මෙත්තිකා ථේරීගාථා වර්ණනාව
කිඤ්චාපි ඛොම්හි දුක්ඛිතා - මෙය මෙත්තිකා තෙරණියගේ ගාථාවය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකාර්ය ඇත්තී ඒ ඒ භවයෙහි පින් රැස්කරන්නී, සිද්ධත්ථස්ස - සිද්ධත්ථ බුදුන්ගේ කාලයෙහි ගෘහපතිකුලයක ඉපිද දැන ඉගෙනීමෙන් වැඩුණු පසු රුවන්මුවා මෙවුල්දමකින් බුද්ධ චෛත්යය පිදුවාය. ඕ ඒ පින්කමෙන් දෙව්මිනිස් ලෝවල හැසිරෙන්නී මේ බුදුපතෙහි රජගහනුවර බ්රාහ්මණ මහාසාළ කුලයක උපත ලැබුවාය. සෙස්ස පෙර කියනලද පරිදිය. මෝ පිළිබගකුළට නැග මහණදම් පුරන්නී විදසුන් වඩා පිළිසිඹියා සහිත රහත් බවට පැමිණියාය. එහෙයින් කියන ලදී අපදානයෙහි:
සිදුහත් බුදුන්ගේ ස්තූපයෙහි නවකම් සඳහා මා විසින් මෙවුල්දමක් පුදනලදී.
මහා ථූපයෙහි වැඩ නිමකල්හිද පැහැදුණු සිතින් සියතින්ම බුදුන් උදෙසා මෙවුල්දමක් පිදුවෙමි.
මෙයින් කල්ප අනූහතරකට පෙර යම් මෙවුල්දමක් පිදුවෙම්ද ඒ පිනින් මම දුගතිය නොහැඳිනීමි. ථූපපූජාවෙහි විපාකය මෙයයි,
මා විසින් කෙලෙස් දවන ලදී -පෙ-බුදුන්ගේ අනුශාසනාව අනුගමනය කළෙමි.
රහත්බවට පැමිණ තමාගේ ඒ පිළිවෙත සිහිකර උදානයක් වශයෙන්-
කිඤ්චාපි ඛොම්හි දුක්ඛිතා දුබ්බලා ගතයොබ්බනා,
දණ්ඩමොලුබ්භ ගච්ඡාමි පබ්බතං අභිරූභිය,
දණ්ඩමොලුබ්භ ගච්ඡාමි පබ්බතං අභිරූභිය,
නික්ඛිජිත්වාන සඞ්ඝාටිං පත්තකඤ්ච නිකුජ්ජිය,
නිසින්නාචම්හි සෙලම්හි අථ චිත්තං විමුච්චි මෙ,
කිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං-
නිසින්නාචම්හි සෙලම්හි අථ චිත්තං විමුච්චි මෙ,
කිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං-
දුකට පත්වී, දුබලවී, ගෙවුණු යොවුන්බව ඇත්තී සැරයටියක ආධාරයෙන් පවුවට නැග,
සඟළ සිවුර පසෙක තබා පාත්රය යටිකුරුකර නබා. ගිරිමත හුන්නෙම් මගේ සිත නිදහස්විය. ත්රිවිද්යාව ලැබිණ. බුදුන්ගේ අවවාද පිළිපැද්දෙමි.
යන ගාථා දෙක ප්රකාශ කළාය.
එහි දුක්ඛිතා - රෝගයෙන් මැඩුණේ දුක් ඇතිවිය. දුකට පැමිණියෙමි. දුබ්බලා - ඒ දුකින්ම, ඒ දිරායාමෙන්ම ශක්තිය හීනවිය. එහෙයින් ගතයොබ්බනායි කියන ලදී. එහි තේරුම වයසට පැමිණි යනුය.
අථ චිත්තං විමුච්චි මෙ සෙලම්හි - පවුවෙහි නිසින්නොචම්භි - ඉන්පසු මැනැවින් වීරියසමතාවෙන් යුක්ත වූ බැවින් මග පිළිවෙළින් සියලු අසවුවලින් මගේ සිත මිදිණ. සෙස්ස කියන ලද පරිදිමය.
මෙත්තිකා තෙරණියගේ ගාථා වර්ණනාව නිමි.
මෙත්තා ථේරීගාථා වර්ණනාව
චාතුද්දසිං පඤ්චදසිං - මෙය වෙනත් මෙත්තා තෙරණියකගේ ගාථාවකි. මොතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර ඇත්තී, ඒ ඒ භවයන්හිදී කුසල් රැස්කර විපස්සි බුදුන්ගේ කාලයෙහි ක්ෂත්රිය කුලයෙහි ඉපිද නියමිත වයසට පැමිණි කල්හි බන්ධුම රජුගේ ඇතොවුරෙහි වැඩ විපස්සි බුදුන්ගේ රහත් ශ්රාවිකාවක් දැක පහන්සිත් ඇතිවී ඇයගේ අතින් පාත්රය ගෙන ප්රණීත ඛාද්යභෝද්ය පුරවා මා ඇඟි සළුයුගළයක් සමග පිළිගැන්වුවාය. ඕ ඒ පින්කමින් දෙව්මිනිස් දෙගතියෙහි සැරිසරන්නී, මේ බුදුපතෙහි කපිලවත්පුර ශාක්ය රාජකුලයෙහි ඉපිද බුදුන් වෙතින් බණ අසා සැදැහැයෙන් උපාසිකාවක් වූවාය. ඕතොමෝ පසුකලක මහාප්රජාපතීගෝතමී සමීපයෙහි පැවිදිව පෙරවරු බත්කිසෙන් පසු විදසුන් වඩා නොබෝ කලෙකින්ම පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. එහෙයින් කියනලදී අපදානයෙහි-