චිත්තා ථේරීගාථා වර්ණනාව
කිඤ්චාපි ඛොම්හි කිසිකා - යන මෙය චිත්තා තෙරණියගේ ගාථාවය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරනලද අධිකාර්‍ය ඇත්තී ඒ ඒ භවයන්හි දී භවාශ්‍රිත කුශලයන් රැස්කරන්නී මෙයින් කල්ප අනූහතරකට පෙර චන්‍දභාගා නම් ගංතෙර කිඳුරු යෝනියක උපන්නාය. ඕ දිනක් රුක්මුලක හුන් පසේ බුදුවරයෙකු දැක පැහැදුණු මනසින් බටමල් පුදා ඇඳිලි බැඳ වැඳ නමස්කාර කර පැදකුණු කර ගියාය. ඕතොමෝ ඒ පිනින් දෙව්මිනිසුන් අතර සැරිසරන්නී මේ බුදුපතෙහි රජගහනුවර ගෘහපති මහාසාළ කුලයක ඉපිද දැන ඉගෙනගෙන ශාස්තෲන් වහන්සේ රජගහනුවරට පිවිසෙන අවස්ථාවෙහි සැදැහැය ලබා පසු දිනක මහා ප්‍රජාපතී ගෝතමී සමීපයෙහි පැවිදි වී මහලුකල ගිජුකුළුපව්වට නැග මහණදම් පුරන්නී, විදසුන් වඩා පිළිසිඹියා සහිත රහත්බවට පැමිණියාය. එහෙයින් අපදානයෙහි කියන ලදි:
මම එකල චන්‍ද්‍රභාගා නදීතෙරෙහි කිඳුරියක් වීමි. එක් දිනක් මම අපරාජිත වූ බුදුරැසින් බබළන බුදුන් දිටිමි.
උන්වහන්සේ දැකීමෙන් පැහැදුණු මම නළමල් ගෙන පිදුවෙමි.
ඒ පින්කමෙන් මම තිදස්පුරට ගියෙමි.
දෙව්රදුන් සතිස් දෙනෙකුගේ මෙහෙසිය වීමි. සක්විති රජවරුන් දස දෙනෙකුගේ මෙහෙසිබව දැරීමි. ඉක්බිති සංවේගයට පැමුණුනෙම් සසුනෙහි පැවිදිවීමි.
කෙලෙස් දැවීමි. භව සමූහය ඉක්මවීමි. සියලු අසවු (ආශ්‍රවයන්) හීනවිය. මෙයින් මතු ඉපදීමක් නැත.
කල්ප අනූහතරකට පෙර යම් මලක් පිදුවෙම්ද ඒ පිනින් දුගතියක් නොහැඳිනෙමි. මේ මල් පිදීමෙහි ඵලවිපාකය.
මගේ පැමිණීම යහපත් වූවකි-පෙ-බුදුන්ගේ අවවාදය පිළිපැද්දෙමි.
ඕතොමෝ රහත්බවට පැමිණ තමාගේ පිළිවෙත් බලා -
කිඤ්චාපි ඛොම්හි කිසිකා ගිලානං බාළ්හදුබ්බලා,
දණ්ඩමොලුබ්හ ගච්ඡාමි පබ්බතං අභිරූහිය.
සඞ්ඝාටිං නික්‍ඛිපිත්‍වාන පත්තකංච නිකුජ්ජිය,
සෙලෙ ඛම්හෙසිමත්තානං තමොක්‍ඛන්‍ධං පදාලිය.
මම ගිලන්වී බෙහෙවින් දුබල වී කෘශ වූ ශරීර ඇත්තී සැරයටියක එල්බ පර්‍වතයට නැග,
සඟළ සිවුර පසෙකින් තබා පාත්‍රය මුනින් අතට නමා පර්‍වතයෙහි බවුන් වඩන්නී අඳුරු කද බිඳ හෙළීමි.
යන මේ ගාථා දෙක පැවසුවාය.
එහි කිඤ්චාපි ඛොම්හි කිසිකා - මම ජරාවෙන් දිරාගොස් මස් ලේ හීනවූයෙන් කෙට්ටු වූ සිරුරින් වැහැරී ගියෙමි. ගිලානා බාළ්හදුබ්බලා - ධාතු ආදීන්ගේ විකෘතිය හේතුවෙන් ගිලන්වීමි. ඒ ගිලන් බැවින්ම බොහෝසෙයින් දුර්‍වල වීමි. දණ්ඩමොලුබ්හ ගච්ඡාමි - යම්කිසි තැනක යන්නෙම් නම් සැරයටියක ආධාරයෙන්ම යමි. පබ්බතං අභිරූහිය - මෙසේ වී නමුදු විවේකය කැමැත්තෙන් ගිජුකුළු පවුවට නැග,
සඞ්ඝාටිං නික්‍ඛිපිත්‍වාන - පොරොනා සිවුරෙන් යුක්තව, හකුළා අංසයෙහි තබාගෙන තිබුණු සඟළ සිවුර අත්පස්හි තබා, පත්තකං ච නිකුජ්ජිය - මා දන් වළඳනා මැටිය යටිකුරුකර එකත්පසෙක තබා, සෙලෙ ඛම්හෙසිමත්තානං තමොක්‍ඛන්‍ධං පදාලිය - පර්‍වතයෙහි හුන්නෙම් මෙතරම් දිගු කලකින් නසනු නොහැකි වූ මෝහය නසා ඒ මොහොකඳ පළාලීමෙන්ම අත්තානං, තමා, ඛම්හෙසිං - ඛන්‍ධයන්ගේ නැවත හටගැනීම නැති කිරීම් වශයෙන් ක්‍ෂය කළෙමි යන අර්‍ථයය.
චිත්තා තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි.
මෙත්තිකා ථේරීගාථා වර්ණනාව
කිඤ්චාපි ඛොම්හි දුක්‍ඛිතා - මෙය මෙත්තිකා තෙරණියගේ ගාථාවය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලවල කරන ලද අධිකාර්‍ය ඇත්තී ඒ ඒ භවයෙහි පින් රැස්කරන්නී, සිද්ධත්‍ථස්ස - සිද්ධත්‍ථ බුදුන්ගේ කාලයෙහි ගෘහපතිකුලයක ඉපිද දැන ඉගෙනීමෙන් වැඩුණු පසු රුවන්මුවා මෙවුල්දමකින් බුද්ධ චෛත්‍යය පිදුවාය. ඕ ඒ පින්කමෙන් දෙව්මිනිස් ලෝවල හැසිරෙන්නී මේ බුදුපතෙහි රජගහනුවර බ්‍රාහ්මණ මහාසාළ කුලයක උපත ලැබුවාය. සෙස්ස පෙර කියනලද පරිදිය. මෝ පිළිබගකුළට නැග මහණදම් පුරන්නී විදසුන් වඩා පිළිසිඹියා සහිත රහත් බවට පැමිණියාය. එහෙයින් කියන ලදී අපදානයෙහි: