නී කිසි විශේෂයක් නොලැබ අටවන රැයෙහි වීර්යාධිෂ්ඨානය ලබා මගපිළිවෙළින් කෙලෙස් ඉවත් කළෙමි යනු මෙහි අදහසය. එහෙයින් ‘තස්සා මෙ අට්ඨමී රත්තී යතො තණ්හා සමූහතා’ යනුවෙන් කියන ලදී. සෙස්ස කියූ පරිදිමය.
සාමා තෙරණියගේ ගාථා වර්ණනාව නිමි.
ද්විතීය නිපාත වර්ණනාව සමාප්තය.
3. තිකනිපාතය
සාමා ථේරීගාථා වර්ණනාව
තුන්වන නිපාතයෙහි පණ්ණවීසතිවස්සානි යනු අනෙක් සාමා තෙරණියකගේ ගාථාවකි. මොතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර ඇත්තී ඒ ඒ භවයන්හි කුසල් රැස්කරන්නී විපස්සි බුදුන්ගේ කාලයෙහි චන්ද්රභාගා ගංතෙර කිඳුරියක් වී උපන්නාය. ඕ එහි කිඳුරන් සමග කෙළිදෙළෙන් පසුවෙයි. ඉක්බිති එක් දවසක් ශාස්තෲන් වහන්සේ ඇයගේ කුසලබීජය රෝපණය කරවනු පිණිස එහි ගොස් ගංඉවුරෙහි සක්මනෙහි යෙදුණහ. ඕතොමෝ බුදුන් දැක තුටු පහටුවූවා සළලමල් දෝතක් ගෙන බුදුන් සමීපයට ගොස් වැඳ ඒ මල්වලින් බුදුන් පිදුවාය. ඕ ඒ පිනින් දෙව්මිනිස් ලෝවල හැසිරෙන්නී මේ බුදුපතෙහි කොසඹෑ නුවර කුලගෙයක ඉපිද වයසින් වැඩුණු පසු සාමාවතියගේ යෙහෙළියක වී ඇය මළ කල්හි සංවේගයට පැමිණ පැවිදිව විසිපස් වසරක් යන තෙක්ම චිත්ත සමාධානයක් නොලැබ මහලුකල බුදුන්ගෙන් අවවාද ලබා බවුන් වඩා පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. එහෙයින් කියන ලදී අපදානයෙහි:
මම එකල චන්ද්රභාගා නදීතෙර කිඳුරියක් වීමි. ඉක්බිති මම දේවාතිදේව වූ මිනිසුන් අතර ශ්රේෂ්ඨයා වූ බුදුන් ගං ඉවුරෙහි සක්මණෙහි යෙදී සිටිනු දිටිමි.
එවේලෙහි මම සළලමල් නෙලා බුදුන් පිදුවෙමි. ‘මහාවීරයන් වහන්ස, මනා සුවඳ ඇති මේ සළලමල් පිළිගන්න’.
ලෝකනායක වූ විපස්සී බුදුන්වහන්සේ ඒ මල් පිළිගෙන මා බලාසිටියදීම එහි සුවඳ බැලූහ.
මම එකෙණෙහිම ඇදිලි බැඳ වැඳ උන්වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන පර්වතයට නැගීමි.
මෙයින් අනුඑක්කපකට පෙර යම් මල් පූජාවක් කෙළෙම්ද එහි අනුසස් විසින් මම දුගතිය නොහඳුනමි. බුද්ධ පූජාවෙහි ඵල විපාක මෙවැනිය.
මා විසින් කෙලෙස් දවන ලදී -පෙ- බුදුන්ගේ අවවාදය පිළිපැදීමි.
රහත්බවට පැමිණ තමාගේ ප්රතිපත්තිය නැවත බලා උදාන වශයෙන්
පණ්ණවීසති වස්සානි යතො පබ්බජිතාය මෙ,
නාභිජානාමි චිත්තස්ස සමං ලද්ධංකුදාචන.
නාභිජානාමි චිත්තස්ස සමං ලද්ධංකුදාචන.
අලද්ධං චෙතසො සන්තිං චිත්තෙ අවසනවක්තිනී,
තතො සංවෙගමාපාදිං සරිත්වා ජිනසාසනං.
තතො සංවෙගමාපාදිං සරිත්වා ජිනසාසනං.
බහූහි දුක්ඛධම්මෙහි අප්පමාදරතාය මෙ,
තණ්හක්ඛසො අනුප්පත්තො කතං බුද්ධස්ස සාසනං,
අජ්ජ මෙ සත්තමී රත්තී යතො තණ්හා විසොසිතා -
තණ්හක්ඛසො අනුප්පත්තො කතං බුද්ධස්ස සාසනං,
අජ්ජ මෙ සත්තමී රත්තී යතො තණ්හා විසොසිතා -
පැවිද්දන් විසිපස්වසක් යනතුරු කිසිදිනෙකත් සිතෙහි සන්සුන් බවක් නොහැඳිනෙමි. (සෙස්ස පෙර පරිදිය).
එහි චිත්තස්ස සමං - සිතෙහි සමනයයි, සිත හසුරුවා ගැනීමෙන් ලැබෙන සමාධියයි යන තේරුමය.
තතො - එහෙයින්, සිත වසඟයෙහි තබාගැනීමට නොහැකිවූ හෙයින්, සංවෙගමාපාදි - බුදුන් ජීවත්වන කල්හිදු සමණකිස ඉටුකරගැනීමට නොහැකිනම් පසුව කෙසේ සපුරන්නෙම්දැයි, සංවෙගං - නුවණෙහි කැළඹීමට පත්වීමි. සරිත්වා ජිනසාසනං - කණකැසුබ් ආදී උපමා කතාවලින් දුන් ඔවා බස් සිහිකර. සෙස්ස කියනලද පරිදිමය.