ජෙන්තා ථේරීගාථා වර්ණනාව
යෙ ඉමෙ සත්ත බොජ්ඣඞ්ගාති යනුවෙන් පටන්ගන්නා මෙය ජෙන්තා තෙරණියගේ ගාථාවය. ඇයගේ අතීත හා වර්තමාන කථාවස්තුව අහිරූපනන්දාගේ කථා වස්තුවට සමානය. මැය විශාලා නුවර ලිච්ඡවි රජකුලයෙහි උපන්බව පමණක් වෙනසය. බුදුන්වහන්සේගෙන් ධර්මය අසා දේශනාවසානයෙහි රහත්ඵලයට පැමිණ තමා විසින් ලැබගත් විශේෂය දැක ප්රීති වශයෙන්-
යෙ ඉමෙ සත්තබොජ්ඣඞ්ගා මග්ගා නිබ්බානපත්තියා,
භාවිතා තෙ මයා සබ්බෙ යථා බුද්ධෙන දෙසිතා.
භාවිතා තෙ මයා සබ්බෙ යථා බුද්ධෙන දෙසිතා.
දිට්ඨොහි මෙ සො භගවා අන්තිමොයං සමුස්සයො,
වික්ඛීණො ජාතිසංසාරො නත්ථිදානි පුනබ්භවො.
වික්ඛීණො ජාතිසංසාරො නත්ථිදානි පුනබ්භවො.
නිවන් පැමිණෙනු පිණිස මේ සප්ත බොධ්යඞ්ග ධර්මයෝ බුදුන් විසින් දේශනා කරන ලද අයුරින්ම මා විසින් අවබෝධ කරනු ලැබූහ. මම ඒ බුදුන් දිටිමි. මගේ මේ අන්තිම පඤ්චස්කන්ධයයි. සසරෙහි ඉපදීම නැවැත්විණ, නැවත මට උපතක් නොමැත
යන ගාථා දෙක ප්රකාශ කළාය.
එහි යෙ ඉමෙ සත්ත බොජ්ඣඞ්ගා - යම් මේ සති, ධම්මවිචය, වීරිය, පීති, පස්සද්ධි, සමාධි හා උපෙක්ඛා සංඛ්යාත ධර්මයන් හෝ කියනලද පරිදි අවබෝධකටයුතු ධර්මයෙහි, අවබෝධකරන පුද්ගලයාගේ හෝ ලක්ෂණ වී තිබෙන හෙයින් බොජ්ඣඞ්ග යනුවෙන් නම් ලබා තිබෙන සප්ත ධර්මයෝය. මග්ගා නිබ්බානපත්තියා - නිවන ලබා ගැනීමේ උපාය වූ, භාවිතා තෙ මයං සබ්බෙ යථා බුද්ධෙන දෙසිතා - ඒ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම බුදුන් වදාළ අයුරින්ම මා විසින් වඩන ලදී.
දිට්ඨො හි මෙ සො භගවා - හි ශබ්දය හෙත්වර්ථයෙහිය. යම්හෙයකින් ඒ භාග්යවතුන් වහන්සේ බුදුබව ලැබ තමන් විසින් අවබෝධ කරගත් ධර්මය දුටුසේක්ද එසේ හෙයින්, අන්තිමො යං සමුස්සයො යනු යෙදීමය. ආර්ය ධර්මය දැකීමෙන් වනාහී බුදුවරු, හා අනෙක් ආර්යයෝ ද දක්නා ලැබුවෝ (දිට්ඨා) නම් වෙත්, රූපකාය දකීම් පමණකින් නොවේ. එහෙයින් කියන ලදී. ‘වක්කලි, යමෙක් ධර්මය දකීද හෙතෙම මා දකී’ එසේම ‘මහණෙනි, ඇසූපිරූ තැන් ඇති ආර්ය ශ්රාවකයා ආර්යයන් දක්නේ’ ආදියෙහි මෙනි. සෙස්ස කියනලද පරිදිමය.
ජෙන්තා තෙරණියගේ ගාථා වර්ණනාව නිමි.
සුමඞ්ගල මාතා ථේරීගාථා වර්ණනාව
සුමුත්තිකෙ යනුවෙන් ඇරඹෙන්නේ සුමංගලමාතා තෙරණියගේ ගාථාවය. මෝතොමෝ ද පෙර බුදුවරුන්ගේ කාලයෙහි කරන ලද ප්රාර්ථනා ඇත්තී, ඒ ඒ භවයන්හිදී කරනලද පින් ඇත්තී මේ බුදුපතෙහි සැවැත්නුවර දිළිඳු කුලයක ඉපිද වියපත් වූවා එක්තරා බටපොතු වියන්නෙකුට සරණපාවා දෙනුලැබ පළමු ගැබෙහිදීම අන්තිම උපත (පච්ඡිම) ඇති පුතෙකු ලැබුවාය. ඔහුට සුමංගල යන නම යෙදිණ. එතැන් පටන් ඕතොමෝ සුමංගලමාතා යන නමින් ප්රකට වූවාය. යම්හෙයකින් ඇයගේ නම්ගොත් ආදිය ප්රකටව නොතිබිණිද එහෙයින් ‘එක්තරා ස්ථවිර භික්ෂුණියක්’ යනුවෙන් පාලියෙහි කියනලදී. ඇයගේ පුතාද දැන ඉගෙනීමෙන් පසු පැවිදිව පිළිසිඹියා සහිත රහත්බවට පැමිණ සුමංගල ස්ථවිර නමින් ප්රසිද්ධ විය. ඔහුගේ මව භික්ෂුණීන් සමීපයෙහි පැවිදිව විදසුන් වඩන්නී දිනක් තමා ගිහිජීවිතයෙහි විඳිදුක් ආවර්ජනාකර සංවේගයට පැමිණයා, විදසුන් වඩා පිළිසිඹියා සහිත රහත්බවට පැමිණ උදන් අනන්නී-
සුමුත්තිකෙ සුමුත්තිකෙ සාධු මුත්තිකම්හි මුසලස්ස,
අහිරිකො මෙ ඡත්තකං වාපි උක්ඛලිකා මෙ දෙඩ්ඩූහං වාපි.
අහිරිකො මෙ ඡත්තකං වාපි උක්ඛලිකා මෙ දෙඩ්ඩූහං වාපි.
රාගඤ්ච අහං දොසඤ්ච චිච්විටී විච්චිටීති විහනාමි,
සා රුක්ඛමූලං උපගම්ම අහො සුඛන්ති සුඛතො ඣායාමි.
සා රුක්ඛමූලං උපගම්ම අහො සුඛන්ති සුඛතො ඣායාමි.
සුමුත්තිකා, ඔබ මෝල් ගසෙන් මැනවින් මිදුණෙහිය, මගේ සැමියා නිර්ලජ්ජීය, කුඩයද නොරිසියෙමි, මගේ මුට්ටියෙන් දියබරිගඳ වහනය වෙයි.
මම රාගය හා ද්වේශය විච්චිට් යනු අනුකරණයෙන් පුලුස්සා දැමීමි. ඕතොමෝ රුක්මුලකට එළඹ ‘සැපතෙක මහත’ යයි සුව විසින් විඳිමින් භාවනාවෙහි යෙදෙමි යන ගාථා දෙක ප්රකාශ කළාය.
එහි සුමුත්තිකෙ : සුමුත්තා යනුය. කකාරය පදපුරණය පිණිසය. මැනවින් මිදුණේ වේ යන තේරුමය. ඕතොමෝ සසුනෙහි ලද සම්පත් දැක පැහැදීම් වශයෙන් හෝ පැසසීම් වශයෙන් හෝ එසේ අමතා කීවාය. සුමුත්තිකෙ සුමුත්තිකෙ - ඕතොමෝ ගිහිකාලයෙහි යමක් විශේෂයෙන් පිළිකුල් කළාද, එයින් විමුක්තිය දක්වන්නී ‘සාධු මුත්තිකම්හි’ යනාදිය කීවාය. එහි සාධු මුත්තිකම්හි - මැනවින් මිදුණේ වෙමි. මුසලස්ස - මෝල් ගහෙන්, මෝතොමෝ දිළිඳු වූ හෙයින් ගිහිකාලයෙහි තොමෝම කෙටීම් ආදිය කරයි. එහෙයින් එසේ කියන ලදී. අහිරිකො මෙ - මගේ සැමියා නිර්ලජ්ජීය, ඔහු මා නුරුස්සයි යනු සෙසුවචනය. ස්වභාවයෙන්ම කාමයන්හි නො ඇලුණු බැවින් කාමයෙහි යෙදෙන්නවුන් පිළිකුල් කරයි යනු පවසයි. ඡත්තකං වාපි - ජීවිකාව සපයා ගනු පිණිස කරනු ලබන්නා වූ කුඩසෑදීම ද මට නුරුස්සයි යනු තේරුමය. වා - ශබ්දය නොකියනලද සියල්ල ගැනීම සඳහාය. එයින් පෙට්ටි, කිරිගොටු ආදිය ගැනේ. හුණදඬු ආදිය ගෙන දිනපතා කුඩ ආදිය සෑදීමෙන් ගතකරන දුක්ඛිත ජීවිතය පිළිකුල්කරන බව කියන ලදී. අහිතකො මෙ වාතො වාති - යනුවෙන් සමහරෙක් කියා ගිහිකාලයෙහි මගේ සිරුරෙහි අහිතකර වූ ජරාවෙන් පිරුණු වාතය ගැටේ යනුවෙන් අනෙක් තේරුමක් කියති. තවත් සමහරෙක් ‘අන් අයට දුගඳ ගෙනදෙන්නා වූ අහිතකර වාතයක් මගේ සිරුරෙන් හමයි’ යනුවෙන් ද තේරුමක් කියති. උක්ඛලිකා මෙ දෙඩ්ඪුහං වාති - මගේ බත් උයන භාජනය බොහෝ කලක සිට පාවිච්චි කරන හෙයින් අපිරිසිදු බැවින් දියබරිගඳ හමයි. එහෙයින් මම මැනවින් මිදුණෙමි’ යනුවෙන් කියනලදී.