සුමඞ්ගල මාතා ථේරීගාථා වර්ණනාව
සුමුත්තිකෙ යනුවෙන් ඇරඹෙන්නේ සුමංගලමාතා තෙරණියගේ ගාථාවය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලයෙහි කරන ලද ප්‍රාර්ථනා ඇත්තී, ඒ ඒ භවයන්හිදී කරනලද පින් ඇත්තී මේ බුදුපතෙහි සැවැත්නුවර දිළිඳු කුලයක ඉපිද වියපත් වූවා එක්තරා බටපොතු වියන්නෙකුට සරණපාවා දෙනුලැබ පළමු ගැබෙහිදීම අන්තිම උපත (පච්ඡිම) ඇති පුතෙකු ලැබුවාය. ඔහුට සුමංගල යන නම යෙදිණ. එතැන් පටන් ඕතොමෝ සුමංගලමාතා යන නමින් ප්‍රකට වූවාය. යම්හෙයකින් ඇයගේ නම්ගොත් ආදිය ප්‍රකටව නොතිබිණිද එහෙයින් ‘එක්තරා ස්ථවිර භික්‍ෂුණියක්’ යනුවෙන් පාලියෙහි කියනලදී. ඇයගේ පුතාද දැන ඉගෙනීමෙන් පසු පැවිදිව පිළිසිඹියා සහිත රහත්බවට පැමිණ සුමංගල ස්ථවිර නමින් ප්‍රසිද්ධ විය. ඔහුගේ මව භික්‍ෂුණීන් සමීපයෙහි පැවිදිව විදසුන් වඩන්නී දිනක් තමා ගිහිජීවිතයෙහි විඳිදුක් ආවර්ජනාකර සංවේගයට පැමිණයා, විදසුන් වඩා පිළිසිඹියා සහිත රහත්බවට පැමිණ උදන් අනන්නී-
සුමුත්තිකෙ සුමුත්තිකෙ සාධු මුත්තිකම්හි මුසලස්ස,
අහිරිකො මෙ ඡත්තකං වාපි උක්‍ඛලිකා මෙ දෙඩ්ඩූහං වාපි.
රාගඤ්ච අහං දොසඤ්ච චිච්විටී විච්චිටීති විහනාමි,
සා රුක්‍ඛමූලං උපගම්ම අහො සුඛන්ති සුඛතො ඣායාමි.
සුමුත්තිකා, ඔබ මෝල් ගසෙන් මැනවින් මිදුණෙහිය, මගේ සැමියා නිර්ලජ්ජීය, කුඩයද නොරිසියෙමි, මගේ මුට්ටියෙන් දියබරිගඳ වහනය වෙයි.
මම රාගය හා ද්වේශය විච්චිට් යනු අනුකරණයෙන් පුලුස්සා දැමීමි. ඕතොමෝ රුක්මුලකට එළඹ ‘සැපතෙක මහත’ යයි සුව විසින් විඳිමින් භාවනාවෙහි යෙදෙමි යන ගාථා දෙක ප්‍රකාශ කළාය.
එහි සුමුත්තිකෙ : සුමුත්තා යනුය. කකාරය පදපුරණය පිණිසය. මැනවින් මිදුණේ වේ යන තේරුමය. ඕතොමෝ සසුනෙහි ලද සම්පත් දැක පැහැදීම් වශයෙන් හෝ පැසසීම් වශයෙන් හෝ එසේ අමතා කීවාය. සුමුත්තිකෙ සුමුත්තිකෙ - ඕතොමෝ ගිහිකාලයෙහි යමක් විශේෂයෙන් පිළිකුල් කළාද, එයින් විමුක්තිය දක්වන්නී ‘සාධු මුත්තිකම්හි’ යනාදිය කීවාය. එහි සාධු මුත්තිකම්හි - මැනවින් මිදුණේ වෙමි. මුසලස්ස - මෝල් ගහෙන්, මෝතොමෝ දිළිඳු වූ හෙයින් ගිහිකාලයෙහි තොමෝම කෙටීම් ආදිය කරයි. එහෙයින් එසේ කියන ලදී. අහිරිකො මෙ - මගේ සැමියා නිර්ලජ්ජීය, ඔහු මා නුරුස්සයි යනු සෙසුවචනය. ස්වභාවයෙන්ම කාමයන්හි නො ඇලුණු බැවින් කාමයෙහි යෙදෙන්නවුන් පිළිකුල් කරයි යනු පවසයි. ඡත්තකං වාපි - ජීවිකාව සපයා ගනු පිණිස කරනු ලබන්නා වූ කුඩසෑදීම ද මට නුරුස්සයි යනු තේරුමය. වා - ශබ්දය නොකියනලද සියල්ල ගැනීම සඳහාය. එයින් පෙට්ටි, කිරිගොටු ආදිය ගැනේ. හුණදඬු ආදිය ගෙන දිනපතා කුඩ ආදිය සෑදීමෙන් ගතකරන දුක්ඛිත ජීවිතය පිළිකුල්කරන බව කියන ලදී. අහිතකො මෙ වාතො වාති - යනුවෙන් සමහරෙක් කියා ගිහිකාලයෙහි මගේ සිරුරෙහි අහිතකර වූ ජරාවෙන් පිරුණු වාතය ගැටේ යනුවෙන් අනෙක් තේරුමක් කියති. තවත් සමහරෙක් ‘අන් අයට දුගඳ ගෙනදෙන්නා වූ අහිතකර වාතයක් මගේ සිරුරෙන් හමයි’ යනුවෙන් ද තේරුමක් කියති. උක්‍ඛලිකා මෙ දෙඩ්ඪුහං වාති - මගේ බත් උයන භාජනය බොහෝ කලක සිට පාවිච්චි කරන හෙයින් අපිරිසිදු බැවින් දියබරිගඳ හමයි. එහෙයින් මම මැනවින් මිදුණෙමි’ යනුවෙන් කියනලදී.
රාගඤ්ච අහං දොසඤ්ච චිට්චිට් චිට්චිටිති විහනාමි - මම කෙලෙස්වලින් දෙටු වූ රාගය හා ද්වේශය චිට්චිට් යන අනුකරණයෙන් විනාශ කරමි, දුරුකරමි යන තේරුමය. ඕතොමෝ තම සැමියා පිළිකුල් කරන්නී ඔහු දිනපතා පලන වියලි හුණ දඬු ආදියෙහි ශබ්දය ගරහන්නී එයින් දුරුවීම රාග ද්වේශයන් දුරුවීම හා සමානකර දකියි. සා රුක්‍ඛමූලං උපගම්ම - ඒ සුමංගල මව වන මම විවික්ත රුක්මුලකට එළඹ, සුඛො ඣායාමි - සුවසේ භාවනා කරමි. කලින් කල සමවතට සමවදින්නී නිවන් සුවඳ විඳිමින් ඵල ධ්‍යානයෙන් දැහැන් වඩමි යන තේරුමය. අහෝ සුඛං - මෙය වනාහී ඇයගේ සමවත් සුවයෙන් පසුව පැවති මානසික තත්ත්වය වශයෙන් කියන ලදී. පෙර පැවති මනසිකාරය වශයෙන් යයි ද කියනු ලැබේ.
සුමංගලමාතා තෙරණියගේ ගාථා වර්‍ණනාව නිමි.
අඩ්ඪකාසී ථේරීගාථා වර්ණනාව
යාව කාසිජනපදො යනුවෙන් පටන්ගන්නා මෙය අඩ්ඪකාසි තෙරණියගේ ගාථාවය. මොතොමෝ කසුප් බුදුරදුන්ගේ කාලයෙහි කුලගෙයක උපත ලබා දැනහැඳිනගත් පසු භික්‍ෂුණීන් වෙත ගොස් දහම් අසා සැදැහැය ලබා පැවිදි වී භික්‍ෂුණී ශීලයෙහි පිහිටියා වූ එක්තරා පිළිසිඹියාපත් රහත් තෙරණියකට ගණිකාවාදයෙන් බැණ එයින් චුතව නිරයෙහි පැසී මේ බුදුපතෙහි කසීරටෙහි මහා සම්පත් ඇති සිටුකුලයක ඉපිද වැඩිවිය පැමිණ පෙර අත්බැව්හි කළ වචීදුශ්චරිතයෙහි විපාක වශයෙන් තත්ත්වයෙන්, පිරිහී අඩ්ඪකාසී නමින් ගණිකාවක් වූවාය. ඇයගේ පැවිද්ද හා උපසම්පදාව ඛන්ධකයෙහි කියන ලද පරිදිමය. එහෙයින් කියනලදී:
‘එකල්හි වනාහි අඩ්ඪකාසී ගණිකාව සැපතට භික්‍ෂුණීන් වෙත පැවිදිවූවා වෙයි. ඕතොමෝ සැවතට ගොස් බුදුන් වෙතින් උපසම්පදාව ලබනු කැමැති වූවාය. අඩ්ඪකාසී ගණිකාව පැවතට යාමට කැමති බව ධූර්තයන්ට අසන්ට ලැබිණ. ඔවුහු මග රැක සිටියහ. ධූර්තයන් මග රැක සිටින බව දැනගන්න ලැබුණු අඩ්ඪකාසී බුදුන් වෙතට පණිවුඩයක් යවන්නී ‘මමද උපසම්පදාව කැමැත්තෙමි, එහිලා කෙසේ පිළිපැදිය යුතුදැයි’ දැනුම් දුන්නාය. ඉක්බිති බුදුහු මේ නිදානයෙහි මේ ප්‍රස්තුතයෙහි දැහැමි කථාවක් කර භික්‍ෂූන් ඇමතූහ. ‘මහණෙනි, දුතයෙකු ලවා වුවද උපසම්පදාව දීම අනුදනිමි’ වදාළහ.
මෙසේ උපසම්පදාව ලැබූ ඕතොමෝ විදසුන් වඩන්නී නොබෝ කලෙකින්ම පිළිසිඹියා සහිත රහත්බව ලැබුවාය. එහෙයින් කියන ලදී. අපදානයෙහි-