අභයමාතා ථේරීගාථා වර්ණනාව
උද්ධං පාදතලා - යන ගාථාව අභයමාතා තෙරණියගේය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකාර ඇත්තී ඒ ඒ භවයන්හි පින් රැස්කරන්නී, තිස්ස බුදුන්ගේ කාලයෙහි කුලගෙයක උපත ලබා වැඩිවිය පැමිණීමෙන් පසු දිනක් බුදුන් පිඬුපිණිස හැසිරෙනු දක පැහැදි සිතින් පාත්‍රය ගෙන හැන්දක් පමණ අහර පිදුවාය. ඕ ඒ පින්කමෙන් දෙව්මිනිස් දෙගතියෙහි හැසිරෙන්නී මේ බුදුපතෙහි එවැනිම කර්‍මයක ප්‍රතිඵලයක් වශයෙන් උදේනී නුවර පදුමවතී නමින් නගරශෝභිනියක් වූවාය. බිම්බිසාර රජ ඇයගේ රූසපුව ආදී ගුණ ගැන අසා පුරෝහිතයාට මෙසේ කීවේය: ‘උදේනී නුවර පදුමවතී නම් ගණිකාවක් වෙයි, මම ඇය දකිනු කැමැත්තෙමි’ මැනවැයි පිළිගත් පුරෝහිතයා මන්ත්‍ර බලයෙන් කුම්භීර නම් යක්‍ෂයා රජුට වස්වා ඔහුගේ අනුහසින් රජු එකෙණෙහිම උදේනී නගරයට පැමිණවීය. රජතෙම එක රැයක් ඇය සමග සමහම් සුවය වින්දේය. ඕ එයින් ගැබ්ගත. ‘මා කුසෙහි ගැබක් පිහිටියේවනැ’යි ඕ රජුට දන්වා යැවුවාය. එය අසා රජතෙමේ, ‘ගැබ පිරිමි දරුවකුගේ නම් හදාවඩා මා වෙතට එව’යි කියා රජුන්ගේ නම කෙටූ මුද්දක් දී යැවීය. ඕ දසමස් ඇවෑමෙන් පුතෙකු වදා ඕහට අභය යන නම තැබුවාය. සත්වයස් වූ කල ඕතොමෝ දරුවා බිම්සර රජුගේ පුතෙකු යයි හදුන්වා දී ඔහු වෙත යැව්වාය. රජ ඒ පුතා දැක පුතු සෙනෙහස ලැබ කුමරපෙරහරින් වැඩුවේය. ඔහුට සැදැහැය ලැබීමත් පැවිදි විශේෂාධිගමයත් යට කියනලද පරිදිමය. ඔහුගේ මව පසු කලෙක අභය පුත් තෙරුන්ගෙන් බණ අසා සැදැහැ ඉපිද භික්‍ෂුණීන් සමීපයෙහි පැවිද්ද ලබා විදසුන් වඩන්නී, නොබෝ කලෙකින්ම පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. එහෙයින් කියන ලදී අපදානයෙහි-
පිඬුපිණිස හැසිරෙන තිස්ස නම් බුදුන්වහන්සේට හැන්දක් පමණ ආහාර පූජාකළෙමි.
ලෝකාග්‍රනායක වූ ඒ තිස්ස සම්බුදුහු එය පිළිගෙන වීථියෙහි සිට මට අනුමෙවෙනි බණ වදාළහ.
හැන්දක් පමණ දුන් මේ දානයෙහි අනුසසින් තව්තිසා දෙව්ලොවට යන්නීය. දෙව්වරුන් තිස් හයදෙනෙකුගේ මෙහෙසි බවට පැමිණෙන්නීය.
සක්විත්තන් පණස් දෙනෙකුගේ අග මෙහෙසි බවට පැමිණෙන්නීය. සිතූපැතු සියල්ලක්ම හැමදාම ලබාගන්නීය,
සැප අනුභවකොට කිසිවක් නොමැතිව පැවිදි බව ලබාගන්නීය. සියලු අසවු විනාශකර අනසව් වී පිරිනිවෙන්නීය.
ලෝකාග්‍රනායක වූ තිස්ස බුදුරදහු මෙසේ පවසා අහසෙහි ගමකරන හංස රාජයෙකු මෙන් අහසට නැගුණු සේක.
මා විසින් මැනවින් දෙන ලදී, යාගය මැනැවින් යදින ලදී. හැන්දක් පමණ පුදා අචල පදවියකට පත්වීමි.
මෙයින් දෙයානුකපකට පෙර යම් පින්කමක් කෙළෙම්ද එහි ඵලවිපාක වශයෙන් දුගතියක් නොහඳුනමි. පිඬුදනෙහි විපාක මේය.
මගේ කෙලෙස් දැවිණ -පෙ-බුදුන්ගේ අනුශාසනාව අනුගමනය කළෙමි.
ඕතොමෝ රහත් බවට පැමිණ තමාගේ පුත් වූ අභය තෙරුන් විසින් ධර්‍ම දේශනා කරන අවස්ථාවෙහි අවවාද වශයෙන් යම් ගාථා දෙකක් දෙසන ලදද, තමාද උදාන වශයෙන් ඒ ගාථා දෙකම පුනරාවය කරන්නී:
උද්ධං පාදතලා අම්ම අධො ච කෙසමත්‍ථකං,
පච්චවෙක්‍ඛස්සුමං කායං අසූචිං පූතිගත්‍ධිකං.
එවං විහරමානාය සබ්බො රාගො සමූහතො,
පරිළාහො සමුච්ඡින්නො සීතිභූතම්හි නිබ්බුතා.
දෙපතුලෙන් උඩ කෙස්වැටියෙන් යට තිබෙන අපිරිසිදු වූ කුණුගඳ වහනය වන මේ සිරුර යථා තත්ත්වයෙන් බලන්න.
මෙසේ වෙසෙන්නා වූ මගේ සකලවිධ රාගය නැතිවිය, දැඩිතාපය සිදිණ, නිවී සිහිල් වීමි.
යන ගාථා දෙක පැවසුවාය.
එහි පළමුවන ගාථාවෙහි තේරුම සැකෙවින් මෙසේය. අම්ම පදුමවතී, දෙපතුලෙන් උඩ කෙස්වලින් යට නානාප්‍රකාර අපවිත්‍ර රාශියක් පිරී තිබෙන අසූචිං සදහටම දුගඳ හමන්නා වූ, පූතිගත්‍ධිකං ඉමං පිළිකුල් ගඳින් යුත් කායං සිරුර නැණැසින් පිරික්සා බලන්න. මෙය වූකලී ඇයගේ පුතා විසින් අවවාද වශයෙන් දෙසූ ගාථාවය.
ඕතොමෝ එය අසා රහත් බවට පැමිණ උදම් අනන්නී ගුරු පූජාවක් වශයෙන් එම ගාථාවම පළමුකොට කියා ඉක්බිති තමාගේ අවබෝධය හෙළිකරන්නී “එවං විහරමානාය” යන දෙවන ගාථාව කීවාය.
එහි එවං විහරමානාය. එසේ මපුත් අබය තෙරුන් විසින් “උද්ධං පාදතලා” යන මෙයින් දෙනලද අවවාදයෙහි පිහිටා සියලු සිරුර අශුභ වශයෙන් බලා සිතෙහි එකඟබව ලබාගෙන සතර මහාභූතයන්ගේ සමවාය වශයෙන් වෙනස්වන රූපාරූපධර්‍මයන් පිළිබඳ විඳීම් අවබෝධ කරගෙන තිලකුණු නගා අනිත්‍ය වශයෙන් මෙනෙහි කරමින් වෙසෙන්නේ සබ්බො රාගො සමූහතො හටගැන්ම පිළිබඳ නුවණින් මගපිළිවෙළ අනුව යමින් එහි කෙළවරට පැමිණියේය. මා විසින් සියලු රාගය සමූහතො මුලින් උපුටා දමන ලදී. පරිළාහො සමුච්ඡින්නා එහෙයින්ම සියලු කෙලෙස් ගින්න සහමුලින්ම නිවා දැමීමි. එය නිවා දැමීම නිසාම සීතිභුතා සොපදිසෙස නිර්‍වාණ ධාතුවෙන් නිබ්බුතා අම්හි.