මෙත්තා ථේරීගාථා වර්ණනාව
චාතුද්දසිං පඤ්චදසිං - මෙය වෙනත් මෙත්තා තෙරණියකගේ ගාථාවකි. මොතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර ඇත්තී, ඒ ඒ භවයන්හිදී කුසල් රැස්කර විපස්සි බුදුන්ගේ කාලයෙහි ක්‍ෂත්‍රිය කුලයෙහි ඉපිද නියමිත වයසට පැමිණි කල්හි බන්‍ධුම රජුගේ ඇතොවුරෙහි වැඩ විපස්සි බුදුන්ගේ රහත් ශ්‍රාවිකාවක් දැක පහන්සිත් ඇතිවී ඇයගේ අතින් පාත්‍රය ගෙන ප්‍රණීත ඛාද්‍යභෝද්‍ය පුරවා මා ඇඟි සළුයුගළයක් සමග පිළිගැන්වුවාය. ඕ ඒ පින්කමින් දෙව්මිනිස් දෙගතියෙහි සැරිසරන්නී, මේ බුදුපතෙහි කපිලවත්පුර ශාක්‍ය රාජකුලයෙහි ඉපිද බුදුන් වෙතින් බණ අසා සැදැහැයෙන් උපාසිකාවක් වූවාය. ඕතොමෝ පසුකලක මහාප්‍රජාපතීගෝතමී සමීපයෙහි පැවිදිව පෙරවරු බත්කිසෙන් පසු විදසුන් වඩා නොබෝ කලෙකින්ම පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. එහෙයින් කියනලදී අපදානයෙහි-
බන්‍ධුමතී නුවර බන්ධුම නම් රජෙක් විය. මම ඔහුගේ බිරිඳ වීමි.
මම එක් දිනෙක හුදෙකලාව හිඳ මෙසේ සිතුවෙමි. මා යනවිට ගෙනයාමට රැස්කළ පිනක් නැත.
අධික ලෙස තවන්නා වූ කටුක වූ ඝෝර වූ අතිශය දරුණු වූ නිරයට යාම ඒකාන්තය, එහිලා සැකයක් නැත.
එසේ සිතා දිනක් රජු වෙත ගොස් මේ වචනය කීමි. රජතුමනි, දිනපතා වැළඳවීම පිණිස මට එක භික්‍ෂුවක පවරා දෙනු මැනවි.
රජතුමා මට එක්තරා දැමුණු ඉඳුරන් ඇති භික්‍ෂුවක් පවරා දුන්නේය. මම උන්වහන්සේගේ පාත්‍රය ගෙන රසවත් අහරින් පුරවා
දහසක් අගනා වස්ත්‍ර යුග්මයකින් වසා පිළිගැන්වීමි.
මේ පින්කම මම ජීවිතාන්තය දක්වා මෙනෙහි කළෙමි. සිතේ පැහැදීම හේතුකොටගෙන මම තව්තිසා දෙව්ලොවට ගියෙමි.
දෙව්රජුන් තිස්දෙනෙකුගේ මෙහෙසිය බවට පැමිණියෙමි. සිතින් සිතු හැම දෙයක්ම කැමති වූ පරිදි සැපයෙයි.
සක්විත්තන් විසිදෙනෙකුගේ මෙහෙසි බවට පැමිණියෙමි. දැමු සිතින් යුක්තවම මම හවයන්හි සැරිසැරීමි.
සියලු බැඳුම්වලින් මිදුණෙමි. සංයෝජනයන් දුරුකළෙමි. සියලු අසවු නැතිකළෙමි. මෙයින් මතු මට භවයක් නැත.
මෙයින් කල්ප අනුඑකකට පෙර යම් දානයක් මවිසින් දෙන ලදද එහි පිනින් දුගතියක් නොහඳුනමි. පිණ්ඩපාත දානයෙහි ඵලවිපාක මෙබඳුය.
මා විසින් කෙලෙස් දවන ලදී -පෙ-බුදුන්ගේ ඔවදන ඉටුකළෙමි.
රහත්බවට පැමිණ තමාගේ පෙර පිළිවෙත දැක ප්‍රීතිය හටගෙන උදානයක් වශයෙන්-
චාතුද්දසිං පඤ්චදසිං යා ච පක්‍ඛස්ස අඨමි,
පාටිහාරියපක්‍ඛඤ්ච අට්ඨඞ්ගසුසමාගතං
උපොසථං උපාගඤ්චිං දෙවකායාභිනන්‍දිනී,
සාජ්ජ එකෙනභත්තෙන මුණ්ඩා සංඝාටිපාරුතා,
දෙවකායං න පත්‍ථෙහං විනෙය්‍ය හදයෙ දරං-
තුදුස්වක පසළොස්වක අටවක හා අතිරේක දිනයන්හි අඞ්ග අටකින් සමන්විත වූ උපොසථ ශීලය දෙව්ලොව යනු කැමැත්තෙන් රැකියෙමි.
ඒ මම අද හිස මුඩුකර, සහළ සිවුර පෙරවා, එක බතකින් යැපෙමින් හදවතෙහි වේදනාවන් දුරුකර දෙව්ලෝ යාමට ප්‍රාර්ථනා නොකරමි යන ගාථා දෙක ප්‍රකාශ කළාය.
එහි චාතුද්දසිං පඤ්චදසිං - දින දස සතරක් පිරීම චතුද්දස නමි, එයම චාතුද්දසී වෙයි. දවස් පසළොසක් පිරීම පඤ්චදසී නමි. එය චාතුද්දසං පඤ්චදසං යනුවෙන් යෙදේ. ‘යා ව පක්‍ඛස්ස අට්ඨමී, තං චාතී’ යනුවෙන් යොදාගත යුතුය. පාටිහාරිය පක්‍ඛඤ්ච - පරිහරණය කරන කොටස ද, චාතුද්දසී පඤ්චදසී අට්ඨමී යනුවෙන් පටන්ගෙන ක්‍රමයෙන් පිවිසීම. නික්මීම විසින් පෙහෙවස් සමාදන්වීම සඳහා යොදාගත යුතු පක්‍ෂය වෙයි. ‘තෙරසී සත්තමීනවමී’ වශයෙන් ද ගැනෙන බව අදහස් කෙරේ. අට්ඨඞ්ගසුසමාගතං - පාණාතිපාතා වෙරමණී යනුවෙන් පටන්ගන්නා අංග අටකින් යුක්ත වූ, උපොසථං අපාගඤ්ඡං - පෙහෙවසට පැමිණියෙමි, පෙහෙවස් රැකියෙමි යන තේරුමය. ඒ සඳහා මෙසේ කියන ලදී: