අඩ්ඪකාසී ථේරීගාථා වර්ණනාව
යාව කාසිජනපදො යනුවෙන් පටන්ගන්නා මෙය අඩ්ඪකාසි තෙරණියගේ ගාථාවය. මොතොමෝ කසුප් බුදුරදුන්ගේ කාලයෙහි කුලගෙයක උපත ලබා දැනහැඳිනගත් පසු භික්ෂුණීන් වෙත ගොස් දහම් අසා සැදැහැය ලබා පැවිදි වී භික්ෂුණී ශීලයෙහි පිහිටියා වූ එක්තරා පිළිසිඹියාපත් රහත් තෙරණියකට ගණිකාවාදයෙන් බැණ එයින් චුතව නිරයෙහි පැසී මේ බුදුපතෙහි කසීරටෙහි මහා සම්පත් ඇති සිටුකුලයක ඉපිද වැඩිවිය පැමිණ පෙර අත්බැව්හි කළ වචීදුශ්චරිතයෙහි විපාක වශයෙන් තත්ත්වයෙන්, පිරිහී අඩ්ඪකාසී නමින් ගණිකාවක් වූවාය. ඇයගේ පැවිද්ද හා උපසම්පදාව ඛන්ධකයෙහි කියන ලද පරිදිමය. එහෙයින් කියනලදී:
‘එකල්හි වනාහි අඩ්ඪකාසී ගණිකාව සැපතට භික්ෂුණීන් වෙත පැවිදිවූවා වෙයි. ඕතොමෝ සැවතට ගොස් බුදුන් වෙතින් උපසම්පදාව ලබනු කැමැති වූවාය. අඩ්ඪකාසී ගණිකාව පැවතට යාමට කැමති බව ධූර්තයන්ට අසන්ට ලැබිණ. ඔවුහු මග රැක සිටියහ. ධූර්තයන් මග රැක සිටින බව දැනගන්න ලැබුණු අඩ්ඪකාසී බුදුන් වෙතට පණිවුඩයක් යවන්නී ‘මමද උපසම්පදාව කැමැත්තෙමි, එහිලා කෙසේ පිළිපැදිය යුතුදැයි’ දැනුම් දුන්නාය. ඉක්බිති බුදුහු මේ නිදානයෙහි මේ ප්රස්තුතයෙහි දැහැමි කථාවක් කර භික්ෂූන් ඇමතූහ. ‘මහණෙනි, දුතයෙකු ලවා වුවද උපසම්පදාව දීම අනුදනිමි’ වදාළහ.
මෙසේ උපසම්පදාව ලැබූ ඕතොමෝ විදසුන් වඩන්නී නොබෝ කලෙකින්ම පිළිසිඹියා සහිත රහත්බව ලැබුවාය. එහෙයින් කියන ලදී. අපදානයෙහි-
මේ මහා භද්රකල්පයෙහි බ්රහ්මබන්ධු වූ මහා යසස් ඇති කථාකරන්නවුන්ගෙන් ශ්රේෂ්ඨයා වූ නමින් කාශ්යප වූ බුදුන්වහන්සේ උපන්හ.
එකල මම ඒ බුදුන්ගේ සසුනෙහි පැවිදිව ප්රාතිමෝක්ෂයන්හි හා පඤ්චෙන්ද්රියයන්හි සංවර වී,
භෝජනයෙහි පමණ දැන නිදිවැරීමෙහි යෙදි භික්ෂුණියක් වී විසූයෙම් නපුරු සිතින් ගණිකාවකැයි බැණ වැදීමි. ඒ පාපකර්මයෙහි විපාක වශයෙන් මම නිරයෙහි පැසුණෙමි.
ඒ පාපයෙහි විපාක ඉතිරිවී පසු කලක ගණිකා පවුලක ඉපදුණෙමි. ඉක්බිති භවයෙන් භවයෙහි සැරිසරන්නී මේ අවසාන ආත්මයෙහි,
ඒ බඹසර දිවියෙහි ඵල වශයෙන් කසීරට සිටුකුලයක උපනිමි. දෙවියන් අතර අප්සරාවක මෙන් මම රූසපුවෙන් අනුනවීමි.
පියකරු වූ මා දැක ඒ පෙර කළ බැණීමෙහි ප්රතිඵලයක් වහයෙන් රජගහනුවර කුලීනයන් අතර ගණිකාවක් වීමි.
දිනක් බුදුන්වහන්සේගේ බණ අසා පෙර වාසනා සම්පත්තිය නිසා පැවිදිවීමි.
ඉක්බිති උපසම්පදාව උදෙසා බුදුන් වෙත යන්නී, ධූර්තයන් මග සිටින බව අසා දූතොපසම්පදාව ලබාගතිමි.
සියලු කර්මයන් නිමවිය. පින්පව් දෙකම එසේම විය. සංසාර සාගරයෙන් හා ගණිකාභාවයෙන් ද එතෙරවීමි.
සෘද්ධිවිධ, දිවකන්, චෙතොපරිය යන ඥාන විශේෂයන් ලබා මහා මුනිවරයන් වහන්සේ වෙත වෙසෙමි.
පෙරවිසූ අත්බැව් දනිමි. දිවැස පිරිසිදු කළෙමි. සියලු ආශ්රවයන් දුරුකළෙමි, මෙයින් මතු මට භවයක් නැත.
අර්ථධර්මනිරුක්ති හා ප්රතිභාන නුවණ ඔබවහන්සේ සමීපයෙහි මම ලබාගතිමි.
මාගේ සියලු කෙලෙස් දැවිණ, බුදුන්ගේ අවවාදය ඉටුකළෙමි.
රහත්බවට පැමිණ උදාන වශයෙන්.
යාච කාසි ජණපදො සුංකො මෙ තත්තකො අහු,
තං කත්වා නෙගමො අග්ඝං අග්ඝෙනග්ඝං ඨපෙසි මං.
තං කත්වා නෙගමො අග්ඝං අග්ඝෙනග්ඝං ඨපෙසි මං.